වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
තාත්තා
කවුරු හරි මගෙන් ඇහුවොත් මගෙ ලෝකේ මම වැඩිපුරම අදහන දෙවියා කවුද කියලා මම එක හඬින් කියන්නේ ඒ මගේ තාත්තා කියලයි. ඒ තරමටම මම තාත්තට ආදරය කළා.
ඉස්සර මම පුංචි කාලේ මොන්ටිසෝරි ගිය දවසේ ඉඳන්, උසස් පෙළ ඉවර වෙනකල්ම උදේ හවා ඉස්කෝලෙට, ටියුෂන් පන්තිවලට ගෙනිහින් ඇරලුවෙ මගේ තාත්තා.
මම උසස් පෙළ පාස් වෙලා කැම්පස් යන්න ගත්තම ගෙදරින් මට දුරස් වෙන්න සිද්ද වුණත්, අම්මා තරමටම, සමහර වෙලාවට ඊටත් වඩා මං ගැන හොයලා බැලුවේ මගේ තාත්තා.
අපේ බෝඩිමේ හැම ළමයෙක්ම වගේ තමන්ගේ ප්රේමවන්තයගෙන් කෝල් එකක් එනකම් නොඉවසිල්ලෙන් බලන් ඉද්දි මං බලන් හිටියේ මගේ තාත්තගෙන් කෝල් එකක් එනකම්.
"අපෝ බං, මොකක්ද ඕයි.... උඹ ජීවත් වෙන්නේ ගල් යුගයේද? තාම කොල්ලෙක්වත් උඹට නෑ. කොල්ලෙක්ව සෙට් කරන්න හැදුවත් උඹ එපා කියනවා. ඒ මදිවට තාත්තව ඔළුව උඩ තියාගෙනමයි උඹ ඉන්නේ. මොකක්ද බං මේ ජීවිතේ... පොඩ්ඩක් සෝෂල් වෙයන්කෝ..."
යාළුවෝ මට එහෙම කිය කිය විහිළු කරනවා. ඔව් මට කොල්ලෙක් නෑ තමයි. ඒ වුණත් මේ තාක් මට එහෙම කෙනෙක් නැති අඩුවක්වත් දැනිලා නෑ. සමහර විට ඒ මගේ තාත්තා නිසා වෙන්න ඇති.
සමහර දවස්වලට බෝඩිමේ කෙල්ලෝ ටික එකතු වෙලා පාටි දාලා වෙරි මරගාතේ නටද්දී එයාලා මටත් අරක්කු, බියර් වගේ දහ ජරාව දෙන්න හදනවා. ඒත් මං ඒවා පාවිච්චි කරන්න කැමති නෑ. ඒ හැම වෙලේම මට මතක් වෙන්නේ මගේ තාත්තා කියපු දෙයක්.
"මගේ මැණිකේ....කැම්පස් ගියාම ඔයාට එක එක ජාතියේ යාළුවො මුණගැහෙයි. නමුත් සමහර යාළුවෝ තමන්වත් එයාලා කරන වැරදි දේවල් කරන්න පොලඹවා ගන්න පුළුවන්. අපිත් එක්ක මේ විදිහට හිටියා වගේ කෙල්ලෙක් විදිහට තමන්ගේ වටිනාකම තියාගෙන ඔයා ජීවත් වෙන්න දැනගන්න ඕනේ හරිද?....."
තාත්තා එදා ඒ කියපු වචනේ මම අදටත් රකිනවා.
යාළුවෝ බොන්න කතා කරාම මම ඒක ප්‍රතික්ෂේප කරද්දී එයාලා මට කිව්වේ...
"අපෝ බං..... උඹේ ඔළුවේ තියෙන ඔය හණමිටි අදහස් අතඇර ගනින්කෝ... මෙහෙට උඹේ තාත්තා එන්නේ නෑ බං... මේ අපේ ජීවිතේ හොඳම කාලේ....ඒ නිසා ආතල් එකේ ඉඳපන්....."
එයාලා මට මොන දේ කිව්වත් මං තාත්තගේ වචනේ ඒ විදිහටම රැක්කා.
කැම්පස් නිවාඩුව ලැබුණු ගමන් මං ගමට යන්නේ මගේ තාත්තව බලන්න. ඒත් දැන් මට ගමට යන එක ගැන හිතද්දිත් මගේ ජීවිතේ නිකම් කඩා වැටෙනවා වගේ දැනෙනවා.
එක දවසක් කැම්පස් එකේ ලෙක්චර් එකක් වෙලාවෙදි මට අම්මාගෙන් කෝල් එකක් ආවා. ලෙක්චර් එක නිසා මම කෝල් එක ගත්තේ නෑ. ලෙක්චර් එක ඉවර වුණායින් පස්සෙ මම අම්මට ගත්තා.
" අම්මේ ඇයි කෝල් කළේ...? මුකුත් හදිස්සියක්ද ?"
මං එහෙම ඇහුවා.
"අනේ මගේ පුතේ.... උඹේ තාත්තා අපිව දාලා ගියා.... තාත්තට හාට්ඇටෑක් එකක් හැදිලා ඉස්පිරිතාලේ ගෙනියන ටිකට තාත්තාගේ පණ ටික ගියා මගේ පුතේ....."
මට මතක එච්චරයි. ඒ වචන ටික ඇහුණට පස්සේ වටේම කළුවර වීගෙන එනවා විතරයි මට මතක. ඊට පස්සෙ සිහිය එද්දි මම හිටියේ කැම්පස් එකේ මෙඩිසින් සෙන්ටර් එකේ.
මම තාත්තගෙ මළගමට ගියා. අනේ මගේ තාත්තගෙ හිනාව ඒ විදිහටම අද නැති වුණාට මූණේ හිනාවක් ඇඳුණු බව මට පෙනුණා. මගේ තාත්තගෙ පින් පාට ඒ විදිහමයි.
තාත්තාගේ මිනිය අල්ලලා මුළු ගෙදරටම ඇහෙන්න මම දෙස් දෙවොල් කියපු විදිහ මට අදටත් මතකයි. මං වැඩිපුරම බැන්නේ අම්මාට. ඒ මොකද මගේ තාත්තව හරියට බලාගත්තෙ නෑ කියලා. අම්මා තරම් මේ ලෝකේ කවුරුත් මගේ තාත්තව බලාගන්නේ නෑ කියලා මම නොදන්නවා නෙමෙයි. නමුත් ඒ වෙලාවේ මට මගේ මානසික පීඩනය දරාගන්න බැරි වුණා.
ඒ විදිහට තාත්තාගේ මළගම අවසන් වුණා.
තාත්තා අපිව දාලා යන්න කලින් දවසේ මට කෝල් එකෙන් මහ අමුතු දෙයක් කිව්වා. එයා ඊට කලින් ඒ වගේ දෙයක් මට කියලා නෑ.
" පුතේ, කවද හරි මං නැති වුණ දවසක වුණත් ඔයා අම්මාව හොඳින් බලා ගන්න ඕනේ හරිද.... මොකද ඔයාට මම නැතුව ඉන්න පුළුවන් වුණත් අම්මට මම නැතුව ජීවත් වෙන්න අමාරුයි... තේරුණාද? "
ඒ වචන මතක් වෙද්දි, දිව්‍ය ලෝකෙන් තාත්තට එහේ එන්න කියලා එයාව කලින්ම දැනුවත් කළා වගේ දෙයක් මට දැන් හිතෙනවා.
මොනවා වුණත් දැන් මගේ දෙවියෝ මාව දාලා ගිහින් ඉවරයි.
අද මගේ උපාධි ප්රදානෝත්සවය. අනෙක් ළමයි වගේම අම්මයි තාත්තයි දෙන්නම එක්ක මම උපාධිය ගන්න දවසේ ෆොටෝ එකක් ගන්න ආස කළා. ඒත් අද මට මගේ ජීවමාන අම්මවත්, ෆොටෝ එකක ඉන්න තාත්තත් එක්ක මම එදා හීන මවපු පින්තුරේ ගන්න සිද්ධ වුණා.
'ජීවිතේ හැටි ඔහොම තමයි.' තාත්තා මතක් වෙන වාරයක් ගානේ ලොකු හුස්මක් පිට කරලා මම හිත හදාගත්තේ ඒ විදිහටයි.
මේ කතාවේ අවසානයේ රවී රොයිස්ටර් ගායනා කරපු සින්දුවක කොටසක් මම ලියල තියන්නම්.
"කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ.......
හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ....."
ආධුනික ලේඛිකාවන් හඳුන්වා දෙන නවතම විශේෂාංගය
අද ශේෂ පත්‍ර තුළින් ඔබ හමුවන ආධුනික ලේඛිකාව ඉසුරි උෂානි එදිරිසිංහ. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ සිවුවැනි වසරේ සිසුවියක්. ඉසුරි දැන් වසරකට වැඩි කාලයක වාගේ ඉඳලා ජාතික පුවත්පත්වලට විවිධාකාරයේ ලිපි සපයනවා. මේ ඇය තරුණීට ලියන පළමු කෙටි කතාවයි.