උයන්න කලින් වළඳ හරිද බලන්න

නොවැම්බර් 18, 2024

භාජනවලින් සිරුරට එක්වන වස විස ගැන වැඩි දෙනකුට එතරම් අවබෝධයක් නැහැ. ඔබ නොදන්නවාට පිසීමට ගන්නා ආහාර වගේම පිසීමට ගන්නා භාජන ද විස ආකර වීමට පුළුවන්. මෙහි ප්‍රතිඵල තයිරොයිඩ් ගැටලු, හෝමෝන අසමතුලිතතා, මතකය අහිමි වීම, හදවතේ ගැටලු, වකුගඩු ආබාධ, පිළිකා වැනි රෝගාබාධයන්ය. මලබද්ධය, සමේ ගැටලු, ශක්තිය අඩු වීම, අංශභාගය, අක්මා ගැටලු, මොළයේ අක්‍රමිකතා ද මේ හේතුවෙන් හටගැනීමට පුළුවන.

 

අපව රෝගී කරන භාජන මොනවාද?

 

නොන් - ස්ටික් බඳුන්

 

අද කාලයේ ගෘහිණියගේ වැඩිම ඉල්ලුම ඇත්තේ නොන් - ස්ටික් බඳුන්වලටයි. ගෘහ උපකරණ අලෙවිසලකට ගිය ද වැඩිපුර දක්නට ඇත්තේ මෙවැනි බඳුන්ය. ඊට හේතුව ඒවා භාවිත කිරීමට ඇති පහසුවයි. ලෙහෙසියෙන් පිරිසුදු කළ හැකි, සැහැල්ලු, අඩු තෙල් ප්‍රමාණයක් අවශ්‍ය නොන් - ස්ටික් බඳුන් කාලයේ තාලයට ගැළපෙන්නකි. එහෙත් එය සෞඛ්‍යයට කෙතරම් හිතකර ද? ආහාර පිසීමට ගන්නා බඳුන් අතරින් වඩාත් අහිතකර උපකරණය වන්නේ මෙයයි. බොහෝ නොන් - ස්ටික් බඳුන්වල තවරා ඇත්තේ පොලි ටෙට්රා ෆ්ලූරෝ එතිලීන්, ටැෆ්ලෝන් වැනි රසායනවලිනි. මෙවැනි බඳුන්වල ආහාර පිසින විට ඉහත සඳහන් කළ රසායන රත්වී විස දුමක් පිට වෙනවා. විස දුමේ මර්කරි, කැඩ්මියම් වැනි විස ලෝහ අඩංගුයි. පොදුවේ සිරුරටත් විශේෂයෙන් මොළයට හා පෙණහලුවලටත් ඒවායින් බරපතළ හානි සිදුවෙයි.

 

මිලෙන් අඩු නොන් - ස්ටික් බඳුන්වල මාරාන්තික විසක් වන පර්ෆ්ලූරෝඔක්ටනොයික් අම්ලය තවරා තිබේ. මේවා පිළිකාකාරකයි. තමන් පිළිකාවකට ගොදුරු වූයේ ඇයිදැයි සිතාගත නොහැකි අය සමාජයේ ඕනෑතරම්ය. හේතුව ඇතැම්විට මුළුතැන්ගෙයි ඇති නොන් - ස්ටික් බඳුන විය හැකියි.

 

ග්‍රැනිට් ආහාර පිසින බඳුන්

 

මේ බඳුන්වල ගල්වා ඇත්තේ ද ඉහත දැක්වූ රසායනමයි. එබැවින් මේ බඳුන් භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල ද එකමයි.

 

ඇලුමිනියම් බඳුන්

 

කාලයක් භාවිත කළ හැකි, ලාභදායක, සවිමත්, සැහැල්ලු ඇලුමිනියම් බඳුන් ද බොහෝ ගෘහිණියන්ගේ තෝරා ගැනීමයි. අවාසනාවකට ඇලුමිනියම් බඳුන්වල ඇති ඇලුමිනියම් ආහාර පිසීමේදී ආහාරයට එක්වෙයි. ඔබටම මෙහි ඇත්ත නැත්ත තහවුරු කරගත හැකියි. අලුත මිලදීගත් බඳුනේ බර බලන්න. වසර තුනකට පසු එහි බර කිරන්න. උපකරණයේ බර සැලකිය යුතු මට්ටමින් අඩු වෙනවා. ඇලුමිනියම්, තයිරොයිඩ් ග්‍රන්ථියට, අක්මාවට විසයි. මලබද්ධය, සමේ ගැටලු, දුබල බව, අංශභාගය, අක්මා ගැටලු, හෘද ගැටලු, මොළයේ අක්‍රමිකතා ඇති කරනවා. විවිධාකාරයේ ඇලුමිනියම් බඳුන් වෙළෙඳපොළේ තිබෙනවා. රසායන ආලේපිත ඇලුමිනියම් බඳුන්, ඔප දැමූ බඳුන් ආදී විවිධාකාරයෙන් මේවා තිබුණ ද සියල්ලම භාවිතයට සුදුසු නැහැ.