හරි විදිහට අකුරු කියවමු

නොවැම්බර් 18, 2024

 

පැරණි හෙළ සිරිතට අනුව මිනිසෙකුගේ උපතේ පටන් ජීවිතය පුරා විවිධ අවස්ථාවල සිදුකරන විවිධ මංගල්‍යය චාරිත්‍ර විධි ඉතිහාසයේ පටන් පැවතගෙන එයි.

 

ඒවා අතර අලුත උපන් දරුවෙකුට පාසල් විය දක්වා සිදු කළ යුතු මංගල්‍යයන් හතක් දක්වා තිබේ.

 

ඒවා මෙසේය,

 

1. රන්කිරි කටගෑමේ මංගල්‍යය

2. දොරට වැඩීමේ මංගල්‍යය

3. නාමකරණ මංගල්‍යය (නම් තැබීම)

4. කන් විදීමේ මංගල්‍යය

5. කේශච්ඡේදන මංගල්‍යය (කෙස් කැපීම)

6. ඉඳුල් කටගෑමේ මංගල්‍යය

7. අකුරු කියැවීමේ මංගල්‍යය

 

යන මංගල්‍යය චාරිත්‍රයන් හතයි.

 

ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංස්කෘතියෙන් සංස්කෘතියට මෙම මංගල්‍යයන් සිදු කරන කාලසීමාවන් සහ ඒවායෙහි චාරිත්‍ර වාරිත්‍ර විධි විවිධාකාර වේ.

 

අද අප සාකච්ඡාවට බඳුන් කරන්නේ හත්වැන්න වූ අකුරු කියවීමේ මංගල්‍යය හෙවත් මංගල ශාස්ත්‍රෝද්ග්‍රහණයයි.

 

විශේෂයෙන් මෙම අකුරු කියවීමේ චාරිත්‍රය, බෞද්ධයින් සහ හින්දූන් අතර වඩාත් කැපී පෙනේ.

 

එහිදී බෞද්ධයන්ගේ අකුරු කියවීමේ චාරිත්‍ර විධිය එකකි. හින්දු පින්වතුන්ගේ චාරිත්‍ර විධිය තවත් එකකි. දෙපිරිසම තම දරුවාගේ මෙම උතුම් මොහොතේදී තම ඉටු දෙවියන්ගේ හා ශාස්තෘවරුන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වීම සිදුකරති.

 

සිංහල බෞද්ධයින්ගේ ශාස්ත්‍රෝද්ග්‍රහණ චාරිත්‍රය කුමක්දැයි මැනවින් වටහා ගැනීමට ප්‍රථමයෙන්ම හින්දු පින්වතුන්ගේ අකුරු කියවීමේ චාරිත්‍ර තේරුම් ගත යුතුය. හින්දු ආගමික ඉගැන්වීම් අනුව ඥානය හා දැනුම දෙවියන් විසින් දරුවන්ට ලබාදිය හැකි දෙයකි. ඒ සඳහා ඥානයට අධිපති යැයි සැලකෙන ගණ දෙවියන් යැදීමත් ශ්‍රාස්ත්‍රයට අධිපති යැයි සැලකෙන සරස්වතී දේවිය පිදීමත් ඔවුහූ සිදුකරති.

 

එබැවින් එම හින්දු ආගමික දෙවි දේවතාවුන්ට පූජා පැවැත්වීම අකුරු කියවීමේ චාරිත්‍රයේදී මූලිකම කටයුත්ත කොට ගනිති. දරුවාගේ ජන්ම නැකතට සීහුම්වන නැකතක, සරස්වතී යෝගයක් යෙදී තිබෙන දිනයක දී මෙම අකුරු කියවීමේ චාරිත්‍රය සිදු කරනු ලැබේ. සුභ මුහුර්තය හෙවත් සුභ නැකත සාදවාගත් පසුව එදිනට පෙර දිනයේදී කැවිලි පෙවිලි ආදී පූජා ද්‍රව්‍ය සූදානම් කරගැනීම සිදුකරති. බැලිය යුතු ශුභ දිශාවට දරුවා සහ අකුරු කියවීම සිදුකරන තැනැත්තා මුහුණලා ඉඳගත හැකි පරිද්දෙන් දේව ප්‍රතිමා සහ පූජාසනය පැනවීම සිදුකරනු ලැබේ. ස්නානයෙන් පිරිසිදු වූ දරුවාද පවුලේ අයද ලබාදුන් ශුභ වර්ණයට අනුව වර්ණ ඇඳුමෙන් සැරසී පැමිණීම සිදුකරති.

 

ඉන්පසු ගණදෙවි පූජාව සහ සරස්වතී පූජාව සිදුකරනු ලැබේ. එහි දී පූජා ස්තෝත්‍ර ගායනා කරනු ලැබේ. ඉන්පසුව අකුරු කියවීම සිදුකිරීම චාරිත්‍ර විදිහයි. සමහර පෙදෙසක පන්හිඳකින් තල්පතකද, සමහර පෙදෙසක වැලි පිලකද මෙය සිදුකරනු ලබති. බෞද්ධයින්ගේ අකුරු කියවීමේ චාරිත්‍ර විධි මීට වඩා තරමක් වෙනස් වේ.

 

සාමාන්‍යයෙන් හෙළ චාරිත්‍ර විධි අනුව දරුවෙකුට අකුරු කියවිය යුත්තේ අවුරුදු තුනේ සිට පහ දක්වා වයසකදීය. සමහර ප්‍රදේශවල අවුරුදු තුන පිරීමට පෙර අකුරු කිව යුතුයැයි පිළිගැනීමක් තිබේ. අවබෝධයෙන් යුතු බෞද්ධ පින්වතුන් දූ දරුවන්ට අකුරු කියැවීමේදී හින්දු දෙවියන් වැඳීමක් පිදීමක් සිදුකරනු නොලැබේ. එයට හේතුව වන්නේ ඒ පිළිබඳව බෞද්ධයින්ගේ අවබෝධයේ වෙනසයි.

 

ප්‍රඥාව හෝ දැනුම යම් ප්‍රතිපදාවකින් ඇති කරගත යුතු දෙයක් මිස, තව කෙනෙකුට බාහිරින් ශක්තිය ප්‍රවේශ කිරීමක් ලෙස ලබාදිය හැකි දෙයක් නොවන බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. එසේම බෞද්ධයන් තමන්ගේ උතුම් පිළිසරණ ලෙස පිළිගනු ලබන්නේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධරත්නයයි. එහිදී අසීමිත බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් අග්‍රතර වූ ලොව්තුරා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මූලික ස්ථානයෙහි තබා ගැනීම බෞද්ධයාගේ සිරිතයි. දෙවනුව මහා ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ද, ඍද්ධි බලයෙන් අග්‍ර වූ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද, ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේ ද පූජාවට පාත්‍ර කිරීමට බෞද්ධයෝ අමතක නොකරති.

 

මහා ප්‍රඥාවන්ත උතුමන්ගේ චරිත ඇසුරු කිරීමෙන් ප්‍රඥාව උපදවා ගැනීමට උපදෙස් ලැබෙන බවත්, දැනුම ලබාගත හැකි බවත් බෞද්ධයින්ගේ විශ්වාසයයි. එබැවින් රාග ද්වේශ මෝහ දුරුකළා වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත්, ඉහත කී මහරහතන් වහන්සේලාටත් පූජාවන් වන්දනාවන් සිදු කිරීමට පූජාසනයක් සකස් කිරීම බෞද්ධ නිවසකදී සිදු කෙරේ.

 

බුදු දහම අනුව සුභ නැකත නම් එම කාර්ය සිදුකළ යුතු සුදුසුම වේලාවයි. ඒ සඳහා ආදි හෙළයන් ජ්‍යෝතිෂය උපයෝගී කොට ගත්හ.

 

නැකතත් දිශාවක් සකස් කර ගත්හ. කැමතිනම් එසේ කරගත්තාට වරදක් නැත. නැතිනම් දරුවා නිසි වයසට එළඹ සිටින විට උදෑසන කාලයක මෙම කටයුත්ත යොදා ගැනීම උචිතය. ප්‍රථමයෙන්ම සියලු දෙනා පංච ශීලය සමාදන් වී සම්මා සම්බුද්ධ පූජාව සිදුකිරීම චාරිත්‍රයයි.

 

දෙවනුව සාරිපුත්‍ර මහරහතන් වහන්සේට, මොග්ගල්ලාන මහරහතන් වහන්සේට, ආනන්ද මහරහතන් වහන්සේ වහන්සේට ආදී මහරහතන් වහන්සේලාට පහන් ආදිය පූජා කිරීම සිදුකරනු ලබයි. ඇතමෙක් මෙහිදී කිරි ආහාර පූජාවද, පලතුරු පූජාවද සිදුකරති.

 

ඉන්පසු සුභ මොහොතට පෙර පිරිත් සජ්ඣායනයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වඩමවා ගැනීමෙන් හෝ වැඩිහිටි අයකු ලවා හෝ කරවා ගැනීම සිදුකරනු ලබයි. ඒ මොහොතේදී අකුරු කියවීමට සුභ මොහොත උදාවේ. බොහෝ විට සීලවන්ත ගුණවන්ත ප්‍රඥාවන්ත මහ තෙරනමක් ලවා හෝ, දයාබර මවුපියන් ලවා හෝ, ගරු කටයුතු වැඩිහිටි ඥාතියකු ලවා හෝ අකුරු කියවීම සිදුකරනු ලැබේ. එහිදී ප්‍රථමයෙන්ම සිදු සිදුකරන්නේ දරුවාට තෝරාගත් අකුරක් හෝ වචනයක් කියවීමයි. බොහෝ කොට එම අකුර හෝඩියෙහි මුල් අකුර වූ 'අ' යන්නයි. වචනය මාතෘත්වය නියෝජනය කරන 'අම්මා' යන්නයි.

 

ඉන්පසුව පන්හිඳකින් තල්පතක හෝ, වැලිපිලක ඇඟිල්ලෙන් හෝ, පෑනකින් පැන්සලකින් පොතක හෝ කුඩා දරුවාගේ අත අල්ලාගෙන ලියවීම සිදුකරනු ලබයි. සම්බුද්ධ පූජාව සහ අකුරු කියවීම අතරතුර කාලයේ පිරිත් සජ්ඣායනයට වේලාව නොලැබිණි නම්, අකුරු කියවීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනයට කාල වේලාව වෙන්කර ගනී.

 

එම කටයුතුවලින් අනතුරුව සතර වරම් දෙවියන් ඇතුළු සියලු සම්‍යග් දෘෂ්ටික දෙවි දේවතාවුන්ට පුණ්‍යානුමෝදනා සිදුකොට කුඩා දරුවාට ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කිරීම සිදුකරනු ලබයි. අකුරු කියවීමෙන් අනතුරුව දරුවාට ඉදිරියේ තබා ඇති ආහාර ද්‍රව්‍ය, මුදල්, පොත්, පෑන්, ආභරණ ආදියෙන් කුමක් හෝ ගැනීමට ඉඩකඩ සලසා දෙයි. එයින් දරුවාට ඉගෙනීම පිළිබඳව සුභ හා ධනාත්මක මානසිකත්වයක් ගොඩනැඟීමට ඉඩකඩ උදාකරගනී.

 

එහි ඇත්තේ මනෝ විද්‍යාත්මක පසුබිමකි. ළදරු මනසේ ධනාත්මක චින්තන රෝපණයකි. මීට අමතරව අධ්‍යාපනය සහ ඥානය දියුණු වීම සඳහා ඖෂධීය පානයන් දරුවාට ලබාදීමද කරනු ලබයි. එහිදී හෙළ වෛද්‍ය ශාස්ත්‍රය අනුව කුඩා දරුවනට මොළයෙහි වර්ධනය යහපත් කිරීම සඳහා දිනපතා උදෑසන ගොටුකොළ යුෂ හැන්දක් හෝ ලුණුවිල යුෂ හැන්දක් ලබාදීම චාරිත්‍රයකි.

 

සමහර බෞද්ධයන් තම නිවසේ දරුවාගේ අකුරු කියවීම සිදුකරනවාට වඩා ඉතා ශාන්ත පරිසරයක් ඇති විහාරස්ථානයක සෑ මළුවක, බෝධි මළුවක එය කිරීමට රුචි කරති. ස්ථානය කුමක් හෝ වේවා දැනුමින්ද මහා ප්‍රඥාවෙන්ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සම කෙනෙක් තුන් ලෝකයේම නැත. රාග ද්වේශ මෝහයන් නොනැසූ දෙවියන්ගේ නුවණ හා දැනුම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අබියස දුහුවිල්ලක් පමණි.

 

දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේ ද මනුෂ්‍යයන්ගේද අසමසම උතුම් ගුරුවරයා වන හෙයින් බුදුරජාණන් වහන්සේට "සත්ථා දේව මනුස්සානං" යැයි ගුණපදයක් ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය මුල් කොටගෙන, රහතන් වහන්සේලාගේ නිකෙලෙස් ආශිර්වාදය ද සහිතව, ධර්මය තුළින් විද්‍යමාන වන නුවණ වැඩෙන, දැනුම වැඩෙන ප්‍රතිපදාවට අනුගත වෙමින් අකුරු කියවීමත්, දරුවන්ට යහගුණයෙන් යුතු අධ්‍යාපනය ලබාදීමත් බෞද්ධයින් සතු වගකීමකි.

 

එබැවින් සියලු බෞද්ධයෝ තම දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී, අකුරු කියවීමේදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සම්මා දිට්ඨියත් ප්‍රමුඛ කරගනිත්වා.

 

ඔබ සැමට තෙරුවන් සරණයි!

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය)

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ