පොඩ්ඩන්ගේ හුරතලයට

ජූලි 31, 2019

දුවපැන නටන දඟකාර පොඩිත්තා ගෙදරටම සිරියාවක්. අම්මාගෙ ආදරයයි, තාත්තාගෙ හුරතලයයි අතර වැඩෙන සිඟිත්තන් පාට පාට මල් යායක් වගේ. මේ අයගේ ලෝකය ලස්සන කරන්න, සුන්දර කරන්න මවුපියන් අපමණ වෙහෙසක් ගන්නවා. බලන්න, මේ සිත් ඇදගන්නා නිර්මාණ පෙළ.. පොඩිත්තන්ගේ ලෝකය සරසන්නට කදිමයි නේද? පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න, විවේක ගන්න, නිදියන්න මේ විශාල ප්‍රමාණයේ සැහැල්ලු සෙල්ලම්බඩු පෙළ කදිමයි. සෙල්ලම් ගෙවල් හදන්න, හුරතලයට දඟකරන්න මෙවැනි නිර්මාණයක් දෙකක් පොඩිත්තන්ගේ කාමරයට ගෙනියන්න පුළුවන් නම් එය ඔවුන්ට අපූර්ව තිළිණයක් වේවි. මෙවැනි නිර්මාණයක සුවපහසුවට වාඩිවෙලා පොතපත බලන්නටත් හැකියි.

මේ නිර්මාණ දකින බොහෝ අය මේවා මිල දී ගන්න තැන් සොයාවි. ළමා සෙල්ලම්බඩු, ගෘහ උපකරණ විකුණන තැන්වල මේවා තියෙනවා. ඒත් ඊට වඩා විශේෂිතයි මේවා ඔබේම අතින් නිර්මාණය කරගන්න පුළුවන් නම්. ලිනන්, බෝවා, ෆෙල්ට් වැනි රෙදි වර්ග භාවිතයෙන් මේවා නිම කළ හැකියි. නිර්මාණයක් සඳහා දළ සැකස්මක් සකසාගෙන එය වඩාත් විශාලකර පතරොම් සකසා ගැනීමෙන් මෙවැන්නක් පහසුවෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්. මල් නිර්මාණ සඳහා වර්ණ කිහිපයක් ම භාවිතකර ඇති නිසා ලස්සන වැඩියි. පලතුරු නිර්මාණ සඳහා පලතුරුවල පැහැයන් වගේම දූදරුවන් කැමැති වර්ණ භාවිත කළ හැකියි. මෙම නිර්මාණ ඇතුළත පැඩිං, පුළුන් වැනි දෙයක් භාවිතකර පුරවා ගන්න පුළුවන්. මේ නිර්මාණවලින් අදහස් අරගෙන ඔබේම අතින් වෙනත් නිර්මාණයක් වුවත් කරන්න හැකියි. ඒ වගේම ඒ සඳහා වෙළෙඳපොළක් නිර්මාණ කරගන්නත් අවස්ථාව තියෙනවා.