වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වාරය එනතුරු
වලව විශේෂ බලප්‍රදේශයේ ගොවි පවුලක දියණියක් ලෙසින් ඉපදුණු සමන්තා ප්‍රින්සි ලාලනි යනු ජීවිතේ විවිධ හැලහැප්පීම් මතින් මහ පොළොවේ දරන්නට උත්සාහ ගන්නියකි. ශාරීරික අධ්‍යාපන ගුරුවරියක ලෙසින් ගුරු වෘත්තියට පිවිසෙන ඇය වර්තමානයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිදයාලයේ ජ්‍යෙෂ්ඨ ශාරීරික අධ්‍යාපන උපදේශකවරියක ලෙස සේවය කරන්නීය. ඊට අමතරව කවි, කෙටි කතා, ගීත රචනා නිර්මාණකරණයේ යෙදීමටද රුචිකත්වයක් දක්වන ඇය ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක ලෙසද කටයුතු කරනු ලබයි. මේ සමන්තා තරුණියට ලියන පළමු කෙට් කතාවයි.
දින කීපයක් පුරා ඇදහැලුණු වැස්ස තුරන් වී අහසේ බිරම් බව පමණක් ඉතුරු වී ඇත. එහෙත් බසයට නැඟ මඳ දුරක් එද්දී පාර පුරා එක් රැස්වුණු වතුර පිහිනුම් තටාකයක් බඳුව ඇත්තේ මීට පෙර ඇදහැලුණු වැස්සේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ වන විට වැස්ස අතුරුදන් වී ඇත. මේ වෙනස් වීම්ද ජීවිතය වගේමයි මට සිතෙයි.
අපේක්ෂා රෝහල යනුවෙන් ලොකු නාම පුවරුවකි. එහි යථාර්ථය සඟවා ඇත. එසේ වුවද ඒ දැකීමෙන් අමුතු චකිතයක් හෝ බියක් මා තුළ ඇති නොවේ. කළින් පිළිකා රෝහල යැයි නම් ලද මෙය දැන් අපේක්ෂා රෝහලය. නම දුටු සැණින් තැති ගැන්වන නිසාදෝ බලධාරින් විසින් එහි නම එලෙස වෙනස් කර ඇතත් ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ කැඩෙන බිඳෙන මැෂින් යථා තත්ත්වයට ගෙන ඒමට කඩිනම් පියවර ගත හැකිනම් රෝගීන්ගේ ජීවිත තව දින කීපයක් හෝ සුවපත් කර තබන්නට, ජීවත් කරන්නට හැකි නොවේදැයි සිතුණු වාර අනන්තය.
රෝගීන් වෙත දෙන ඖෂධයන්හි සැර බාල කරන්නටත්, පිපාසය දාහය සංසිඳු වන්නටත් තැඹිලි ලොරියක් දිනපතා රෝහල් පරිශ්‍රය තුළ නවතා තිබෙනු දැකිය හැකිය. රෝගීන්ට මෙන්ම රෝගීන් කැටුව එන්නන්ට ද මෙහි සත්කාරය ලබමින් පිපාසය සංසිඳුවා ගන්නට අවස්ථාව හිමිවෙයි. බොහෝ දානපතියන් මෙන්ම මෙහි සේවාව ලබා සුව වූ ඇත්තන්ද මෙම පුණ්‍යකර්මයන්ට දායක වන බව අසා ඇත්තෙමි.
වේලාව හරියටම මතකයට නොයේ. අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස් රථය පණ ගන්වා ඇත. රියදුරු තැන නළාව නාද නොකරම වරක් දෙවරක් ඇන්ජිම රේස් කළේ බසය පිටත් වීමට සූදානම් බව අඟවමිනි. එහෙත් උදයේ එම බසයෙන් බැසගත් පිරිසගෙන් අඩක් හෝ බසයට නොනැඟි බව නම් සැබෑය. එන්නන් මිස යන්නන් අඩු බව මින් පසක් වෙයි. තවත් බොහෝ වේලාවක් මෙහි රැඳී සිටින්නට වීමෙන් කාලය බොහෝ දිගු බව දැනුණි.
රෝහල් පරිශ්‍රය තුළ ඇති බුදු මැඳුර ආසන්නයේ හිඳගත් තරුණ මවකි. ඇයගේ දෑස් කඳුළින් තෙත්ව කඳුළු වැල් මුහුණ මතින් දිගෑදෙනු දුටුවෙමි. ඇගේ උකුළ මත දිගා කර ගත් දියණියකි. වයස අවුරුදු දහතුනක් පමණ වනු ඇතැයි අනුමාන කළෙමි. ඇය දියණියගේ හිස සෙමෙන් පිරිමදිමින් කඳුළු සලයි. මේ පෙර නිමිති ජීවිතයේ අනියත බව යළි යළිත් පසක් කරයි. ළදරු, ළමා, තරුණ, මහලු වයස් භේදයකින් තොරව අකාරුණික රෝගී තත්ත්ව පැමිණ ඇති බව මෙහි කරක් ගසන්නෙකුට පසක් වන්නට වැඩි වේලාවක් ගත නොවේ. එවැනි බොහෝ දෙනෙක් විශාල පෝලිම්වලය. රෝහල් සේවයේ ඇතමුන්ගේ උදව් මත පෝලිම්වලින් පැන ගන්නෝද වෙති.
කොතැනදීත් විමසිලිමත්ව සිටින මට මුස්ලිම් ජාතික කාන්තාවක් කට පුරා සිනහවක් පෑවාය. මමද ඇයට සිනහවකින් සංග්‍රහ කළෙමි. රෝගියා ඇගේ සැමියාය. ඔහු වරක් මුඛයේ සැත්කමට බඳුන්ව යන්ත්‍ර අකර්මණ්‍ය වීම නිසා විද්‍යුත් ප්‍රතිකාර කිරීමට පමා වීමෙන් රෝගී තත්ත්වය උත්සන්න වී නැවත වෙනත් ස්ථානයකින් මතු වී තිබේ. එබැවින් නැවත සැත්කමකට භාජනය වීමට සිදුව ඇති බවත් සහ විකිරණ ප්‍රතිකාරයට පෙර ස්කෑන් පරීක්ෂාවට පැමිණි බව පැවසුවාය.
උදේ සිට හතර වෙනකල් හිඳගෙන සිටි තරුණයෙක් ආවේගශීලීව ඉදිරි කාමරයේ දොරට තට්ටු කරමින් ගුගුළේය. " එන්න කියලා තියෙන්නේ උදේ දහයට. දැන් වෙලාව හතරයි. ලෙඩා මගේ අම්මා. උදේ ඉඳලා නිරාහාරවයි ඉන්නේ. පැය කීයක් බඩගින්නෙද. පස්සෙ ආපු කී දෙනෙක් ඇතුළට ගත්තද? " ඒ හඬ ඔහුගේ මව වෙනුවෙනි. ඇතුළේ වූ රෝගියා පිටව ගිය පසු තරුණයාගේ මවට අවස්ථාව ලැබුණි.
උදේ සිට බලා සිටි මට වෙලාව තිබුණේ පස්වරු එකටය. එහෙත් ඊට පෙර වෙලාවල් ලබා දී තිබූ අය තවමත් පෝලිමේය. මගේ වාරය එළඹෙන්නට තවත් බොහෝ කල් ඇති බව මට වැටහුණි. මගේ වාරය එනතුරු මා මඳක් දෑස් පියා ගන්නට උත්සාහ කළෙමි. එහෙත් මා සසල කළ ඒ සිදුවීම තව තවත් මනසෙහි හොල්මන් කරයි.
පළමුවර ලියාපදිංචි වූ මා අදාළ පෝරමය පුරවා දී සායනික ජනකාය අතරට එක් වුණෙමි. දහසකට වැඩි පිරිසක් එහි ඉන්නට ඇත. පෙළට ඇති කාමර තුළට එකිනෙකා ඇදෙයි. මගේ වාරය එළැඹී ඇත. දෙපසෙහි තබා ඇති මේස දෙක ළඟ දෙපාර්ශ්වය නියෝජනය කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකි. ඉදිරියේ තවත් රෝගීන් දෙදෙනෙකි. වෛද්‍යවරිය ඉදිරියේ ඉඳගත් කාන්තාව වෙත මගේ දෑස් නිරායාසයෙන් යොමු විය. වෛද්‍යවරිය ඉදිරියේ පෙනී සිටි කාන්තාව හා වෛද්‍යවරිය අතර සංවාදය මට ඇසේ. කාන්තාව තරමක් තලෙළු. එතරම් වයසක් නොපෙනේ. වාර්තා දෙස බලමින් වෛද්‍යවරිය ප්‍රශ්න කරයි.
වෛද්‍යවරිය : " ඔයාට කවුරුහරි මීට කලින් මේ ගැන පැහැදිලි කරලා තියෙනවද? "
කාන්තාව: " ඔව් "
ඒ ඇගේ පිළිතුරයි.
නැවතත් වෛද්‍යවරිය
" ඔයාගේ මේ සෛල හැමතැනම පැතිරිලා. මොළයට, අක්මාවට, ලේවලට කොටින්ම හැමතැනම තියෙනවා. ඔයාට තේරෙනවද මම කියන දේ."
"ඔව්"
නැවත වරක් කාන්තාව හිස සැලුවාය.
මගේ හිත, හදවත මොහොතකට ගල් ගැසී නතර වුණි.
රෝගියාගේ නම නිලීකා බව යන්තම් මතකය. නිලීකා සිය මරණය පෙනි පෙනී වෛද්‍යවරිය කී දේ අසා සිටියාය. දරුවන් ඇතුළු තවත් බොහෝ දේ ඇයට සිහි වන්නට ඇත. නිලීකා සමඟ පැමිණි අයෙකුට මෙම තත්ත්වය පැහැදිලි කළා නම් හොඳ යැයි මට සිතුණි. ඇතුළට යන්නේ රෝගියා පමණි. රෝගියාගේ ඥාතියාට මේ ටික කියි කියන්නට තිබුණා නම් හොඳ නොවේද නැවතත් මට සිතේ.
නිලීකා ඖෂධ රැගෙන පිටව යන්නට ඇත
ඉන්පසු මට ඇය ගැන මතකය පමණක් හිතේ තදින් කා වැදී ඇත.
ජීවිතය මරණයෙන් අවසන් වේ. මැරි මැරී ජීවත් වන්නන් මෙන්ම නොමැරී ජීවත්වන්නට උත්සාහ කරන්නෝ ද අප අතර වෙති. මේ හැමෝම යන දිනයක් නොදනිති. එහෙත් ආවොත් යන්නට සිදුවේ. නොයා සිටින්නට බැරිය. කවදා හෝ යන්නට සිදුවෙයි. මගේ වාරයද කවදා හෝ එනු ඇත. මම එයට සූදානම් වෙමි. වාරය එනතුරු උපේක්ෂාවෙන් බලා සිටිමි.