වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වර්ණවත් කුකුළු හාමි ගෙනෙන කලඑළියක්
රිබන් එම්බ්‍රොයිඩරි කලාව
කුක්කුකූක්........ හඬන් උදෑසන අරණලු නැඟෙන්නටත් පෙර අපව අවදි කරන කුකළු හාමි ගැමි ගෙදරකට නම් අපූර්ව සිරියාවකි. අපූර්ව යාළුවෙකි. නගරයට ආගන්තුක වුවද උගේ හඬ ඇසෙත්ම අවදී වී දවස අරඹන අය බොහෝය.
මේ කුකුළු හාමි වර්ණවත් බවින් අනූන නිසාම එම්බ්‍රොයිඩරි කලාවේ දී අපේ ළදුන්ට අගනා දසුන් මවයි. බලන්න, මෙහි දැක්වෙන නිර්මාණය. එය අගනා බිත්ති සැරසිල්ලක් නිමවා ඇති අපූරුවයි මේ. ඔබේ පොඩිත්තන් වෙනුවෙන් අගනා බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරනවා නම් මේ දසුන ඒ සඳහා අගනා මඟ පෙන්වීමක් කරාවි.
අවශ්‍ය ද්‍රව්‍ය
ලිනන් රෙදි
සුදු, කහ, නිල්, කොළ ආදී අවශ්‍ය
වර්ණවල බේබි රිබන්
කොළ, දුඹුරු ආදී පාටවලින් රෙදි
පින්තාරු තීන්ත
සුදු, නිල්, කහ, තැඹිලි වර්ණවල මිලිමීටර් 2
පළල රිබන්
සුදු, කහ, දුඹුරු, රතු, කොළ, නිල් ආදී
වර්ණවල කැරැලි නූල්
නිල් පාට අඟල පළල රිබන්
රතු පාට අඟල හෝ අඟල් භාගය පළල රිබන්
රාමුව
ටැපැස්ටි‍්‍ර ඉඳීකටු
අවශ්‍ය අනෙකුත් දේවල්
නිර්මාණය කිරීම
පළමුව මෙහි දළ සටහනක් සකසා ගන්න. එය රෙදි කොටසට පිටපත් කරගන්න. පින්තාරු තීන්ත ගෙන පසුබිම වර්ණ ගන්වන්න. රෙදි කොටස මඳ පවනේ වියැළුණු පසු රාමුවට දමා තදකර මැසීම අරඹන්න.
අපි පළමුව කුකුළු හාමි මසමු. උගේ හොට දුඹුරු හා රතු වර්ණ කැරැලි නූලෙන් දිගකොට මැස්මෙන් මසාගන්න.
ඇස සඳහා කඩෙන් මිලදී ගත හැකි ඇසක් ගෙන එය තබා මසාගන්න. කරමලය උඩ රතු පාට බේබි රිබන් භාවිතකර කෙළින් මැස්මෙන් හා රිබන් මැස්මෙන් මසාගන්න. පහළ කොටස අඟල පළල රතු රිබන් ගෙන රිබන් කොටස යටින් නූල් දුවවා සාමාන්‍ය ලෙස රැලිකර මසාගන්න. ඉන්පසු උගේ හිස සිට පහළට සුදු පාට කැරැලි නූලෙන් දිගකොට මැස්මෙන් මසාගන්න.
බෙල්ල යටි පැත්ත නිල් පාට කැරැලි නූලෙන් මසාගන්න. මේ සඳහා දිගකොට මැස්ම භාවිත කරන්න. බඩ යට කොටස නිල් පාට නූලෙන් හා මිලිමීටර් 2 පළල රිබන් භාවිතකර දිගකොට මැස්මෙන්ම මසාගන්න. රන්වන් පාට හා කහ පාට බේබි රිබන් ගෙන ඇඹරුණු කෙළින් මැස්මෙන් පිට කොටස මසන්න. ඊට පහළින් සුදු පාටින් කෙළින් මැස්මෙන් රිබන්වලින් මසන්න.
අඟල පළල නිල් පාට රිබන් ගෙන පිහාටු හැඩයට කපා පුලුස්සා ගන්න. ඒවා පිහාටු ලෙස දැක්වෙන්නට තබා මසාගන්න. නූල් ටිකක් ගෙන පනාවකින් පීරා සාදාගෙන එය ද උගේ පිට පැත්තට තබා මසන්න. කුකුළාගේ කකුල් හැඩයට පුළුන් අලවා ගන්න. පසුව පුළුන් කවර්වන සේ රිබන්වලින් සැටින් මැස්මෙන් මසාගන්න. ඒ සඳහා මඩ කහ පාට බේබි රිබන් භාවිත කරන්න.
තැඹීලි පාට මල් කෙළින් මැස්මෙන් බුරුලට තරමක් ලූස් එකට බේබි රිබන් භාවිතකර මසාගන්න. මල් මැදට දුඹුරු පාටින් ප්‍රංශ ගැට මසාගන්න. නිල් හා සුදු මිශ්‍ර මල් රිබන් මැස්මෙන් හා ලූප් මැස්මෙන් සුදු පාටින් මසා නිල් පාට රෙදි පිනතාරු තීන්ත ගල්වා ගන්න. මල් මැදට ප්‍රංශ ගැට මසන්න.
නටු ඇඹරුණු කෙළින් මැස්ම හා කවුච් කිරීමෙන් මසාගන්න. නැටි මැස්ම ද භාවිත කරන්න. කොළ සියල්ල රිබන් මැස්ම, කෙළින් මැස්ම, ඇඹරුණු කෙළින් මැස්ම ආදිය භාවිතකර මසාගන්න. නූල් පොටවල් කිහිපයක් ගෙන පනාවකින් පීරා ඇද කඳු ගැටය මෙන් දිස්වන තැනින් තබා මසන්න. එලෙස කොළ, නිල් ආදී නූල්වලින් ද සකසා තැනින් තැනින් තබා මසන්න. ගේට්ටුව වැනි කොටස නැටි මැස්ම මඟින් පුරවා ගන්න.
උපදෙස් - ප්‍රවීණ උදේශිකා
ශිරන්ති පෙරේරා