අංක විද්‍යාවෙන් ඔබට පිහිට

මාර්තු 11, 2024

ගතවී යන, උදාවන හැම තත්්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

 

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10. 

 

 

අංක විද්‍යාවට අනුව අප දෙදෙනා ගැළපෙනවා ද?

 

ප්‍රශ්නය

 

මා වසර කිහිපයක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමි. මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ අංක විද්‍යාවට අනුව අප දෙදෙනා ගැළපෙනවාද කියායි.

දිමුතු ප්‍රසන්න -2002.06.09.

හසිනි මධුශිකා- 2002.06.23

අපගේ අනාගතය ගැන පවසන්න.

 

පිළිතුර

 

2002-06-09 උපන් දිමුතු ප්‍රසන්න යන නමෙහි වටිනාකම ගැන බලන විට දිමුතු නමහි වටිනාකම 30ත් ප්‍රසන්න නමේ වටිනාකම 26 වේ. මේ දෙකින් මොන නම පාවිච්චි කළත් ඔබට සුබ පලයක් නැත. නම් දෙකම පාවිච්චි කළත් දෙකෙහිම එකතුවත් ඔබට සුබ නැත. ඔබගේ පුද්ගලික අංකය 9 දෛව අංකය 1 වේ. ඔබ හරි හිතුවක්කාර චරිතයක් මෙල්ල කළ නොහැකිය. තනි මතයටම වැඩකරන ගතිය ඇති ඔබ මනස හදාගත යුතුයි. ඔබට විදෙස්ගත වීමේ භාග්‍ය ඇත. ප්‍රබල නමක් පාවිච්චි කරන්න. ඉවසීමෙන් ඔබට ඉදිරියට යා හැකිය.

 

2002-06-23 උපන් ඔබගේ පුද්ගලික අංකය 7 දෛව අංකය 8 වෙයි. විදෙස් ගත වීමේ භාග්‍ය හොඳින් ඇත. නමුත් දෛවයේ ඇති දුර්වලතාවය නිසා ප්‍රමාද ගතියක් විය හැකිය. සිතිවිලි සමඟ තියුණු මනෝභාවයක් ඇති ගැහැනු දරුවාගේ නම Hashini වෙයි. එහි වටිනාකම 21 සුබයි. ආකර්ෂණීය නමකි. බාධා තත්ත්වයන් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්.

 

හරියාකාරව තවත් විස්තර දැනගැනීමට නම් පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් කරගත යුතුමයි.

 

 

ඉදිරි දියුණුව කෙසේ වේවි ද?

 

ප්‍රශ්නය

1968.07.23 උපන් මාගේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි

දියුණුව ගැන දැන ගැනීමට අවශ්‍යයි.

 

පිළිතුර

 

1968-07-23 උපන් ඔබගේ පුද්ගලික අංකය 5 වේ. දෛව අංකය 9 වේ. කා සමඟත් සුහදශීලි ලෙස, ආකර්ෂණය දිනාගත් ඔබ ඉතාම රාගාධික චරිතයකි. ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට මැදිවී කාලය ගෙවූ අයෙකි. විවාහ වූවා නම් එයද එතරම් සාර්ථක නැත. ඔබ අන් අයගේ බැල්මට, හසුවෙන අයෙකි. රාගාධික චරිතයකි. කාගෙත් ආකර්ෂණය ලබන ඕනෙම කෙනෙක් ඔබ දිහා උනන්දුවෙන් බලයි. සබඳතා කීපයක් ඇතිවේ. එක තැනක රැඳිය නොහැකිය. එසේ වන්නේ ඔබගේ වරදින් නොව ඉබේම වගේ වෙන දෙයකි. වචනවලින් හිත් වෙනස්කළ හැකි චරිතයකි. උපතින් ගෙනා ආකර්ෂණයත්, සසරින් ගෙනා එඩිතර කමක් ඇති නිසා ප්‍රශ්නවලින් දිනයි. එහෙත් අවසානයේ කාගෙවත් උදවු නොලැබෙන අයෙක්. ඒ නිසා දැන්මම ඒවාට ඔරොත්තු දෙන විදිහට ජීවිතය හුරුකර ගන්න. විශ්වාසවන්ත එක් අයකු තෝරාගන්න. පිනට දහමට ළැදි වන්න. වැඩිදුර විස්තර අවශ්‍ය නම් ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂාකර ගන්න.