වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ක්විලින් හූප් ආර්ට් ක්‍රමයට අපූරු නිර්මාණයක්
කාන්තා ඔබේ දෑත් නිර්මාණශීලී ය. ඒ නිර්මාණශීලීත්වය ඔප් නංවන්නට අදත් අපි ඔබට අත්කම් නිර්මාණයක් ගෙන එනවා. ඉතිං ඔබේ නිවෙසට එන අමුත්තන්ගේ දෑස් පිනවීමට ඔබ අතින්ම කළ නිර්මාණයක් නිවෙසෙහි එල්ලා තබන්නට හැකිනම් එය කෙතරම් අගනේ ද?
ක්විලින් හූප් ආර්ට් ක්‍රමයට සකසන මේ නිර්මාණය නිවෙසේ ඉදිරිපස දොරටුව අලංකාර කරන්න වගේම නිවෙස ඇතුළත සරසන්නත් කදිමයි.
එම්බ්‍රොයිඩර් රාමුවක්
(විශ්කම්භය 18cm)
අඟලක පළල වර්ණවත් රිබන් කොටසක්
සුදු වර්ණයේ A4 බෝඩ් එකක්
වර්ණ ගැන්වීම සඳහා water colour pencils
කහ වර්ණයෙන් භාග
පබළු ටිකක්
කොළ වර්ණයේ
A4 බෝඩ් එකක්
පේපර් ෂේඩරයක්
ක්විලින් ටූල් එකක්
හොඳින් ඇලවෙන ගම් වර්ගයක්
කොළ වර්ණ කිහිපයකින් A4 බෝඩ්
ගෝනි නූල් කොටසක්
නිර්මාණය සකසා ගන්නා ආකාරය
පළමුව water colour pencil ආධාරයෙන් කහ, දම් සහ නිල් යන වර්ණ වලින් ෂේඩ් වන ආකාරයට සුදු පැහැ A4 බෝඩ් එක වර්ණ ගන්වා ගන්න. පසුව එම්බ්‍රොයිඩර් රාමුවේ ප්‍රමාණයට ඉහත වර්ණ ගැන්වූ A4 බෝඩ් එකෙන් රවුමක් කපා ගන්න. මෙහි රූපයේ පරිදි එම රවුම එම්බ්‍රොයිඩර් රාමුවට දමා සකස් කර ගන්න.
ඉන්පසු කහ පැහැති භාග පබළු ටික ගෙන එම්බ්‍රොයිඩර් රාමුව වටේට අලවා ගන්න. මෙම සැරසිල්ල එල්ලීම සඳහා ගෝනි නූලක් ගෙන රාමුව පිටුපසට සම්බන්ධ කර ගන්න. දැන් අඟලක පළල වර්ණවත් රිබන් කොටසක් ගෙන බෝ එකක් සාදා රූපයේ දක්වා ඇති පරිදි එම්බ්‍රොයිඩර් රාමුවේ ඉහළින් අලවා ගන්න. Welcome යන කොටස ප්රින්ට්කර අකුරු කපා තමන් කැමැති පරිදි සකසා එය රාමුවේ ඉහළින් එනම් බෝ එකට පහළින් අලවා ගන්න.
මල් නිර්මාණය කරමු
මෙම සැරසිල්ලේ ඇති මල් නිර්මාණය කිරීම සඳහා කහ, දම්, සහ සුදු A4 පටි අවශ්‍ය වේ. ඒ සඳහා පේපර් ක්විලින්වලට යොදා ගන්නා හෑන්ඩ් පේපර් ෂේඩර් එකක ආධාරයෙන් කහ, දම් සහ සුදු පැහැ A4 1/8 පටි කපා ගන්න.
සුදු පැහැ මල නිර්මාණය කිරීම
පළමුව සුදු වර්ණයේ A4 1/8 පටි 8ක් ගෙන එක දිගට වැලක් ආකාරයට අලවා ගන්න. පසුව ක්විලීන් ටූල් එක ආධාරයෙන් තරමක් තදට සිටින සේ රෝල් කර ගන්න. රෝල් කරගත් මේ මල් පෙත්ත කඳුළු බිංදුවක හැඩය ලැබෙන සේ අතින් හැඩ කරමින් සකසා ගන්න. එලෙස සකසා ගත් මල් පෙත්ත වටේට ළා දම් පැහැ 1/8 පටියකින් අවුට් ලයින් එකක් අලවා ගන්න. දැන් මේ මල් පෙත්ත අතින් තරමක් එළියට ඇද ගම් ආලේපකර නැවත පෙර තිබූ පරිදිම සකසා වියළෙන්නට තබන්න. මේ ආකාරයට මලේ පෙති හයම සකසා ගන්න. මල මැද ඇති බට්න් ඩේසි මල සඳහා තද කහ වර්ණයෙන් අඟල් 1/2 පටියක් ගෙන පහත දළ සටහන අනුව වෙසක් කූඩුවක රැලි කපන ආකාරයට හිනීයට රැලි කපා ගන්න.
දැන් ක්විලින් ටූල් එක ආධාරයෙන් කපාගත් රැලි පටිය රෝල්කර ටූල් එකෙන් ඉවත් කර, අලවා අතින් වටේට විහිදුවා සකසා ගන්න. සෑම සුදු පැහැ මල් පෙත්තකම දෙපැත්ත කොටස කහ වර්ණයෙන් වර්ණ ගන්වා ගන්න. මෙලෙස නිර්මාණය කරගත් පෙති සියල්ල එකතුකර මලක් ආකාරයට අලවා මැදට කහ වර්ණ බට්න් ඩේසි මල අලවා ගන්න.
දම් පැහැ මල නිර්මාණය කිරීම
දම් පැහැ A4 1/8 පටි හයක් එක දිගට වැලක් ආකාරයට අලවා සුදු වර්ණයේ මල සාදාගත් ආකාරයටම කඳුළු බිංදු හැඩ ලැබෙන ආකාරයට පෙති සකසා ගන්න. රූපයේ පරිදි මේ පෙති අග තරමක් අතින් ඇඳ පෙතිවලට උල් හැඩයක් ලබා ගන්න. එලෙස මල් පෙති හය සකස් කරගත් පසු සෑම මල් පෙත්තකම මුල් කොටස කහ වර්ණයෙන් සහ කෙළවර කොටස තද දම් වර්ණයෙනුත් වර්ණ ගන්වා ගන්න. ඉන්පසු පෙති හය එකට එකතු කරමින් මල සකසා ගන්න. මේ ආකාරයටම තවත් මලක් සකසන්න. දැන් මල් දෙක මැදට පබළු භාග අලවා ගන්න.
කහ පැහැ මල නිර්මාණය කිරීම
ළා කහ A4 1/8 පටි දෙකක් එකට අලවා ක්විලින් ටූල් එක ආධාරයෙන් තරමක් බුරුලට රෝල්කර කඳුළු බිංදු හැඩයේ මල් පෙත්තක් සකසා ගන්න. පෙර මල් පෙති සැකසූ පරිදිම තරමක් ඇද ගම් ගා අලවා ගන්න. පෙති කෙළවර උල් ආකාරයට සිටින සේ ඇඟිලි තුඩුවලින් හැඩ කරගන්න. මෙලෙස පෙති හයම සකසා ගන්න. මේ පෙති සියල්ල එකතු කර ත්‍රිමාණ හැඩයක් එන ආකාරයට මල නිර්මාණය කරගන්න. මලේ මැදට පබළුවක් ද අලවා ගන්න.
මෙහි කොළ සකස් කරගැනීම සඳහා රූපයේ පරිදි කොළ පැහැ A4 මත කොළ ඇඳ කපා ගැනීමට පුළුවන්. එසේත් නැතිනම් වෙළෙඳපොළෙන් කොළ හැඩැති ඩයිකට්ස් මිල දී ගෙන අලවා ගැනීම ද කළ හැකියි.
අවසානයේදී පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට ත්‍රිමාණව සකස් කරගත් මල් ටික අලවා ගන්න. ඉන් පසු කොළ අතු ද අලවා අවසන් කරන්න.
උපදෙස්
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිණී චූලනි ජයසිංහ