වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආදරයට ආදරණීය රෝස කුසුම
බිත්ති සැරසිල්ලට අගනා පෙනුමක් ගෙන දෙන මේ ලස්සන නිර්මාණය ඔබට ගෙන එනු ලබන්නේ රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙනි. රිබන් එම්බ්‍රොයිඩරි කලාවට දැනටමත් දෑත හුරු ඔබට මෙය හරිම පහසුවෙන් නිර්මාණය කරගත හැකියි. අපි ඔබට පියවරෙන් පියවර පහදා දෙන්නෙමු. එබැවින් මේ ලස්සන නිර්මාණවල හිමිකාරිනිය වන්න ඔබටත් පුළුවනි.
ලිනන් රෙදි කොටසක්
අඟලක් පළල ළා රෝස හා
තද රෝස පාට සිල්ක් රිබන්
රෝස පාට බේබි රිබන්
කොළ පාට අඟල් 1/2 රිබන්
ඕගන්දි රිබන්
ට්රැපැස්ටි ඉඳිකටු
සාමාන්‍ය ඉඳිකටු
පැන්සලක්
කොළපාට පර්ල් කොට්න් නූල්
පළමුව රෙදි කොටස අවශ්‍ය නම් සෝදා වියළා අයන් කර ගන්න. අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. දැන් එම රෙදි කොටස රාමුවට දමා හොඳින් තද කර ගන්න. එහි පැන්සලෙන් දළ සටහනක් ඇඳගන්න.
අපි දැන් මැසීම අරඹමු. අඟල් 1ක් පළල රෝස පාට රිබන් ගෙන මැදට ෆෝල්ඩඩ් රෝස මල් සකසා අල්ලන්න.
ඒ වටේට ඇඹරුණු කෙළින් මැස්මෙන් හා ලූප් මැස්මෙන් බුරුලට පෙති මසාගන්න. පොහොට්ටු රිබන් මැස්මෙන් මසා මනිපත්ර කොළ පාට බේබි රිබන්වලින් රිබන් මැස්මෙන් මසා ගන්න.
පොහොට්ටු උඩට කොළ පාට පර්ල් කොට්න් නූලෙන් කෙළින් මැහුම් දමාගන්න. කොළ, අඟල් 1/2 කොළ පාට රිබන්වලින් රිබන් මැස්මෙන් මසාගන්න. නටු රිබන් එක අඹරවා ඇඹරුණු කෙළින් මැස්මෙන් හා කවුච් කිරීමෙන් මසා ගන්න. බෝ එක අඟල් 1/2 ඕගන්දි රිබන් භාවිත කර ලූප් මැස්මෙන් හා කෙළින් මැස්මෙන් මසා ගන්න. රාමු කර ගැනීමෙන් නිර්මාණයට වැඩි එළියක් ලැබේවි.