ඔයාගේ බබාගේ සමේත් මේ ගැටලු තියෙනවද?

ජුනි 12, 2023

අලුත උපන් දරුවන් අතර රත බිබිළි බහුලයි. බර අඩු නොමේරූ දරුවන්ගේ නම් තරමක් අඩුයි. මුහුණ, බෙල්ල,

ඉකිළි, අත් පාවල කුඩා සුදු සහ කහ පැහැ මැද තිතක් සහිත රතු ලප ඇති වේ.

 

පුංචි කිරිකැටියාට අවුරුද්දක් පමණ ගතවන තුරු අම්මලට ඇතිවන ගැටලුවල නම් නිමක් ඇත්තේම නෑ. බබාගේ සම ආශ්‍රිතව ඇතිවන ගැටලු පිළිබඳ කතා කරන්නත් හිතුවේ ඒ නිසාමයි.

 

රෝගය පිළිබඳ යම් වැටහීමක් හෝ තිබේ නම් කලබලයට පත්වෙලා පොඩ්ඩ ඇත්නම් විශේෂඥ වෛද්‍යවරු මුණ ගැසෙන්න නොයාවී.

අලුත උපන් බබාගේ නොයෙකුත් ගැටලු මතුවන්නට පුළුවන්.⁣ මොනවද මේ ගැටලු. අපි එකින් එක ඒ පිළිබඳ විමසා බලමු.

රත බිබිළි(Erythema Toxicum)

අලුත උපන් දරුවන් අතර රත බිබිළි බහුලයි. බර අඩු නොමේරූ දරුවන්ගේ නම් තරමක් අඩුයි. මුහුණ, බෙල්ල, ඉකිළි, අත් පාවල කුඩා සුදු සහ කහ පැහැ මැද තිතක් සහිත රතු ලප ඇති වේ.

ප්‍රතිකාර

විශේෂ ප්‍රතිකාර අනවශ්‍යයි. ඉබේම සුව වේ. පිරිසුදුව නහවා තැබීම අවශ්‍යයි. දේශීය අත් බෙහෙත් යොදා නෑවීම මඟින් මේ තත්ත්වය මග හැරී යන බව මතයකි.

උදාහරණ : වෙනිවැල්ගැට, කොහොඹ කොළ රත්මල්ල, නිදිකුම්බා, ලුණුවිල, රත කල්ක දීම * නියමිත ලෙස දරුවාට රත කල්කය දීම වරදක් නොවන බව ආයුර්වේද මතයයි. ආයුර්වේද මතයට අනුව ප්‍රතිජීවක ගුණය, ප්‍රතිශක්ති උද්දීපනය, ප්‍රදාහ සමනක ගුණය, උදරාබාධ සුව කිරීම ආදි ගුණ දරුවාට රත කල්කයෙන් ලැබෙන බව සඳහන්ය. පළමු මාස හය තුළ මවුකිරි පමණක්ම ලබා දිය යුතු අතර දරුවාට අවශ්‍ය සියලුම ප්‍රතිශක්තිය එහි ඇති බව බටහිර වෛද්‍ය මතයයි.

( නියමිත ලෙස සැකසූ රත කල්කයේ අඩංගු දේ : රත්හඳුන්, කොල්ලු, වදකහ, වැල්මී, සහිඳලුණු)

දහදිය බිබිළි(Milioria)

උෂ්ණත්වය වැඩිවීම, සමෙහි ස්වේද ග්‍රන්ථි අවහිර වීම නිසා මෙය ඇතිවේ. ඉක්මනින් පුපුරා යන සබන් බිබිළි හා සමාන රතු පැහැ කුෂ්ඨයක් ලෙසත් ඇති වේ.

බෙල්ල, ඔළුව, නැවෙන ස්ථාන, පිට, මුහුණ වැඩිපුර දැකිය හැකි ස්ථාන වේ.

ප්‍රතිකාර

* බාර්ලි කුඩු මේස හැන්දක් වතුර බේසමේ දිය කර දරුවා සෝදන්න.

* බේකින් සෝඩා ස්වල්පයක් නහවන ජලයට එක් කරන්න.

* කොහොඹ කොළ, වෙනිවැල්ගැට ආදිය තම්බා සෝදන්න.

වළක්වා ගැනීම

* මෘදු සබන් හෝ සේදුම් කාරකයක් භාවිත කරන්න.

* දරුවා නිතර සෝදා පිරිසිදුව තබන්න.

* දහදිය දැමීම අඩු කිරීමට ෆෑන් භාවිතය AC දැමීම, කපු ඇඳුම් හා ලිහිල් ඇඳුම් අන්දවන්න. හැකි තරම් සිරුර නිරාවරණය වන ලෙස දරුවා සිසිල්ව තබන්න.

* හැකි පමණ මවුකිරි හා අමතර ආහාර ගන්නා දරුවෙක් නම් දියර වර්ග හැකි තරම් තරම් ලබා දෙන්න.

පණු ලප/ සුදු ලප (Pityriasis Alba)

සෙන්ටිමීටර 1 - 3ත් පමණ සුදු හෝ රෝස පැහැ ලප මුහුණ, ගෙල, පපුව, කකුල්වල ඇති වේ. සමහර විට සියුම් කුඩු සහිතව ද දැකිය හැකියි.

ප්‍රතිකාර

ඖෂධ ප්‍රතිකාර ඇතත් ඖෂධ නොමැතිව මාස කිහිපයක් යන විට ඉබේම මඟ හැරේ. ස්ටෙරොයිඩ, ක්‍රීම් වර්ග ප්‍රතිකාර ලෙස ලබා දේ.

ඇස හා ඇස අවට කැසීම(Itchy Eyes)

* වැඩි වශයෙන් දූවිලි මයිටාවන් නිසා ඇතිවේ.

* ඇස් පිරිසුදුව තබාගන්න.

* ඇස් අතින් නොඇල්ලීම

* දූවිල්ලේ ගිය විටත් කසන විටත් උණුසුම් වතුර හා මෘදු ෂැම්පූ යොදා මෘදුව ඇස් වසා හොඳින් සෝදන්න.

අත් පා සහ මුඛ රෝගය(Hand, Foot & Mouth Deasease)

* අත්වල, පාවල හා මුඛයේ රත් පැහැ ගැටිති මතුවේ.

* උණද ඇතිවිය හැකියි.

* වයිරස් රෝගයකි.

* දින තුන හතරක් පවතී.

ප්‍රතිකාර

පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබා දීම සහ පිරිසුදුව තැබීම.

පණුහොරි(Scabies)

* මයිටාවකු නිසා ඇතිවේ.

* බෝවන රෝගයකි.

* සම සිදුරු කර සම ආශ්‍රිතව හෝ කුහර සාදා ජීවත් වේ.

* අතෙහි ඇඟිලිකරු, වැළමිට, පියයුර යට, තට්ටම් හා දෙපා ආශ්‍රිතව වැඩිපුර ඇතිවේ.

* අධිකව කැසීම ඇතිවේ.

ප්‍රතිකාර

පර්මෙත්‍රින් ආලේපය මුහුණ හැර අනෙකුත් සියලු ස්ථානවල ආලේප කර පැය 8 - 12 කින් සෝදා හැර නැවත දින 7- 15 ක දි එලෙසම ආලේප කළ යුතුයි.

අළුහම්(Pityriasis Versicolor)

දිලීර රෝගයකි. තෙත් බව හා උෂ්ණත්වය නිසා දිලීර ඇතිවන රෝගයක් වන මෙය Malassezia yeast නම් දිලීරය නිසා හටගනී. තිත් තිත් සහ සමේ කුඩු ආකාරව ඉවත්ව යයි.

ප්‍රතිකාර

දිලීර නාශක ආලේපනයක් මේ සඳහා යොදා ගනී. දින 14 ක් පමණ ප්‍රතිකාර කළ යුතුයි. සුව වී කලක් යනතුරු ඒ පෙදෙසෙහි පැහැය වෙනස් වූ පැල්ලමක් තිබී මාස දෙක තුනක් ගත වන විට ඉබේම මැකී යයි.

අත් බෙහෙත්

* වෙරළු කොළ, පේර කොළ තළා දෙහි ඇඹුලෙන් ගෑම

* වෙනිවැල්ගැට, අමු කහ, කොහොඹ කොළ හා පොතු තම්බා ඇඟ සේදීම

* ඇත්තෝර කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගෑම.

කිරි බිබිළි(Milia)

අලුත උපන් දරුවන්ගේ කම්මුල් නිකට හා නාසයෙහි සුදු /මඳ කහ පැහැයෙන් යුත් කුඩා බිබිළි විශේෂයකි.

ප්‍රතිකාර අනවශ්‍යයි. සති කිහිපයකින් ඉබේම මගහැරී යයි.

නිල් පැහැ විශාල උපන් ලප(Moan Blue Spots)

පිටෙහි පහත වැඩිපුර දැකිය හැකියි. නවජන්ම හා පෙර පාසල් දරුවන් අතරද දැකිය හැකි සමේ වර්ණයට හේතුවන වර්ණක අධික ලෙස එකතු වී සෑදෙයි. දරුවා වැඩිවියට පත්වීමත් සමඟම ඉබේ නැතිවී යයි.

නගන (Blepharitis)

Staphaylococcal blepharitis බැක්ටීරියාව මඟින් ඇති වේ.

ප්‍රතිකාර

ඖෂධ නොමැතිව ද සුව වේ. ප්‍රතිජීවක ක්‍රීම් ආලේපන සඳහා ලබාදේ.

* ඇස පිරිසුදුව තබා ගැනීම

* ඇල්ලීමෙන් වැළකීම මඟින් නගන ඒම වළක්වා ගත හැකියි.

නිතර නගන ඒනම් දිනකට දෙවරක් හා අපිරිසුදු වූ විට, දුහුවිල්ලෙ ගිය විට පුළුන් කැබැල්ලකින් උණුසුම් වතුර හා මෘදු ෂැම්පු යොදා ඇත. ඇස වසා වටේ පිරිසුදු කරන්න.

ඉන්නන්(Warts)

වෛරසයක් මඟින් ඇතිවේ. අත් සහ කකුල්වල වැඩි වශයෙනුත් මුහුණේ සහ සිරුරේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැකියි.

ප්‍රතිකාර

ඉබේම සුව වී යයි. පුලුස්සා දැමීම හෝ රසායනික ද්‍රව්‍ය ආලේප කර ඉවත් කළ හැකියි. ඉන්නන් ඉවත් කරන ප්ලාස්ටර් ඇත(Corn Plaster).

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ