විශිෂ්ට ලෙස සමත්විය හැකි බුද්ධ ධර්මය

ඔක්තෝබර් 30, 2019

සා/ පෙළට ඇත්තේ තවත් මසක පමණ කාලයකි. දරුවන් මේ වනවිට පාඩම් කටයුතු ඉවර කරලා ඇති. මේ දවස්වල කෙටි සටහන් බැලීමටම යොමු වෙලා ඇති.

කොතරම් දැනුවත් වී සිටියත් මේ කරුණුත් ඔබට වැදගත් වේවි කියලා හිතන නිසාම මෙවර අප ඔබව දැනුවත් කරන්නේ බුද්ධාගම විෂයය සම්බන්ධ කරුණුවලින්.

සා/පෙළ විභාගයේ පහසුම විෂයයන් ලෙස සැලකෙන්නේ සිංහල හා බුද්ධාගම බව කවුරුත් කියනා කරුණකි. එනිසාම එම විෂයයන් දෙක අසමත් වන පිරිස ඉන්නේ අතළොස්සකටත් වඩා අඩු ප්‍රමාණයක්.

සා/පෙළ ලියූ බොහෝ දෙනෙක් කියන්නේ “ජාතියයි, ආගමයි නම් ගොඩදාගත්ත” කියලනේ. නැත්නම් ලියන අයට කියන්නේ “ඔන්න ජාතියයි, ආගමයි නම් බේරගන්න ඕනේ” කියලා. මේ විෂයයන් දෙක අපේ දරුවන්ට එතරම්ම විශේෂයි. කොතරම් පහසු වුවත්, කුඩා කල පටන්ම ආභාසයෙන් ලැබූ දැනුමක් වුවත් වරදින තැන්, අමතක වන තැන් බොහෝමයක් අපේ දරුවන්ට තියෙනවා. මේ අවසන් මොහොතේ විශිෂ්ට සාමාර්ථයක් කරා යන්නට බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට මෙන්ම කුමන හෝ සාමාර්ථයක් ලබාගන්නට වෙර දරන දරුවන්ටත් මේ ලිපියේ අඩංගු උපදෙස් ප්‍රයෝජනවත් වේවි.

බුද්ධ ධර්මය විෂයය අනෙක් විෂයයන්ගෙන් වෙනස් වන විෂයයකි. මන්ද අනෙක් විෂෂයන්වල බොහෝවිට අඩංගු වන්නේ විෂයයට අදාළ කරුණුය. නමුත් මෙහි ව්‍යුහය සැකසී ඇත්තේ නව ප්‍රතිසංස්කරණ යටතේ නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රියාවලියකට අනුවය. දැනුම. ආකල්ප, කුසලතා හා යහ පුරුදුවල සමස්ත එකතුවේ ප්‍රතිඵලය නිපුණතාවක් ලෙස අර්ථ දැක්විය හැකියි. මෙහි දිගු කාලීන ඉගෙනුම් ක්‍රියාවලියේ අවසන් ඵලය වන්නේ නිපුණතාවයෙන් පිරි සමබර පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියන් බිහි කිරීමයි.

බුද්ධ ධර්මය ජයගන්න

මේ ගැනත් සිතන්න.

* ප්‍රශ්න පත්‍ර කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු පත්‍රය කෙටි පිළිතුරු සැපයීමයි. මෙහිදී 10/11 ශ්‍රේණිවල පෙළ පොත් අධ්‍යයනය කර තිබීම අත්‍යාවශ්‍යය. බොහෝ ප්‍රශ්න සැකසී ඇත්තේ දැනුම, ආකල්ප හා කුසලතා විනිශ්චය කිරීම සඳහා යි.

* එහි දී ඇති උපදෙස් හොඳින් කියවා පිළිතුරු ලකුණු කරන්න. අපහසු හෝ සැක සහිත පිළිතුරක් වේ නම් එම ස්ථානයේ තිතක් තබා එය මඟහැර අනෙක් ඒවා ගැන සිතන්න.

* අවසානයේ දී නැවතත් ඔබ මඟහැර ගිය ප්‍රශ්න වෙත අවධානය යොමු කරන්න. බොහෝ විට මෙහි පිළිතුරු 4 න් පිළිතුරු 3 ක් පමණ එක හා සමාන ඒවායි. එම නිසා නිවැරැදි පිළිතුර ලකුණු කිරීමේ දී පෙළ පොත් කියවා තිබීම වාසිදායකය.

* පිළිතුරු ලකුණු කිරීමේ කිසිදු කොටුවක් හිස්ව නොතබන්න. මන්ද ඔබ අහඹු ලෙස තෝරාගන්නා පිළිතුර වුව නිවැරැදි වන අවස්ථා ඇත. එම ලකුණ වුව ඔබගේ සාමාර්ථය සඳහා පිටුවහලකි. ඒ වගේම කිසිදු විටෙක එකම ප්‍රශ්නයට පිළිතුරු 2 ක් ලකුණු නොකරන්න. එහිදී ඔබට කිසිදු ලකුණුක් නොලැබෙනවා පමණක් නොව එම ප්‍රශ්නයම කපා හැරීමට එය සුදුසු කමක් වන බවත් මතක තබාගන්න.

* පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ලැබෙන පැයක කාලය තුළ අවධානය වෙනත් දෙයක් කෙරෙහි යොමු නොකිරීමට වගබලාගන්න.

* දරුවන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතුම දෙයක් කිව යුතුයි. පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලකුණු කිරීමේ දී බොහෝ දෙනා ප්‍රශ්න පත්‍රයේ ම නිවැරැදි පිළිතුරු ලකුණු කරගෙන යයි. නමුත් කලබලයෙන් අවසන් මොහොතේ පිළිතුරු පත්‍රයේ ලකුණු කිරීමට අමතක වේ. එසේත් නැතහොත් අවසන් මොහොතේ හදිසියේ මතක් වුවත් පිළිතුරු පත්‍රයේ ලකුණු කිරීමට කාලය ප්‍රමාණවත් නොවේ. කොතරම් දක්ෂ දරුවකුට වුවත් මෙහිදී සිදුවන්නේ අසාධාරණයකි.

උපදෙස්

අඹගස්දෝව බ/ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය,

උත්තර පත්‍ර ප්‍රධාන පරීක්ෂක,

එම්. ඒ. එස්. මුණසිංහ

 

2019/10/30 තරුණි පුවත්පත බලන්න