සා/පෙළින් පසු නිවැරැදි මඟ තෝරාගන්නේ මෙහෙමයි

ජනවාරි 15, 2020

මෙවර සා/පෙළට මුහුණ දුන් දූ පුතුන් මේ වනවිට නිදහසේ කාලය ගතකරනවා ඇති. ගමන් බිමන් යන්න, සෙල්ලම් කරන්න, විනෝදවෙන්න ඉස්පාසුවක් නැතුව ඇති නේද? වෙහෙසකාරී දිගු පීඩනයකින් මිදුණා විතරයි. ඒත් දරුවන් අමතක කරන්න එපා මේක ඉලක්කයන් හඹා යෑමේ තරගයක ලද පුංචි ඉසිඹුවක් පමණයි කියලා.

තව ටික දවසකින් නැවතත් තරගයට පිවිසිය යුතුයි. මන්ද ඔබ දිවියේ ස්ථාවර සන්ධිස්ථානය මෙය නොවෙයි. ඔබ තවත් දුර යායුතුයි. අන්න ඒ දුර යන මාවත පැහැදිලි කරදීමයි අපේ මේ උත්සාහය.

ඒ සඳහා තෝරාගත යුතු මාවත් බොහෝයි. විශේෂයෙන්ම මෙහිදී වැදගත් වන්නේ යා යුතු නිවැරැදි මඟ ඔබ විසින්ම තෝරාගැනීමයි. එය නිවැරැදිව තෝරාගත යුතුමයි. නිවැරැදි වටහා ගැනීමකින් එක්වරම එය තෝරාගත හැකිනම් ඔබට පහසුවක් මෙන්ම ඵලදායී ලෙස කාලය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ද ලැබේවි.

 

නිවැරැදි මඟ තෝරා ගැනීම

සමහර දරුවන් මේ වනවිටත් “මං මේ පැත්තෙන් ඉහළට යනවා” කියා එක් මාවතක් තෝරාගෙන ඇති. එය එක් එක් අයගේ දක්ෂතාව මත ගත් තීරණයක් ද විය හැකියි. සා/පෙළ ගණිත විෂයයන් කෙරෙහි දක්ෂතා දැක්වූ දරුවන් උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරීමට මේ වනවිටත් තෝරාගෙන ඇති. ඒ වගේම විද්‍යා අංශය, කෘෂිවිද්‍යා අංශය මෙන්ම සෞන්දර්යය, කලා, වාණිජ වැනි පැති ද තෝරාගෙන ඇති. මෙවන් දේ කෙරෙහි විශේෂ දක්ෂතා ඇති දරුවන් යා යුතු විෂයය ධාරාව තෝරාගන්නට ඇත්තේ තම කැමැත්තට හෝ මාපිය, වැඩිහිටි, ගුරුවර මනාපයෙන් විය යුතුයි.

සමහර දරුවන් මේ වනවිටත් උසස් පෙළ අධ්‍යාපන කටයුතු අරඹලා ඇති. තවත් සමහර දරුවන් තවමත් දෙගිඩියාවෙන් පසුවනවා විය හැකියි. ප්‍රතිඵල මත තම මාවත තෝරාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් තුළ මේ දෙගිඩියාව බොහෝ සෙයින් ලියලා ඇතිබවත් වටහාගත හැකියි.

මේ අතරම විෂයානුබද්ධ දක්ෂතා නොදැක්වූ දරුවන් ද සිටී. ඔවුන් තම අධ්‍යාපනය මෙතෙකින් නිමා කරන්නට උත්සාහ කරනවා ද විය හැකියි. ඒ සඳහා හේතුපාදක වූයේ “අපි ඉගෙන ගන්න දක්ෂ නෑ” කියන සිතුවිල්ල වන්නටත් පුළුවන්.

මේ සිතුවිල්ලට හේතුව කුඩා කල ඔවුන්ගේ පෞරුෂත්වයට සිදුවූ හානියක් හෝ කුඩා කල ඔවුන්ගේ කුසලතා මාපියන්ගේ ඇගයීමට ලක්නොවුණ නිසා වන්නටත් පුළුවන්. තවත් සමහර අවස්ථාවලදී ලැබූ ඍණාත්මක විවේචනයන් යටි සිතේ තැන්පත් වී තිබුණා වන්නටත් පුළුවන්. මෙවන් දේ ළමා මනසට විශාල ලෙස බලපෑමක් සිදුකරනවා. එවැනි දරුවන්ගේ ඒ හැඟීම නැතිකිරීමට මාපියන් කටයුතු කළ යුතුයි.

එසේම සාමාන්‍ය මට්ටමින් විභාග ප්‍රතිඵල තිබෙන පිරිසකුත් ඔය අතරේ සිටින්නට පුළුවන්. ඔවුන්ගේ සිත් අවිනිශ්චිත මෙන්ම චංචල වී ඇත්තේ “අනේ මට උසස් පෙළ කරගන්න පුළුවන් වෙයිද?” කියා දැනෙන ඒ අවිනිශ්චිත සැකමුසු හැඟීමෙනි. ඔවුන්ට ද කිව යුත්තේ එසේ බියවිය යුතු නැති බවයි. උත්සාහය, කැපවීම සමඟින් අරමුණක් ඉලක්කයක් වේ නම් ජයගත නොහැකි දෙයක් නැත.

ආදරණීය මාපියනි, දරුවන් කෙරෙහි නිරතුරුව අවධානය යොමු කරන්න. දරුවන්ගේ කුසලතා අඩු වැඩි වශයෙන් ඇගයීමට ලක්කරන්න. ඔවුන් නිරතුරුව ධෛර්යයමත් කරන්න. එසේම දරුවන්ගේ අනාගතය දෛවඥයන්ට බාර කිරීමත් නොකළ යුතුම දෙයකි. අප සමාජය දෛවඥ මත, කේන්දර බොහෝ සෙයින් විශ්වාස කරන බව අප අත්දැක ඇත. මේ ලිපි පෙළින් අප ඒත්තු ගැන්වීමට උත්සාහ දරන්නේත් මේවායේ කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැති බවයි. දෛවඥ මතයට යටවී දරුවකුගේ අනාගතය තීරණය කරන්න එපා.

සා/පෙළින් පසුව ප්‍රතිඵල එනතෙක් ගෙවන මේ කාලය තමයි අපේ දූපුතුන් මෙන්ම මාපියන් දෙගිඩියාවෙන්, දැඩි මානසික පීඩනයෙන් පසුවන කාලය. ඔවුන්ව දැනුවත් කළ යුතුම අවස්ථාව ද මෙයයි. මේ ගැටලුව විසඳාගත හැක්කේ ඒ පිළිබඳ මනා දැනුවත්භාවයක් ඇති අයකුගේ උපදෙස් ලබාගැනීමෙන්ම පමණයි. මේ තමයි එයට සුදුසුම මොහොත.

 

අධ්‍යයන සහ වෘත්තීය ජ්‍යෙෂ්ඨ උපදේශක, පුද්ගල සංවර්ධන සහ ව්‍යවසායකත්ව නිපුණතා උපදේශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය

නිෂාන් බමුණුආරච්චි

 

2020/01/15 තරුණි බලන්න