අලුත උපන් පුංචි පැටියාව ගෙදර ගේන්නයි සූදානම

පොඩිත්තාට සුවය ගෙනෙන ‘ළදරු මිතුරු කාමරය‘
මාර්තු 6, 2023

 

මාස 9ක් පුරාවට කුසේ ඉන්න චූටි පැටියාව ඔන්න ඉතින් නිවෙසට කැන්දාගෙන එන්නයි සූදානම. ගතවන නිමේෂයක් පාසා නීරෝගි දරුවකුගේ ආගමනය පැතූ මව නුදුටු දරුවා පිළිබඳ සිහින ගොන්නක් ම මවාගෙන.

 

පුංචි බබාගේ කාමරය හරි අපූරුවට සරසලා, ඒ සඳහා හොඳ සූදානමක් ඇතුව බබාව ගෙන එන්න කොයි අම්මත් කැමැතියි. පුංචි පැටියා ගෙනැල්ලා තියන කාමරය සැකසීම ආවාට ගියාට කරන්න බැහැ.

වාතාශ්‍රය, හිරු එළිය සහ ආලෝකය

මේ සඳහා තෝරගත යුත්තේ නිවෙසේ ඇති වඩාත්ම ආලෝකය ලැබෙන කාමරය. බබාගේ කාමරය වාතාශ්‍රය ලැබෙන, හිරුඑළිය වැටෙන, හොඳ ආලෝකයක් සහිත කාමරයක් විය යුතුයි. මේ දේවල් බබාගේ වර්ධනයට වගේම සෞඛ්‍යාරක්ෂිතව සිටීමටත් වැදගත්.

හිරුඑළිය හොඳින් ලැබෙන කාමරයකට ආලෝකය ඉබේම ලැබේවි. හිරු එළිය විස බීජ මර්ධනය කරනවා සේම හිරු රශ්මිය අපේ සිරුරට අවශ්‍යයි.

වාතාශ්‍රය

හොඳින් වාතාශ්‍රය ලැබීම යනු සුළං කාමරයට ඇවිදින් පිටතට යා යුතුයි. (ventilation) මේ සඳහා එක් ජනේලයක් ප්‍රමාණවත් නොවේ. අඩුම තරමින් ජනේලයකින් ඇතුළට පැමිණෙන වාතාශ්‍රය, දොරකින් හෝ පිටතට යා යුතුයි.

කාමරයෙන් පිටත වටපිටාව පිළිබඳත් හිතන්න. අපි හිතමු එළියේ දර ගොඩක් හෝ එවැනි බඩු භාණ්ඩ ඇසිරූ තැනක් නම් සතුන් බෝ වීමට, සතුන් කාමරයට ඇතුළු වීමට ඇති ඉඩකඩ වැඩියි. කිරි සුවඳට සතුන් ආකර්ෂණය වීමේ ඉඩකඩ වැඩියි. විශේෂයෙන් ම කූඹි වගේ කෘමි සතුන් බබාගේ ඇඳට, තොටිල්ලට, ඇඳුම්වලට ඇදී එන්න පුළුවන්.

 

පිරිසුදු කිරීම

කාමරය ඇතුළත පිරිසුදු කරද්දී රසායනික දේවල් උපයෝගී කර ගන්නාවට වඩා සබන් සහ වතුර එක්කර ගැනීම වැදගත්.

 

ළදරු මිතුරු කාමරය

බබෙකුට කාමරයක් සකසද්දී ලොවම පිළිගත් සංකල්පයක් ලෙස ළදරු මිතුරු කාමරය හඳුන්වන්න පුළුවන්. වහලය, බිත්ති, පොළොව සහ බබාගේ කාමරයේ උපකරණ කෙරෙහි ළදරු මිතුරු කාමරය සකසද්දී මුල් තැන දිය යුතුයි.

වහල - මකුළු දැල් කඩා වියළි රෙදි කඩකින් බිත්ති සහ සිවිලිම පිසින්න. සිවිලිමක් නොමැති නම් තාවකාලික සිවිලිමක් (ආවරණයක් රෙදි / ඉටි රෙදි උපයෝගි කරගෙන) ඇඳට හෝ තොටිල්ලට ඉහළින් යොදන්න. උළුවල කුඩු වැටෙන්න පුළුවන්. ඇස්බැස්ටස් පොඩි දරුවාට පමණක් නොව වැඩිහිටියන්ටත් ඉතාම අහිතකරයි. තාවකාලික සිවිලිමක් හෝ ගැසිය යුත්තේ මේ නිසයි.

බිම -අලුත උපන් දරුවකු නිසා බිම පිළිබඳ කතා කරද්දී පිරිසුදුකම ගැන පමණයි හිතන්නේ. බිම ඇති බඩු හැකි තරම් අඩු කළ යුතුයි. බබා ටිකෙන් ටික ලොකු වෙද්දී මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වේවි.

බිත්ති - බබාගේ කාමරයේ අලුතින් තීන්ත ටිකක් ආලේප කරන්න. කොයි අම්මත් කැමැතියි. බබාගේ කාමරයට තීන්ත ආලේප කරනවා නම් බබා ගේන්න සතියකටවත් පෙර කිරීම වැදගත්. තීන්තවලින් නිකුත් වන සැර සුවඳ අලුත උපන් බබා හුස්ම ගනිද්දි අපහසුවක් ගෙන දෙන්නට පුළුවන්. රසායනික දේවල් නිසා විස වෙන්න පුළුවන්.

පුංචි බබාලගේ කාමර ආලේප කිරීම සඳහා ම වූ තීන්ත වර්ගත් තිබෙනවා. මිල තරමක් වැඩි වුවත් මෙවැනි තීන්ත වර්ගයක් ආලේප කරන්න ඇත්නම් වඩාත් සුදුසුයි. සුදු, ළා රෝස, ළා නිල් වැනි පැහැයක් එක් කරගන්න.

බබා ටිකක් ලොකු වෙද්දී බිත්තිවල ඇති විදුලි පේනු නම් වසා දමන්නටම වේවි.

බබාගේ කාමරයේ උපකරණ - අත්‍යවශ්‍යම උපකරණ හැරුණු විට බබාගේ කාමරයේ අනවශ්‍ය දෑ කිසිම දෙයක් තබන්න එපා.

බබාගේ තොටිල්ල - ඇඳුම් දමන කබඩ් එක හැරුණු විට වෙනත් කිසිවක් තබන්න එපා. අපේ රටේ නම් පුංචි බබෙක්ව වෙනමම කාමරයක තියන්නේ නැති තරම්. බොහෝ විට අම්මයි, තාත්තායි නිදාගන්න කාමරයෙම පැත්තක් තමයි බබා සඳහා වෙන් වන්නේ. මෙවැනි පසුබිමක කාමරයේ තිබිය යුතු දෑ හැකි තරම් සීමාසහිත කළ යුතුයි.

හිස් අවකාශය ඇති තරමට අම්මටත් හොඳ මානසික සුවයක් ලැබේවි.

 

බබාගේ කාමරය ලස්සන කර ගැනීම

බබාගේ කාමරයට ආලේප කරන තීන්තවල පැහැයේ පටන් කාමරය අලංකරණය කරන දේවල්වලදී ලැබෙන්න ඉන්නේ දුවෙක් ද පුතෙක් ද කියලා කලින්ම දැනගන්නා අයට පහසුවක් වේවි. බොහෝ දෙනා මේ බව වෛද්‍යවරයාගෙන් අසා දැනගන්නෙම බබාට අවශ්‍ය දේවල් සපයා ගන්නටයි. ලැබෙන්න ඉන්නේ දුවෙක් ද, පුතෙක් ද කියලා කලින් දැනගන්න අකැමැති අයට බබාගේ අඩුම කුඩුම සඳහා සුදු පැහැය එක් කර ගන්න පුළුවන්. මේ ආයිත්තම් සුදු පැහැයෙන් නිමවා ගැනීම හරිම වැදගත්. ඉන් ඉස්මතු වන්නේ පිරිසුදු බවක්. කාමරයේ වුවත් සුදු පැහැ තීන්ත ආලේප කරද්දී ඉඩකඩ වඩා වැඩියෙන් පෙනේවි.

මානසික සංවර්ධනය

බබාගේ කාමරය අලංකරණය කරද්දී මානසික සංවර්ධනයට මුල්තැන දෙන්න අමතක කරන්න එපා.

ඉපදී සති 2,3ක් යන තුරු දරුවා දකින්නේ කළු, සුදු ලෝකයක්. එසේම දරුවාට හොඳින් පෙනෙන පරාසය අඩි 1, 2ක් පමණයි.

මුල් සති කිහිපයේ දී දරුවා උත්තේජනය කිරීමට කළු / සුදු පින්තූර කාඩ්පත් (visual Stimalation Card) අඳුර හා එළිය හොඳින් වෙන් කර පෙන්වන සෙල්ලම් බඩු යොදා ගත හැකියි.

*සති දෙකක් පමණ ඉක්මවා ගිය විට දී රතු, කහ, කොළ ආදී ලෙස දරුවාට වර්ණ පේන්න ගන්නවා. දරුවාගේ කාමරයේ බිත්තිවල වර්ණවත් ස්ට්කර්, Wall Design වැනි දේ යෙදීම, වර්ණවත් තිරරෙදි, සෙල්ලම් බඩු යොදා ගන්න පුළුවන්.

*Supper I q Card Set වලින් බුද්ධි ජාලය වැඩි කිරීමටත් පුළුවන්.

*කුරුලු කොට්ට, සැරසිලි පෙනීම හා ඇසීමට උත්තේජන සපයන බැවින් ඒවා දරුවාගේ ඇඳට හෝ තොටිල්ලට උඩින් යොදන්න

*අවශ්‍යතාව සහ හැකියාව අනුව දරුවාට Play Gym එකක් මිල දී ගන්න පුළුවන්.

*අඩු වොට් ගණනක මඳ ආලෝකයක් ඇති බල්බයක් කාමරයට අමතරව යොදන්න. රතු පැහැ බල්බ වඩාත් සුදුසුයි.

 

උපදෙස් :

ළදරු හා ළමා සෞඛ්‍ය උපදේශිකා

ශ්‍යාමලී පතිරගේ