පොරොන්දම් ගළපා නිවෙසට සිරිලිය කැන්දමු

මාර්තු 4, 2024

 

නිවෙසක ගැටලු නිර්මාණය වන්නේ කාලයත් සමඟය. කාලය හා අවකාශය වාස්තු විද්‍යාව පදනමයි. එය සියලුම විද්‍යාවන්ට පොදු වූ සිද්ධාන්තයකි. අප පසුගිය ලිපියේදී සාකච්ඡා කළේ නිවෙසක ආය පොරොන්දම් ගැළපීමය. නිවෙසේ වර්ගඵලය ලබා ගෙන එය 8න් බෙදු විට ලැබෙන ශේෂය අනුව එය ලබා ගැනීම පිළිබඳ අපි විමසුමට ලක් කළෙමු. මෙලෙසින් නිවෙසක වර්ගඵලය පදනම් කරගෙන තවත් පොරොන්දම් කිහිපයක් පරීක්ෂා කළ යුතු බව වාස්තු ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. නිවෙසක් ඉදිකිරිමේදී එම නිවෙසේ දිග, පළල, අත්තිවාරම් පිටින් පිට ගෙන එය වඩු රියන් ක්‍රමයට වැඩි කිරීමෙන් ලබා ගන්නා වර්ගඵලය ගණිතමය වශයෙන් බෙදා දැක්වීමෙන් ලැබෙන ශේෂයට අනුව අය, වැය ආයුෂ ආදිය පරීක්ෂා කරන ක්‍රමයක් ද වාස්තු විද්‍යාෙව් පවති.

මෙම පොරොන්දම් පරීක්ෂාවට අනුව නිවෙසක් වර්ග කිරීමේදී ඒ සඳහා සැලකිල්ලට භාජනය කළ යුතු පොරොන්දම් හෙවත් ශීර්ෂ ගණන සහ ශීර්ෂ වර්ගයක් පදනම් කරගෙන පොරොන්දම් ගැළපීමේ ක්‍රම දෙකක් පැරැණි වාස්තු විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. ඉන් පළමු ක්‍රමය යටතේ අය, වැය, ධන, වංශ, දින, නැකැත්, තිර්ථි යෝනි, රාශි සහ ආයුෂ යනුවෙන් පොරොන්දම් 10ක් පරීක්ෂා කිරීමට උපදෙස් දී තිබුණත් මෙම පොරොන්දම් ගැළපීම ගැන එතරම් පිළිගැනීමක් නොපවතී. වාස්තු විද්‍යාඥයන් වැඩි පිරිසක් විසින් පිළිගෙන නිර්දේශ කර ඇති පොරොන්දම් ක්‍රමය වන්නේ 11 පොරොන්දම් පරීක්ෂාවයි.

වර්තමානයේ නිවාස සැලසුම් කිරීමේදී වැඩි වශයෙන් භාවිත කරන එම ක්‍රමය ‘ඒකාදශවර්ගීකරණය‘ හෙවත් එකළොස් පොරොන්දම් පරීක්ෂාව ගැන වැඩි ප්‍රමුඛතාවක් දක්වයි. මේ යටතේ අය, වැය, යෝනි, නැකත, දවස, අංශකය, රාශිය, තිථිය, වංශය ආයුෂ හා දේවතා යනුවෙන් පො‍ෙරාන්දම් 11ක් නිවාස වර්ගඵලය පදනම් කරගෙන බෙදීම, වැඩි කිරීම ඔස්සේ පරීක්ෂාවට ලක් කරනු ලබයි. ඒවා පරීක්ෂා කරන ආකාරය ඒවායේ සුබ අසුබ තත්ත්වයක් පිළිබඳ දළ අවබෝධයක් අපට තිබීම ඉතා වැදගත්ය. අපි මෙවර ඒ පොරොන්දම් 11 පිළිබඳ දළ අවබෝධයක් ලබා ගනිමු.

අය පොරොන්දම - ඉහතින් සඳහන් කළ පොරොන්දම් අතුරින් වැදගත්ම පොරොන්දමක් වන අය යනු නිවෙසට ගලා එන මුදල් තත්ත්වයයි. නිවෙසේ වර්ගඵලය 8න් වැඩිකර 2න් බෙදීමෙන් පසු ලැබෙන ශේෂය අය ලෙස නම් කර ඇති අතර එය 6ක් වූයේ නම් මධ්‍යම බවක්, 6ට වැඩි නම් සුබ බවක් පෙන්වා දී ඇත. නමුත් 6ට අඩු නම් අසුබ ද ගෙනදෙයි.

වැය පොරොන්දම - මෙය ද වැදගත් පොරොන්දමක් ලෙස වාස්තු විද්‍යාෙව් සඳහන් වේ. සාමාන්‍යයෙන් වැය යනු විවිධ මාර්ග ඔස්සේ ගලා එන මුදල් විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීමට යෙදවීමයි. මෙය නිවෙසකට ද ඒ ආකාරයෙන්ම වැදගත්ය. නිවෙසේ වර්ගඵලය 9න් ගුණකර 10න් බෙදු විට ලැබෙන ශේෂය වැය ලෙස හඳුන්වයි. එය ද 5ක් වුයේ නම් ප්‍රතිඵලය මධ්‍ය බව සඳහන් ය. ශේෂය 5ට අඩුනම් සුබ බවත්, 5ට වැඩි නම් අසුබ බවත් ඉහත පරීක්ෂා කළ අය - වැය පො‍‍ෙරාන්දම් දෙකම සුබවීමට ඉටුවිය යුතු පදනම වන්නේ අයට වඩා වැය අඩුවීම විය යුතුය.‍

යෝනි පොරොන්දම - යෝනිය හඳුනාගෙන ඇත්තේ නිවෙසේ වර්ගඵලය 3න් වැඩිකර 8න් බෙදූ පසු ලැබෙන ශේෂය අනුවය. එය 0 වූයේ නම් කාක යෝනියයි. 1 වූයේ නම් සිංහ යෝනියයි. 2 කොටළු යෝනිය ද 3 ධ්වජ යෝනිය ද 4 ශ්වානි යෝනිය ද 5 ගජ යෝනිය ද 6 ධූම යෝනිය ද 7 වෘෂභ යෝනිය ද වේ. කොටළු, ශ්වාති, ධූම, හා කාක යන යෝ්නි අසුබ පල උදා කරයි. සිංහ, ද්වජ, ගජ හා වාෂභ යෝනි සුබ පල උදා කරන බව වාස්තු විද්‍යාෙව් සඳහන් වේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ නිවෙසේ යෝනිය සුබ වුවත් එය නැවතත් දවස, රාශි, තිර්ථි හා නැකත් හා පොරොන්දම් සමඟ සසදා ඒවාට ගැළපෙන යෝ්නි වර්ගය තෝරා ගැනීමට ගෘහ නිර්මාණ ශිල්පියා දැන සිටිය යුතුය.

නැකැත් පොරොන්දම - නිවෙසේ වර්ගඵලය 8න් වැඩිකර 27න් බෙදු විට ලැබෙන ශේෂය අනුව නැකැත් නම් කරනු ලබයි. එනම් නැකැත් හෝඩිය අනුව ඔත්තේ නැකැත් සුබ බවත් ඉරට්ටේ නැකැත් අසුබ බවත් වාස්තු ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ. මෙලෙසින් ලැබෙන සුබ නැකැත් පවා යෝනි පොරොන්දම් හා සංසන්දනය කළ යුතුය.

වාර හෙවත් දවස පොරොන්දම - තරග ශාස්ත්‍රය අනුව සතියේ සත්දින නම් කරනු ලබන්නේ රවි හෙවත් හිරු, සඳු හෙවත් චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු සහ ශනි වශයෙනි. වාස්තු විද්‍යාව අනුව නිවාස වර්ගඵලය 9න් ගුණකර 7න් බෙදූ විට ලැබෙන ශේෂය අනුව පොරොන්දම් දින හත මුල්කර ගනිමින් පරීක්ෂා කරනු ලබයි.

රාශි පොරොන්දම - තාරකා විද්‍යාඥයන් විසින් දැනට සොයාගෙන ඇති ග්‍රහ වස්තුන් වාස්තු ශිල්පයට අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, හා මීන යනුවෙන් රාශි 12කට බෙදනු ලබයි. මෙම රාශි 12 පොරොන්දම් පරීක්ෂාවට අනුව වෘෂභ, මිථුන, සිංහ, ධනු හා කුම්භ රාශි සුබපල ළඟා කරයි. අනෙක් රාශි හත අසුබ පල ගෙනදෙන බවත් එම රාශි පවා නැවත යෝනි පො‍ෙරාන්දම සමඟ ගළපා ගත යුතු වේ.

අංශක පො‍ෙරාන්දම - මේ යටතේ අර්ථහීන, දුර්බල තස්කර හා ප්‍රේත යනුවෙන් අසුබ ඵල උදා කරන අංශක 4ක් ද අර්ථ, බල, භූත, ධාන්‍ය, හා නවපති යනුවෙන් සුබ පල උදා කරන අංශක 5ක් ද වාස්තු විද්‍යාඥයන් සඳහන් කරයි. මෙය ලබා ගනු ලබන්නේ ‍නිවෙසේ වර්ගඵලය 4න් ගුණකර 9න් බෙදීමෙන් ලැබෙන ශේෂය අනුවය.

තිථි පොරොන්දම - නි‍ෙවසේ වර්ගඵලය 9න් වැඩිකර 30න් බෙදූ ඩපසු ලැබෙන ශේෂය අනුව වාස්තු විද්‍යාඥයන් විසින් තිර්ථි 30ක් අර්ථ දක්වා ඇත. එම තිර්ථි සුබවන ආකාරය හා අසුබ වෙන ආකාරයට බෙදා වෙන් කිරීම සිදු කරයි.

වංශ පොරොන්දම - බුදු දහමේ වංශය ලෙස දක්වා ඇත්තේ කුලයයි. පැරණි ග්‍රන්ථයන්හි සඳහන් ආකාරයට බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් වංශ 4ක් ඇත. නිවෙසක වර්ගඵලය 3න් ගුණකර 4 බෙදූ පසු ලැබෙන ශේෂය අනුව වංශ පොරොන්දම ගළපා ගනියි. මෙහි ශූද්‍ර වංශය පමණක් අසුබ ඵල උදා කරයි.

ආයුෂ පොරොන්දම - නිවෙසක් වර්ග කිරීමේදී අය වැය හා සමානව වැදගත් වන පොරොන්දම වන්නේ ආයුෂ පොරොන්දමයි. එය වර්ගඵලය 27න් ගුණකර 100න් බෙදු විට ලැබෙන ශේෂය 50ට අඩු නම් අසුබ බවත් 50ට වැඩි නම් සුබ බවත් වාස්තු විද්‍යාවේ සඳහන් වේ.

දේවතා පොරොන්දම - මේ යටතේ බ්‍රාහ්මණ, විෂ්ණු, හා ශිව යනුවෙන් දේවතා වර්ග 3ක් පෙන්වා දී තිබේ. නිවෙසේ වර්ගඵලය 5න් ගුණකර 3න් බෙදූවිට ලැබෙන ශේෂය 0 නම් දේවතා බවත්, 1 නම් බ්‍රාහ්මණ ද 2 විෂ්ණු බව වැඩිදුරටත් සඳහන් වේ. මින් ශිව දේවතාව හැර ඉතිරි දේවතා 2 සුබ බව වාස්තු ග්‍රන්ථයන්හි සඳහන් ව තිබේ.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු

විද්‍යා පදනම

මඩපාත පාර කොටගෙදර පිළියන්දල