නිවෙසේ වහලය නිවැරැදිව තැනීමෙන් ජීවිතය ජය ගන්න හැටි

අප්‍රේල් 22, 2024

 

අප පසුගිය සතියේදී ඔබ සමඟ සාකච්ඡා කළේ නිවෙසක් සෑදීමේදී උළුවස්ස ස්ථානගත කිරීම නිවැරැදිව සිදු කරන ආකාරයයි. නිවෙසක් සෑදීමේදී මෙලෙස නිවැරැදිව සිදුකළ යුතු කටයුතු කිහිපයක් වෙයි. නිවෙසක වහලය සැකසීම ද එවැනි ඉතා වැදගත් කටයුත්තකි. නිවෙසක අත්තිවාරම තරම්ම වැදගත් වූ ප්‍රධාන කොටසක් ලෙස වහලය සැකසීම සලකයි.

 

නිවෙසක ආරක්ෂාවට හා අලංකාරයට හා මනා පැවැත්මට වහලය විශාල දායකත්වයක් සපයයි. නිවෙසක් සාදන විට අප පවසන්නේ හිසට වහලක් නැත්නම් සෙවණක් තනා ගැනීම යනුවෙනි. මෙලෙස හිසට සෙවණක් තැනීම යනු අපට අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවීමට නිවෙසේ වැදගත් කොටස වන්නේ වහලය නිසාය. මේ වහලය තැනීම ඉතාම ක්‍රමානුකූලව නිවැරැදිව කල්පනාකාරීව සිදු කළ යුතු කටයුත්තකි. මෙහිදී වාස්තු විද්‍යානුකූලව වහලක් නිර්මාණය විය යුතු ආකාරය පිළිබඳ නීති රාශියක් පවතී. මේ නීති හා ක්‍රම වාස්තු විද්‍යානුකූලව පමණක් නොව ගෘහ නිර්මාණශීල්පීය ක්‍රමයේදී ද ඉතා වැදගත්ය. එසේ සකස් නොකළහොත් නිවෙසේ පැවැත්ම ද අඩුවන අතර වැස්සෙන් හා අව්වෙන් ආරක්ෂා වීමට ද නොහැකි වනු ඇත.

වහලයක් සැකසීමේදී විද්‍යාත්මකව සලකා බලන සාධක කිහිපයකි. ඒ අතුරින් වහලයේ හැඩය වඩාත් වැදගත්ය. වහලයක් නිර්මාණය කිරීමේ දී නිවෙස පිහිටි භූමිය, ප්‍රදේශය, කාලගුණය හා දේශගුණ තත්ත්වය වහලය සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය ආදිය ගැන මනා සැලකිල්ලක් දැක්විය යුතුමය.

විද්‍යාත්මකව වහලේ හැඩය අනුව වර්ග දෙකක් පවතී. ඉන් බහුලව අප දකින්නේ සමතලා වහලයයි. එය Flat Roof ලෙස හඳුන්වයි. මෙහි සැලසුම වන්නේ 100:1 ක සුළු ආතතියක් අැති වහලයකි. වැසි ජලය බැස යෑමට එම ආනතිය ප්‍රමාණවත් වුවත් බාහිරින් එහි ආනතියක් නොමැති බව පෙනෙයි. මෙය පොල් අතු හෝ උළු වැනි සාමාන්‍ය සෙවිලි ද්‍රව්‍යයකින් නිර්මාණය කළ හැකිවෙයි. නැත්නම් වර්තමානයේ කොන්ක්‍රීට් බහුලව භාවිත කරයි. දෙමහල් නිවාසවල ඉහළ මහල සඳහා මෙලෙසින් වහලය යෙදීම සිදු කරනු ලබයි.

තවත් වහලයක් වන්නේ හැඩ වහලයයි. Pitched Roof වහලය ලෙස හඳුන්වන මෙය අන්තරාල හෙවත් ආනත වහලයක් ලෙස හඳුන්වයි. මේ සඳහා වැඩි ආනතියක් යොදා ගනියි. මෙහි ආනතිය තීරණය වන්නේ වහලය සෙවිලි කිරීම යොදාගනු ලබන සෙවිලි ද්‍රව්‍යයයි. ටකරන්, ඇස්බැස්ටෝස්, උළු ආදී වර්ග අනුව වහලයේ ආනතිය වෙනස් වෙයි. මෙලෙස නිර්මාණය කරන වහලය තනි පලය සහ පල දෙක නැත්නම් ද්විත්ව පල වහලය ලෙසින් නිර්මාණය කරනු ලබයි.

වහලයක් තැනීමේදී ඊළඟ වැදගත්ම සාධකය වන්නේ වහලය සඳහා යොද ගන්නා දැව වර්ගයයි. එසේ යොදා ගන්නා දැව වර්ගය අනුව වහලයේ පරාල යෙදීම කළ යුතු වෙයි. බිත්ති, යට ලී, මුදුන් යට ලී, මුලප්පරාල, කානු පරාල, පරාල, අතුරු යටලී, කුරුපා රීප්ප, තලාද, වඩිම්බු ආදී බොහෝ ලී වර්ග වහලයකට යොදා ගනී. මේ වර්ග යොදා ගන්නා ආකාරය හා එහි හැඩය විවිධාකාර වේ. වහලයක් සවි කිරීමේිදී එය වාස්තු විද්‍යානුකූලව සිදු කරන ආකාරය පිළිබඳ ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා

වාස්තු විද්‍යා පදනම