Day Care Centre එකක නොපෙනෙන පැත්ත

පෙබරවාරි 26, 2024

දරුවන්ගේ ලෝකය සුන්දරය. මේ සොඳුරු ලෝකයේ තුළ ජීවත්වීමට ලැබීම ද වාසනාවකි. ලෝකයේ වටිනාම සම්පතවන දරුවන්ගේ ලෝකයේ ජීවත් වෙමින් කාලය ගත කරන්නට බොහෝ දෙනකු ප්‍රිය කරති. එහෙත් මේ වාසනාව ළඟාකර ගන්නට සෑම කෙනකුටම නොලැබෙයි. ගුරු වෘත්තිය වඩාත් වටිනාම වෘත්තිය බවට පත්වන්නේ එබැවිනි. මෙලෙසින් ගුරුවරයෙක් හෝ ගුරුවරියක්වීමට සැමටම වාසනාව හිමි නොවෙයි.

නමුත් දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නම ලැබෙන එකම අවස්ථාව ගුරු වෘත්තිය පමණක්ම නොවෙයි. දරුවන් රැකබලා ගැනීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීමට Day Care Centre එකක් පවත්වාගෙන යෑම ද ඉතා උතුම් ක්‍රියාවකි. එසේම එය වෘත්තියක් ලෙසින් ගත් කල ඉතාම ගෞරවාන්විත, වගකීමක් සහිත වෘත්තියකි. එසේම මෙය වගකීමක් සහිතව ඉතාම ක්‍රමානුකූලව, කැපවීමෙන් යුතුව සිදු කිරීමෙන් ඔබට හොඳ ආර්ථික පදනමක් ද ගොඩනගා ගැනීමට හැකිවනු ඇත.

වර්තමානයේ බොහෝ මවුපියන් කාර්යබහුලය. ඒ නිසා කුඩා දරුවන් රැක බලා ගනිමින් ඔවුන්ට ආරක්ෂාව සැපයීම සංකීර්ණ කටයුත්තකි. මේ සඳහා වැඩිහිටි කාන්තාවකගේ රැකවරණය ඉතාම වැදගත්ය. මේ කටයුත්ත සඳහා වෙනම පුද්ගලයකු යෙදවීම ද මෙවැනි කාලයක අසීරු කටයුත්තකි.

එබැවින් ඒ සියල්ල සඳහා සාර්ථකම පිළියමක් වන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතු කරන පාසල් කාලයෙන් පසුව දි්වා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමය. මේ සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට හැකි නම් එය සමාජ සද්කාරයකි. එසේම එය ඔබට ද ආර්ථිකව ශක්තිමත්වීමට සහයෝගයකි. මේ සඳහා නිවැරැදි ලෙසින් මඟ පෙන්වීමක් ලබාදීම අපගේ අපේක්ෂාවයි.

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම හා පවත්වාගෙන යෑම බැලූ බැල්මට ඉතා සරල කටයුත්තක් ලෙස බොහෝ දෙනකුට පෙනෙයි. නමුත් එය එතරම් සරල නොවන විශාල වගකීමක් පැවරෙන කටයුත්තකි. මේ කටයුත්ත කෙතරම් සංකීර්ණ හා වගකීම් සහිත වුවත් එය ක්‍රමානුකූලව ඉතා හොඳින් පවත්වාගෙන යෑමට හැකි නම් අපට එය එතරම් අපහසු නොවනු ඇත. එසේම එය ඔබට විශාල ආත්ම තෘප්තියක් ලැබෙන නිදහස් වෘත්තියක් බවට ද පත්වනු ඇත.

මේ කටයුත්ත සඳහා යොමුවීමට අපේක්ෂා කරන ඔබ අනුගමනය කළ යුතු පියවර කිහිපයක් වෙයි. පළමුව ඔබ කළ යුත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නිවැරැදිව ලියාපදිංචි කිරීමයි. ඔබ එම කටයුත්ත සම්පුර්ණ කළ පමණින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යා නොහැකි වෙයි. ඒ සඳහා ඉතා කැපවීමෙන් යුතුව ඒ කටයුත්ත අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. මෙලෙසින් වසර කිහිපයක් ඔබ මේ ආයතනය පවත්වාගෙන යන විට ඔබගේ සේවය පිළිබඳ නිසි ඇගයීමක් හා ප්‍රචාරයක් නිරායාසයෙන්ම ලැබෙයි. ඔබේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබන දරුවාගේ මවුපියන් විසින් ඔබ පිළිබඳ දක්වන විශ්වාසය හා ඇගයීම මත තවත් බොහෝ මවුපියන් ඔබගේ ආයතනයට පැමිණීම විශ්වාසයෙන් යුතුව සිදුකරයි.

මේ සඳහා වෙනම ප්‍රචාරයක්

අවශ්‍ය නොවෙයි. එසේම මෙවැනි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා මුලින්ම වෙනම ස්ථානයක් අවශ්‍ය නොවෙයි. එය මුලින්ම ඔබගේ නිවෙසේම ආරම්භ කිරීමට ද හැකියාව පවතියි. නමුත් ඔබ පවත්වාගෙන යෑමේදී අනුගමනය කළ යුතු නීති පද්ධතියක් හා දරුවන්ට ලබාදෙන පහසුකම් පිළිබඳ නිර්නායකයන් ගණනාවක් පවති. මේ සඳහා සැකසූ ජාතික මාර්ගෝපදේශන මාලාවක් ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් හඳුන්වා දී තිබේ. එම මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔබ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය විට ඔබට කිසිම නීතිමය ගැටලුවක් ඇති නොවෙයි. නමුත් මෙවැනි කටයුත්තකදී පවතින නීති පද්ධතියට වඩා දරුවන් පිළිබඳ නිසි අවබෝධයක් හා වගකීම ඔබ විසින් හොඳින්ම ලබාදිය යුතුය. එවිට මෙවැනි කටයුත්තක් තුළින් ඔබට ලැබෙනුයේ විශාල සතුටක් මෙන්ම ජීවිතයට ද ආශිර්වාදයකි.

අප රටේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන කාණ්ඩ තුනක් යටතේ වර්ග කරයි. ඉන් පළමු කාණ්ඩය වන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයි. එය ළදරු පාසලකටම අනුයුක්තව ද අනුග්‍රාහකත්වය ලබා දෙමින්ද පවත්වාගෙන යා හැකිය. දෙවැන්න සේවා ස්ථානය පදනම් කරගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයි. මෙවැනි මධ්‍යස්ථාන සේවා ස්ථානයට අනුයුක්තව පවත්වාගෙන යයි. තවද පෞද්ගලික නිවාස ද සුරැකුම් මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යෑමට අවස්ථාව පවතියි. මෙම මධ්‍යස්ථාන වර්ග 3ම තුළ පැය 2 - 5 කාලයක් දරුවා සුරක්ෂිතව රඳවා ගතයුතු වෙයි. එසේම මෙම නිවාසයක ‍මාස 4ක දරුවාගේ සිට අවුරුදු 12ක් දරුවන් රඳවා ගැනීමට අවසර තිබෙයි.

මෙලෙස දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන තැනැත්තිය වයස අවුරුදු 18ට වඩා වැඩි ශ්‍රී ලාංකිකයකු විය යුතු අතර වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් ලබාදෙන NVQ Level 03 - 04 සහතියක් තිබිය යුතු වේ. මේ සුදුසුකම් සහිතව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලියාපදිංචිය සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ අදාළ ප්‍රදේශයේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයෙන් ජාතික ළමා රක්ෂණ නිලධාරි හමුවීමය. එවිට ඔබගේ සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපද පත්‍රකාවක් නොමිලේ ලබා දෙයි. ඒ අනුව ඔබගේ ලියාපදිංචිය සහතික කළ ග්‍රාමසේවා සහතිකයක්, සාම විනිසුරු සහතිකයේ හා ඔබගේ අධ්‍යාපන සුදුසුකම් සහිත අනෙකුත් තොරතුරු පිළිබඳ විස්තර සියල්ල ලබා ගැනීමට හැකිවෙයි.

මෙවැනි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී එම මධ්‍යස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව රඳවාගත හැකි ළමුන් සංඛ්‍යාවක් තිබේ. එසේම එම සංඛ්‍යාව සඳහා රැකවරණය ලබාදීමට සිටිය යුතු සේවකයන් ප්‍රමාණයක් ද තිබේ. එසේම ළමා රැකවරණ

 

සේවිකාවන්, ස්වේඡා සේවකයන්, අභ්‍යන්තර සඟයකයන් ප්‍රමාණය හා එම මධ්‍යස්ථානයේ භෞතික, පරිසරය මුළුතැන්ගෙය, ළමුන් සඳහා ක්‍රියාකාරකම් සඳහා ඇති ඉඩකඩ ආදී සියලු තොරතුරු ලබාදිය යුතුවෙයි. එසේම තොරතුරු ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. ඔබ සපයන සේවාව ඉතාම අවංකව මවුපියන් සතුටුවන සේවයක් විය යුතු අතර එසේ සේවය සැපයීම ඔබගේ වගකීමකි. එසේම දරුවන්ගේ මානුෂික මට්ටම හොඳින් පවත්වාගෙන යමින් ඔවුන්ගේ ආරක්ෂාව හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද ඔබට සහයෝගය ලබාදිය හැකි නම් ඔබගේ දි්වා සුරැකුම් මධ්‍යස්ථානය හොඳ සේවයක් සපයන ආයතනයක් බවට ටික කාලයක් තුළ පත්වෙයි.

ඔබට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍ය මාර්ගදේශ සපයන තොරතුරු සියල්ල ජාතික ළමා රක්ෂණ අධිකාරියේ වෙබ් අඩවිය වන www.childprotection.gov.lk වෙත පිවිසීමෙන් ලබාගැනීමට ද අවස්ථාව තිබේ.

 

තොරතුරු සැපයීම -

සු‍ෙර්ෂ් දිග්මාධුගොඩ

උපදේශන නිලධාරි මනෝ

සමාජීය අංශය

ජාතික ළමා රක්ෂණ අධිකාරිය