විස්කම් දෑතින් කළ අරුමැසි නිමැවුමක්

අගෝස්තු 25, 2021

 

ලලනා දෑත් කවදත් නිර්මාණකරණයට දක්ෂයි. ගේ දොර හැඩවෙන්නේ මේ අපූර්වතම නිර්මාණාත්මක දෑතිනි. ඒ දෑත තවත් ඔප මට්ටම් කරන්නයි අපේ මේ තිළිණය.

දොර රඳවනයක් ලෙසත් වෝල් හැඟර් එකක් ලෙසත් නිවෙස සරසන්නට මෙය ඔබේම අතින් මෙලෙස සකසා ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කැමැති වර්ණවලින් අඟල් 1/2 පළල රිබන්

ලී පබළු (ලොකු සහ කුඩා)

නූල් හෝ වූල්

ඇලවීමට ගම්

රන්වන් වර්ණ එන්ඩ් කප්

මල් සහ කොළ කපා ගැනීම සඳහා අවශ්‍ය වර්ණවල ෆෝම් ෂීට්

 

නිර්මාණය කිරීම

පළමුව කාඩ්බෝඩ් කොටසක් ගෙන විශ්කම්භය අඟල් හයක් වු රවුම් දෙකක් ඇඳ කපාගන්න. පසුව එහි වට ප්‍රමාණය අඟල් 1/2ක් තබා ඇතුළත කොටස කපා ඉවත් කරන්න. දැන් ඡායාරූපයේ පෙන්වා ඇති පරිදි කැමැති වර්ණවලින් එහි වටේට රිබන් ඔතා අලවා ගන්න. පසුව එම රවුම් දෙක එකට තබා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට අලවන්න. එසේ අලවා ගත් තැනට ෆෝම්ෂීටවලින් කපාගත් මල් සහ කොළ අලවන්න. මෙය එල්ලීම සඳහා එහි උඩට නූල්වලින් ලූප් එකක් සාදාගන්න. යටට ලී පබළු භාවිතකර ටසල් සම්බන්ධ කරගන්න.

 

ටසල් සාදාගැනීම

තමන් කැමැති ආකාරයට නූල් හෝ වූල් ගෙන එය අඟල් 3ක් පමණ දිගට කපා ගත් කාඩ්බෝඩ් කොටසක ඔතා ගන්න. ඉන්පසු එයින් ගලවා හරි මැදින් ගැටයක් දමා ගන්න. දැන් නූල් එක සමානව සිටින සේ යටින් කපා ගන්න.

ගැටය දමාගත් තැනින් දෙකට නමා ඉඳිකටුවට නූලක් දමා හොඳින් තදකර ඒ තුළින් එන්ඩ්කප් එක යවා පසුව ඡායාරූපයේ පෙනෙන පරිදි ලී පබළු මාරුවෙන් මාරුවට දමා ගන්න. මෙවැනි කොටස් පහක් දිගට සහ කොටට සාදාගන්න.

 

රෝස මල් සාදාගැනීම

මේ සඳහා ප්‍රමාණ දෙකකින් මල් පෙති දෙකක් කාඩ්බෝඩ් මඟින් කපාගන්න. ඉන්පසු එම පතරොම් ෆෝම් ෂීට් මත තබා එක මලක් සඳහා ලොකු පෙති දෙකක් සහ කුඩා පෙති දෙකක් බැගින් කපාගන්න. දැන් පළමුව පොඩි පෙත්තක් ගෙන එහි ගම් ස්වල්පයක් තවරා පෙත්ත දෙකට නමා අලවා ගන්න. මේ ආකාරයට අනෙක් පෙතිවල ද ගම් ආලේපකර එලෙසම අලවා ගන්න.

මෙලෙසින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට රෝස මල් සාදාගන්න. කොළ සඳහා ද පතරොමක් කපා ෆෝම් ෂීට්වලින් කපා කොළ සාදා ගන්න. පසුව මල් හා කොළ මෙහි දැක්වෙන ලෙස තබා අලවා ගන්න.

 

 

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූල්නී ජයසිංහ