නිවෙසට කිරි උතුරන්න නිවැරැදිව වර්ග පොරොන්දම් ගළපන්න

පෙබරවාරි 19, 2024

වාස්තු විද්‍යාව හා සබැඳි විද්‍යාත්මක පදනම ගණිත ශාස්ත්‍රයට අනුව නිර්මාණයකර ගැනීම තරමක සංකීර්ණ ක්‍රියාවලියකි. මේ සඳහා අප සෑමවිටම වාස්තු විද්‍යාඥයකුගේ උපදෙස් ලබා ගන්නේ එබැවිනි. අප පසුගිය සතියේ දී වාස්තු විද්‍යාෙව් දී යොදා ගන්නා වඩු රියන පිළිබඳ දැනුවත් කළේ මේ පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීමටයි. මෙහිදී වාස්තු විද්‍යාවේ යොදා ගන්නා වඩු රියන මෙට්‍රික් ක්‍රමයට පරිවර්තනයකර ගැනීමට ඔබට අවබෝධයක් තිබිය යුතුය.

 

එසේම වාස්තු විද්‍යාවේදී නිවාස වර්ග කිරීම සහ පො‍ෙරාන්දම් පරීක්ෂා කිරීම ද වැදගත්ම ක්‍රියාවලියකි. මේ සඳහා වඩු රියන බෙහෙවින්ම උපකාරී වෙයි. අප නිවෙසක් තනා ගන්නේ ජීවිත කාලය පුරාවට සතුටින් එහි ජීවත් වීමටය. පරම්පරා කිහිපයක් සතුටින් සිටීම සැමගේ ප්‍රාර්ථනාවයි. එලෙසින් නිවෙසක් තනා ගැනීමට අර්ථ, ධර්ම, කාම සහ මෝක්ෂ යන චතුර් වර්ගික සම්පත් ලබාගත හැකි සාධකයක් නිසි ලෙසින් ගළපා ගත යුතුය. මේ සඳහා වාස්තු විද්‍යාත්මක නිවාස වර්ගීකරණය ඉතා වැදගත්ය. නිවෙසක වර්ගඵලය මැනීම හෙවත් ගෘහ පිණ්ඩය මැනීම ලෙස එය හඳුන්වයි. මෙය Floor Area of the House ලෙස ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයේදී නම් කරයි.

නිවාස වර්ග කිරීමේදී එය කොටස් දෙකකින් යුතු වර්ග කිරීමක් ලෙස වාස්තු විද්‍යාෙව් සඳහන් වේ.

1. අට වැදෑරුම් ආය ක්‍රමය අනුව නිවාස වර්ග කිරීම.

2. එකළොස් වැදෑරුම් හෙවත් ඒක දස වර්ග කිරීම.

මෙම ක්‍රම දෙක අනුවම නිවාස වර්ගීකරණය සිදු කරනු ලබයි. මෙහිදී අට වැදෑරුම් ආය ක්‍රමය මඟින් යෝජිත නිවෙස මිනිස් වාසයට සුදුසු ද නොසුදුසු ද යන බව තීරණය කරයි. මෙම ක්‍රමයේදී වඩු රියන්වලින් ගණනය කරනු ලබන නිවෙසේ දිග සහ පළල අනුව ලැබෙන වර්ග වඩු රියන් ගණන හෙවත් ගෘහ පිණ්ඩය 8න් බෙදා ලැබෙන ශේෂය හෙවත් ඉතිරිය අනුව සෑම නිවෙසක්ම ද්වජ, ධුම, සිංහ, සුනඛ, වෘෂභ, කොටළු, ගජ සහ කාක නම් අාය වර්ග 8කට වෙන්කර ගත්තේ ලැබෙන ශේෂය 1 සිට 8 දක්වා පදනම් කරගෙනය.

මෙම වර්ගීකරණයට අනුව ද්වජ, සිංහ, වෘෂභ, ගජ, යන අාය වර්ග 4ට අයත් නිවාස මිනිස් වාසයට සුදුසු බවත් ඉතිරි 4 මිනිස් වාසයට නුසුදුසු බවත් පැරැණි වාස්ත්‍ර ග්‍රන්ථයන්හි සඳහන්ව තිබේ.

මෙලෙසින් සඳහන් කළ ආය වර්ග 8න් සුදුසු ආය වර්ගයක් තෝරාගත් පසු දෙවනුව සඳහන් කළ ඒක දස වර්ගයට හෙවත් 11 වැදෑරුම් ක්‍රමයට අනුව වර්ග කරනු ලබයි. මෙය වාස්තු විද්‍යාව සහ ජ්‍යෙතිෂ ශාස්ත්‍රය යන කරුණු දෙක මත පදනම් කරගෙන ඉදිරිපත් කරනු ලබන ගණිතමය සිද්ධාන්තයකි. මෙය 11 පොරොන්දම් ලෙස ද සඳහන්ය. ගෘහ මූලිකයාගේ නැකත මත පදනම්ව ගෘහ මූලිකයා සහ නිවෙස අතර ගැළපීම පරීක්ෂා කිරීමක් ලෙස ද මෙය සඳහන් කළ හැකිය. විවාහයේදී දෙදෙනාගේ 20 පොරොන්දම් ගැන සාකච්ඡා කරනවා සේම මෙයද 11 පොරොන්දම් මත පදනම්ව සිදු කරනු ලබන ගැළපීමකි. යම් ගණිතමය ක්‍රමයක් මඟින් ගෘහ පිණ්ඩය හෙවත් ෂේක්ත්‍ර ඵලය බෙදීමෙන් ලැබෙන ශේෂය මත අය, වැය, යෝනිය, නැකත, දවස, අංශකය, රාශිය, තිථිය, වංශය, දේවතා සහ ආයුෂ ලෙස පොරොන්දම් 11කි. මෙම පොරොන්දම් 11න් අය සහ වැය මඟින් ගෘහ මූලිකයාගේ නිවෙසට ලැබෙන මුදල් තත්ත්වය ගැන කියවන අතර අය 6කට වැඩිනම් නිවෙසේ ආකර්ෂණය, මුදල් ලැබීම, දියුණුව යහපත් වනසේම 6ට අඩුනම් අසුබ බව සඳහන් ය.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර පිළියන්දල