අංක විද්‍යාවෙන් පිහිට

පෙබරවාරි 19, 2024

ගතවී යන, උදාවන හැම තත්්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.
 

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.
අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,
තරුණී, ලේක්හවුස්,
කොළඹ - 10.

 

පවුලේ සමගියක් නැත්තේ ඇයි?

 

අප පවුලේ සිවු දෙනෙකි. මවගේ උපන් දිනය වන්නේ 1965. 03. 21. පියාගේ උපන් දිනය වන්නේ 1963. 05. 12. මාගේ සහෝදරයාගේ උපන් දිනය වන්නේ 1995. 08. 09. මාගේ උපන් දිනය වන්නේ 1997. 06. 03. මව ගෘහණියක් ලෙස කටයුතු කරයි. පියා සහ සහෝදරා පෞද්ගලික ආයතනවල සේවය කරයි. මම තවමත් අධ්‍යාපන කටයුතු කරමින් පසුවෙයි. අප පවුලේ කිසිදු සමගියක් නැත. හැමවිටම එක එක්කෙනා පසුවන්නේ නොරුස්සන ස්වභාවයෙනි. අංක විද්‍යාව අනුව මෙය පහදා දෙන්න. මීට පිළියමක් තිබේ ද?

 

පිළිතුර

පියාගේ පුද්ගලික අංකය 03 වන අතර දෛව අංකය 09 වේ. මවගේ පුද්ගලික අංකය 03 වන අතර දෛව අංකය 9 වේ. සොහොයුරාගේ පුද්ගලික අංකය 09 වන අතර දෛව අංකය 05 වේ. ඔබගේ පුද්ගලික අංකය 03 වන අතර දෛව අංකය 08 වේ.

මව, පියා සහ ඔබගේ ගතිගුණ තමාටම ආවේණික වූ රාමුවක් තුළ යන ගතිය, කෙනෙකුට යටත් නොවන ගතිය ඇත. කෙනකුට ඇති ගරුසරුව අඩුය. මවුපිය දෙදෙනා ඉතා වේගවත් ඥානවන්ත අය වේ. ඔවුන් වේගවත් චරිත වේ. ඔබගේ දෛව අංකය 8 වීම නිසා අනිත් අයට වඩා ධර්මයට යොමුවන ගතිය, අසරණ අය ගැන අනුකම්පා ගතියක් ඔබගේ ඇත. ඔබගේ සොහොයුරා උපතින්ම ගෙනා ජවය, ශක්තිය, ඉක්මනින් කේන්ති යන ගතියක් ඇත. සතුටින් සමඟියෙන් ජීවත්වීමට නම් සිතුවිලිවලට ඉඩ නොදී නිවෙසේ සාමය රැඳෙන විදිහට කටයුතු කරන්න. කෙනකුට කෙනෙක් නොරුස්සන ගතිය හදාගෙන ඉදිරියට යන්න. සොහොයුරා නිතරම නායකත්වය ගැනීමට උත්සාහ කරන අයෙකි. ඒ නිසා පරෙස්සමෙන් අවබෝධයෙන් කටයුතු කරන්න.

 

විවාහ වීමට වරම් නැති ද?

 

ප්‍රශ්නය

1988.06.12 උපන් මා පවුලේ එකම දරුවාය. ප්‍රේම සබඳතා කිහිපයක්ම තිබුණත් ඒවා විවාහ දක්වා ගියේ නැත. මා වෘත්තියෙන් ගුරුවරියකි. විවහා යෝජනා කිහිපයක්ම බැලුවත් ඒවා ස්ථිර නොවීය. මා හට කෙදිනකවත් විවාහ වීමට නොහැකි වේවි ද? අංක විද්‍යාවට අනුව ඒ පිළිබඳව දැන ගත හැකි ද?

 

පිළිතුර

 

1988.06.12 උපන් ඔබගේ පුද්ගලික අංකය 3 වේ. දෛව අංකය 8 වේ. උපත බලවත් වුවත් සසරින් ගෙනා බාධාකාරී තත්ත්වයක් පෙන්වයි. ඔබගේ ලෞකික පැත්ත දුර්වල වුවත් ආධ්‍යාත්මික පැත්තට නැඹුරුව වැඩිය. සාධාරණ, තමාටම ආවේණික රාමුවක් තුළ වැඩ කරන ඔබගේ කුඩා කාලය දුෂ්කරයි. දුෂ්කරතා මැද මෙතෙක් දුර ආ ඔබගේ විවාහය පමා වීම ගැන එතරම් හිතන්න අවශ්‍ය නැත. ඔබගේ ප්‍රමාද කාලය මේ වෙනකොට ගෙවෙමින් පවතී. වයස 37 කියන්නේ ඔබගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයකි. මානසිකව ඔබ ශක්තිමත් වන්න. බාධා ඉදිරියේ නොසැලෙන ගතියක් ඇති ඔබගේ විවාහයට සුදුසු සහකාරියක් මේ කාලය තුළ සොයාගත හැකිය. වයස 37 ඔබට මංගල සීනු හඬන කාලයකි. එතෙක් ඉවසීමෙන් ඉදිරියට යන්න.

 

උපදෙස්
ප්‍රවීණ අංක විද්‍යාවේදිනි
ලක්ෂි පුෂ්පලතා පෙරේරා