සීමිත කාලයෙන් උපරිම ප්‍රතිඵල ගන්නට...

සැප්තැම්බර් 11, 2019

දවසක් ගෙවී තවත් දවසක් උදාවන්නේ ඊයක වේගයෙන්. දවසක් මේතරම් කෙටි ද කියලත් හිතෙන අවස්ථා එමටයි. අපේ කාර්යබහුලත්වයම තමයි එයට හේතුව. මේ දිනවල මේ හැඟීම වැඩිපුම දැනෙන්නේ සා/පෙළ විභාගයට මුහුණ දෙන දූපුතුන්ටයි.

සා/පෙළට තව මාස තුනකුත් නැති තරම්. ඔවුන්ට පාඩම් කරන්න, නැවත අධ්‍යයනය කරන්න වැඩ ගොඩගැහිලා ඇති. විෂයයන් ගණනාවකට තියෙන පාඩම් පොත් කන්දරාව දැක්කම මේ ඔක්කොම කොහොම කරන්නද කියලත් හිතෙනව ඇති. කාලයත් එතරම්ම සීමිතයි.

මේ සීමිත කාලයෙන් උපරිම ඵළ නෙළාගන්නට උපදෙස් ටිකක් දුන්නොත් හොඳයි කියලා හිතුණ නිසාම පහුගිය සතියේ තරුණී එයට පුංචි උත්සාහයක් ගත්තා. මේ එහි දෙවැනි පියවරයි. සා/පෙළට මුහුණ දෙන්න ඉන්න දූපුතුන් ගිය සතියේ තරුණී වෙතින් ප්‍රයෝජනයක් ගත්තා නම් එයයි අපේ උත්සාහයට ලැබෙන අනගිතම සහතිකය.

ඉදිරි කාලය පුරාවටම ආදරණීය දූපුතුන්ට මේ විදියට උදවු කරන්න අප බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.

සියලුම විෂයය කරුණු හිතේ ගොනු කරගෙන ඉදිරි කාලයත් තව තවත් කරුණුවලින් මනස පුරවා ගන්නට සූදානමින් ඉන්න දූපුතුන්ට මේ ලිපි පෙළ ප්‍රයෝජනවත් වේවි. ඒ හරහා ලබාදෙන උපදෙස්, පාඩම් කිරීමේ කෙටි ක්‍රම සා/පෙළ විභාගය ඉහළින්ම ජයගන්න අත්වැලක් වේවි.

මේ සීමිත කාලයෙන් උපරිම ඵල නෙළාගන්නට නම්

* අවසන් සති කිහිපය කෙටි සටහන් බැලීමට පමණක් සීමා කරන්න.

බොහෝ දූපුතුන් විභාගය පටන් ගන්නා දවස තෙක්ම පොත් පෙරළාගෙන දිගු සටහන් කියවමින් විෂයය කරුණු රැස් කිරීමට උත්සාහ කරයි. මෙහි අනිසි ප්‍රතිඵලයක් වන්නේ මිනිස් මොළයට දරාගත හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් මතකයේ යම් යම් කොටස් මැකී යාමයි. එම නිසා මේ අවසන් මොහොතේ අනවශ්‍ය ලෙස මනසට පීඩනයක් දෙන්න එපා. කෙටි සටහන් බැලීමෙන් පමණක් මතකය ආවර්ජනය කරගන්න.

  •  කෙතරම් පාඩම් කළත් ඔබට නොතේරෙන විෂයය කරුණක් වේනම් එය වරක් දෙවරක් මතකයේ තබාගැනීමට උත්සාහ කරන්න. එසේත් නොහැකි නම් මේ මොහොතේ ඒ වෙනුවෙන් තවදුරටත් වෙහෙසෙන්නට එපා.
  •  බොහෝ දරුවන් වැඩි කැමැත්තක් දක්වන්නේ යහළුවන් සමඟ එක්ව පාඩම් කිරීමටයි. එහි කිසිදු වරදක් නැත. නමුත් පාඩම් කිරීමට සුදුසු වේලාව ඔබ තෝරාගත්තා සේම පාඩම් කිරීමට අවශ්‍ය මිතුරු කණ්ඩායම තෝරාගැනීමේ දීත් තමාට වඩා දක්ෂයන් එක්කරගන්නට උත්සුක වන්න.
  •  තමා උගත් දේ වෙනත් අයකුට කියාදීම මතකයේ තැන්පත් වීමේ හොඳම මඟකි. එහිදී ඔබ අනික් අයට ගුරුවරයකු වන්න. මෙය අදියර කිහිපයකින් සිදුකළ හැකියි.

පළමු අදියර

ඒ ඒ විෂයයන්ට අති දක්ෂ මිතුරන් 5 දෙනකු පමණ තෝරාගන්න. එක් අයකුට විෂයයක් හෝ දෙකක් පවරන්න. එහිදී එක් විෂයයකට එක් වර්ණය බැගින් වර්ණ කොළ යොදාගෙන ඒ ඒ විෂයයට අදාළ අයට ලබාදෙන්න.

උදා. ගණිතය - නිල් - කමල්

විද්‍යාව - කහ - සදීප

එහි තමාට අදාළ විෂයයේ සියලු විෂය කරුණු එම කොළයට සම්පිණ්ඩනය කිරීමේ අභියෝගය ඔවුන්ට පවරන්න. දින දෙකක් පමණ ලබාදෙන්න. ඉන්පසු ඒවා හැකි ක්‍රමයකින් අනෙක් අය අතර හුවමාරු (share)  කරගන්න. (මේ සඳහා  Viber, WhatsApp, Imo, Email ආදී ක්‍රම වුවද යොදාගත හැකිය.) මෙය ඉතා සාර්ථක ක්‍රමයකි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඉතාම කෙටි කාලයකින් එක් අයකුට සියලුම විෂයයන්හි කෙටි සටහන් ලැබීමයි.

දෙවැනි අදියර

එලෙසින්ම ඒ ඒ විෂයය කරුණුවලට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍රවල දී ඇති ප්‍රශ්න තෝරාගෙන සටහන් කරගන්න. ඒවාත් අනෙක් අය අතර මුලින් කළාක් මෙන් හුවමාරු කරගන්න.

 

උපදෙස්

නිෂාන් බමුණුආරච්චි

අධ්‍යයන සහ වෘත්තීය ජ්‍යෙෂ්ඨ උපදේශක,

පුද්ගල සංවර්ධන සහ ව්‍යවසායකත්ව නිපුණතා උපදේශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 

2019/09/11 තරුණි බලන්න