බිත්ති සැරසිල්ලට ඩේසි මලින් පිරි බඳුනක්

පෙබරවාරි 21, 2022

සුදු පාටින් පිපී හිනැහෙන ඩේසි මල් කුමරියන් ගේ අපූර්වත්වයයි මේ. රිබන් එම්බ්‍රොයිඩරි කලාවෙන් මේ මල් කුමාරියන්ට ජීවය දී ඔබත් මේ අගනා බිත්ති සැරසිල්ල නිර්මාණය කරන්න.

අවශ්‍ය දේවල්

සුදු ලිනන් රෙදි

සුදු, අහස් නිල්, පාසි

කොළ, දම් වර්ණවල

බේබි රිබන්

කහ, ළා දුඹුරු, සුදු,

කොළ වර්ණවල

කැරැලි නූල්

කොළ, නිල්, සුදු, අළු වර්ණවල රෙදි පින්තාරු

තීන්ත

පින්සල්

කතුරු, රිබන් මහන ඉඳිකටු,

සාමාන්‍ය ඉඳිකටු

රාමුව

නිර්මාණය කිරීම

පළමුව මේ නිර්මාණයෙන් දළ සටහනක් සකසා ගන්න. රෙදි කොටස ගෙන සම්පූර්ණ පසුබිම දී ඇති වර්ණ මිශ්‍ර කරමින් වර්ණ ගන්වා ගන්න. මල් බඳුනක් ද එලෙස වර්ණ ගන්වා ඇඳගන්න. දැන් එය මඳ පවනේ වියළා හොඳින් ඉස්තිරික්ක කරන්න. ඒ මත දළ සටහන ඇඳගන්න. නැත්නම් ඩ්‍රෙස් මේකිං කාබන් කොළයක් තබා රෙදි කොටසට දළ සටහන පිටපත් කරගන්න.

අපි මැසීම අරඹමු

මල් පෙති, සුදු වර්ණ බේබි රිබන් භාවිතයෙන් රිබන් මැස්මෙන් හා කෙළින් මැස්මෙන් මසාගන්න. මෙහිදී ස්වාභාවික පෙනුම ලබාගැනීමට තරමක් බුරුලට, ඇදයට, පිම්බී ඇති ලෙස රිබන් එක කරකවා ආදී ලෙස මැසීමට සැලකිලිමත් වන්න. එමෙන්ම මධ්‍යස්ථ රිබන් මැස්ම, දක්ෂිණාවර්ත, වාමාවර්ත ආදී රිබන් මැහුම් යොදන්න.

මල් මැදට කහ හා ළා දුඹුරු වර්ණ කැරැලි නූල් භාවිතකර ලූප් සහිත ප්‍රංශ ගැට මසාගන්න. මල් පොහොට්ටුවල පෙති ද මල් පෙති මැසූ ලෙස මසා කොළ වර්ණ රිබන්වලින් කෙළින් මැස්මෙන් මනිපත්‍ර මසාගන්න.

කොළ ඇඹරුණු කෙළින් මැස්ම, රිබන් මැස්ම යොදා මසන්න. නිල් හා දම් පාට රිබන්වලින් මල් සේ දිස්වෙන්නට රිබන් මැස්මෙන් මෙහි දැක්වෙන සේ මසන්න. තැනින් තැනට සියලු වර්ණවල රිබන් භාවිතයෙන් ප්‍රංශ ගැට මසාගන්න. සුදු, කොළ වර්ණවල කැරැලි නූල්වලින් නටු, ඉති කෙළින් මැස්මෙන් මසන්න. මල් පෙති වැටී ඇති ආකාරයට බඳුන පහළින් පෙති කිහිපයක් රිබන් මැස්මෙන් මසාගන්න.

මෙය තමන්ට කැමැති ලෙස වෙනස්කර මසාගත හැකියි. එහිදී වෙනත් වර්ණ මල් ද අවශ්‍ය නම් එකතු කරන්න. සුදු පැහැයෙන් ඇති ඩේසි මල් ටික මසා ගත් පසු අනෙක් සියල්ල ඔබට සිතෙන ආකාරයට නිර්මාණාත්මකව මසා ගැනීමේ නිදහස ඇත. මසා අවසානයේ පිටු පසින් ගැළැපෙන වර්ණ නූල් මඟින් රිබන් රෙදි කොටසට සම්බන්ධ කර මසාගන්න.
 

උපදෙස් ප්‍රවීණ උපදේශිකා
ශිරන්ති පෙරේරා

සටහන
පාලිකා දිල්රුක්ෂි