අංක විද්‍යාවෙන් පිහිට

මාර්තු 4, 2024

ගතවී යන, උදාවන හැම තත්්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

 

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

සහෝදරියට ගැළපෙන සහකරු ඔහු ද?

 

ප්‍රශ්නය

මාගේ සහෝදරියක් පිළිබඳ ගැටලුවකි. ඇයගේ උපන්දිනය වන්නේ 1995.05.08 වැනිදායි. ඇයගේ පෙම්වතාගේ උපන්දිනය 1992.06.10 වේ. ඔවුන්ගේ දැන හඳුනාගෙන වසර 03කි. ඒ වසර කීපය තුළ දී කිහිප විටක් ඇය එම සම්බන්ධය නවතා දැමීමට උත්සාහ ගත්තේ ඔහුගේ නොගැළපීම් ඇති නිසා. අංක විද්‍යාවට අනුව ඔවුන්ට යහපත් විවාහ දිවියක් ගෙවිය හැකි ද?

 

පිළිතුර

 

ස්ත්‍රියගේ උපන්දිනයට අනුව ඇයගේ පුද්ගලික අංකය 8 වන අතර දෛව අංකය 1 වේ. ඇයගේ උපතේ ඇති බාධාකාරී ගතිය මඟහැර යා හැකි දෛවයක් ඇයට හිමියි. නමුත් ප්‍රමාද ගතියක් පෙන්වයි. කළු වලාකුළෙන් වැසුණු චන්ද්‍රයාමෙන් පසුව බබළයි. වයස 35 තෙක් බාධා පැවතියත් ප්‍රබල නමක් භාවිතාකර දෛවයේ සවියෙන් ඉදිරියට යා හැක.

පුරුෂයාගේ උපන්දිනයට අනුව ඔහුගේ පුද්ගලික අංකයත් දෛව අංකයත් 1 වේ. ඔහු ඉතාම වේගවත් අයෙකි. ඔහුගේ ගමන ඉක්මන්. සසර පින් ඇතිව උපන් ඔහු බාධා නොසලකා ඉදිරියටම යෑමේ වාසනාව ඇති අයෙකි. නම දුබලනම් මේ තත්ත්වය අඩුවැඩි විය හැකිය. වයස 37 ඔහුගේ ජීවිතයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයකි.

ඔහුගේ අධිවේගී ගමනට ඔබගේ බාධාකාරී ගතිය නිසා ප්‍රශ්නයක් වෙන ගතිය ඇතිවිය හැකිය. ඔබට ගැළපෙනම කෙනා වන්නේ ඔහුයි. ප්‍රශ්නවලට පැටලීමට ඉඩ නොදී ඔහුට බාධාවක් නොවී ශක්තිමත්ව ඉදිරියටම යන්න. ස්ත්‍රීයගේ උපතට අනුව ගැළපෙන හොඳම කෙනා හමුවී ඇත. ඔහුගේ අණසකට යටත්කර ගන්න හදන ගතිය, කාටවත් යටත් නොවන ගතිය ඔහු උපතින් ගෙනා දේවල්ය. ඒවා හදාගෙන දෙදෙනා සමගියෙන්, අවබෝධයෙන්, ගළපාගෙන ඉදිරියට යන්න.

 

අනාගතය කෙසේ ද?

 

මා විවාහකයි. දරුවන් තුන්දෙනෙකු සිටී. මා හට නිවෙසේ ඉදිකිරීම්කර ගැනීමට කොතරම් උත්සාහ දැරුවත් තවමත් නොහැකි විය. අනාගතය කෙසේද දැනගැනීමට අවශ්‍යමයි. මාගේ උපන්දිනය 1987.04.29 වේ. බිරියගේ 1990.05.16 වේ.

 

පිළිතුර

 

1987.04.29 උපන් සැමියාගේ පෞද්ගලික අංකය 2 වේ. දෛව අංකය 4 වේ. ඔබගේ උපතට අනුව පෞද්ගලික අංකයේ ඇති ඕනෑම දෙයක් සිතමින් මනසින් වැටෙන ගතිය, සිතිවිලි සමඟම ජීවත්වන ඔබ තනියම දෙයක් කරන්න උත්සාහය මදි ගතියක් හැමදේටම කාගෙහරි උදව්වක් බලාපොරොත්තු වන කෙනෙක්. දෛව අංකය 4 වීම නිසාත් දෛවයෙන් එන බාධාවත් ඔබගේ ජීවිතයට බලපානවා. නිතර මනසින් කඩාවැටෙන ගතිය අඩුකර අධිෂ්ඨානයෙන් ඉදිරියට යා හැකිය. නැහැ, බැහැ යන වචන හිතින් ඉවත් කරන්න.

1990-05-16 බිරියගේ උපන් පෞද්ගලික අංකය 7 වේ. දෛව අංකය 4 වෙයි. ඔබ දෙදෙනා විවාහයට හොඳින් ගැළපුණත් දෙදෙනාගේම දෛව අංකය 4 වීම හැමදේකම ප්‍රමාදය පෙන්වයි. උත්සාහවන්ත විය යුතුයි. වයස 37 කියන්නේ ජීවිතයේ හොඳ හැරවුම් ලක්ෂ්‍යයක්. උපන් කේන්දර‍යේ දුබලතාවන් නැත්නම් හොඳ අධිෂ්ඨානයෙන් ඉදිරියට යා හැකි කාලයකි. උත්සාහය, අධිෂ්ඨානය , අවශ්‍යයි. මනස සුවපත්වන අභ්‍යාස කළ යුතුමයි. ජීවිතය ජය ගන්න නම් සුබවාදීව හිතන්න පුරුදු විය යුතුයි.

 

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා