මේ ඔබගේ ජීවිතයේ ජයගත යුතුම කඩඉමයි

පෙබරවාරි 12, 2020

සා/පෙළ විශිෂ්ටයන්ට වඩාත් නිවැරැදි ලෙස උ/පෙළ තෝරාගැනීමේ විද්‍යාත්මක ප්‍රවේශයක් ලෙස ප්‍රායෝගික කරුණු කිහිපයක් පිළිබඳ ගිය සතියේ දී අප ඔබව දැනුවත් කළා. එහිදී අපගේ ප්‍රධාන ඉලක්කය වූයේ විශිෂ්ට අන්දමින් සා/පෙළ ජයගන්නා දරුවන්ය.

අනාගත ඉලක්කයක් ඇති නමුත් එය නිවැරැදිව කේන්ද්‍රගත කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් එහිදී ඔබට ලැබෙන්නට ඇති.

මෙවර අපගේ අරමුණ වන්නේ සා/පෙළ ඉතා හොඳින් සමත් වුව ද තරගකාරීත්වයකින් තොරව උ/පෙළ හැදෑරීමට අපේක්ෂා කරන දරුවන්ට විශිෂ්ට ප්‍රතිඵලයක් කරා යෑමට අවශ්‍ය මඟ පෙන්වීමයි.

විෂයය ධාරාව තෝරාගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වනවා ද නැතහොත් ඍජු විකල්පයක් ලෙස මුදල් ගෙවා තමාගේ තෘත්‍රික අධ්‍යාපනය හදාරනවා ද යන්නත් මෙහිදී ඔවුන්ගේ සැලකිල්ලට ලක්වනු ඇත. විෂයානුබද්ධව වැඩි නැඹුරුතාවක් දැක්වුව ද තරගකාරීත්වයෙන් තොරව ප්‍රතිඵල ලබාගෙන උසස් පෙළ හැදෑරීම අරමුණුකොට ගෙන සිටිනා දරුවන් හට මේ ලිපිය බොහෝ වැදගත් වේවි.

සහජයෙන්ම ගෙන එන දක්ෂතාවය හඳුනාගැනීම

මෙම කාණ්ඩය සඳහා විශේෂයෙන්ම සැලකිල්ලට ගැනෙන්නේ පසුගිය ලිපියේ සඳහන් කළ පරිදිම සා/පෙළ ප්‍රතිඵල සහ පෙර පන්තිවලදී ලබාගත් විෂයානුබද්ධ ප්‍රතිඵලයි. එහෙත් මෙහිදී මුල්තැන දියයුත්තේ තමා සහජයෙන්ම ගෙන එන දක්ෂතාව හෝ තමා විසින් හඳුනාගත් දැඩි ආසාවන් ඔස්සේ මුල් බැසගත් අනාගත වෘත්තීමය ඉලක්කයන්ය.

උදා. ලෙස වෛද්‍ය, ඉංජිනේරු ආදී පාරම්පරික වෘත්තීන්ගෙන් ඔබ්බට ගිය ඒවාය. වර්තමානයේ වටිනාකමක් සහ සමාජමය වශයෙන් හොඳ ඉල්ලුමක් ඇති ශ්‍රමාභිමානය අතින් ඉහළටම ගමන් කළ හැකි ක්ෂේත්‍රයන්ය.

අධ්‍යයන සහ වෘත්තීය ජ්‍යෙෂ්ඨ උපදේශක, පුද්ගල සංවර්ධන සහ ව්‍යවසායකත්ව නිපුණතා උපදේශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය

නිෂාන් බමුණුආරච්චි

 

2020/02/12 තරුණි බලන්න