වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මලක මෙළෙක රැක ගන්න මෙහෙම පින්තාරු කර ගන්න
පළමුව අප සාමාන්‍ය ඩිසයින් එකක් පින්තාරු කර ගන්නා ආකාරය බලමු. පින්තාරු කිරීමට ප්‍රථම අප ඩිසයින් එක තෝරා ගත යුතුය. එය සෝදා වේළා මැද ගත් රෙදි කොටස මත රෙදි කාබන් එකක් තබා ඇඳ ගත යුතු වේ. එහිදී සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ අනවශ්‍ය විදිහට කාබන් කොළය මත අත නොතැබීමයි. මන්ද එම ස්ථානවලද කාබන් ගෑවිය හැකි බැවිනි. එසේම අනවශ්‍ය විදිහට තදකර ඩිසයින් එක ඇඳ නොගත යුතුය. ඉතා සැහැල්ලුවෙන් ඩිසයින් එක රෙද්ද මත ඇඳ ගත යුතුය. පසුව රිජිෆෝම් කොටස ගෙන ඒ මත ඉටි කොළය තැබීම අනිවාර්ය වේ. එයට හේතුව කණපිට පැත්තෙන් රෙදි කොටසින් එපිටට ෆැබ්රික් පේන්ට් ටචඡපඪජ නචඪදබ මතු වන බැවිනි. එය අප තබා ගන්නා ස්ථානය අනුව ඒ මත පේන්ට් ගෑවිය හැකියි. (උදාහරණයක් ලෙස අප මේසයක් මත තබාගෙන පේන්ට් කරනවිට යටින් ඉටි කොළයක් තබා නොගතහොත් පේන්ට් මේසය මත තැවරේ.)
පසුව ඉටිකොළය උඩින් ඩිසයින් එක ඇඳගත් රෙද්ද තබා පර්ල් පින් මඟින් රෙද්ද රිජිෆෝම් එක මත රඳවා ගැනීම සිදු කරනු ලැබේ. අවශ්‍ය වර්ණ තෝරා අවශ්‍ය පින්සල් කලින් සඳහන් කළ ආකාරයට සෝදා පිසදමා ගත යුතුය. බොහෝ දුරට පේන්ට් බෝතලයෙන් පේන්ට් ලබා ගැනීමට ප්‍රථම බෝතලය හොඳින් සොලවා ගත යුතු වේ. එසේම සරල නිර්මාණ සඳහා බෝතලේ මූඩිය කොටසේ තැවරී ඇති පේන්ට් භාවිත කිරීම සුදුසු වේ. එයට හේතුව වන්නේ බෝතලය තුළින් පේන්ට් ලබාගන්නා විට අනවශ්‍ය විදිහට පින්සලට පේන්ට් එන අතර පේන්ට් අපතේ යාම සිදු වේ. අවසානයේදී අවශ්‍ය වර්ණ ගළපමින් පින්සලට තීන්ත ගෙන ඇඳ ගත් ඩිසයින් එක මත තැවරීම සිදු කෙරේ. මෙහිදී ඩිසයින් එක අනුව පේන්ට් කිරීම සිදු කරන පැත්ත ගැනද සැලකිය යුතුය. එනම් දික් අතට හරස් අතට වෘත්තාකාරවද යන වග.
අවුට් ලයින් දැමීමේ දී වෙනම ඒ සඳහා සිහින් පින්සලක් භාවිත කළ යුතු වේ. එසේම නිර්මාණයට ගැළපෙන ආකාරයට අවුට් ලයින්වල ප්‍රමාණය තීරණය කළ හැකියි. එනම් අවුට් ලයින් එක සිහින්ව සහ විශාලව පේන්ට් කරනවාද යන වගයි.
එසේම වර්ණ මිශ්‍රකර පේන්ට් කිරීම තනි වර්ණයක් භාවිත කිරීමට වඩා අලංකාරවත් වේ. බොහෝ දුරට ඒ සඳහා කහ වර්ණය භාවිත කරනු ලැබේ. මල් වර්ගවල පෙති පත්‍රවල හැරී ඇති ස්ථාන වර්ණ ගැන්වීමේදී ළා වර්ණ සහ තද වර්ණ දෙකම භාවිත කරයි. එනම් උදාහරණයක් ලෙස රෝස මලක පෙති වර්ණ ගැන්වීමේදී එක් එක් දිශාවන්වලට හැරී ඇත්නම් එය ඒ අාකාරයටම වර්ණවත් කිරීමේ දී රතු සහ රෝස වර්ණ දෙකම මිශ්‍රකර පේන්ට් කර ගත යුතුය. එසේම සුදු වර්ණය යොදා ගෙන ද වර්ණ සකසා ගත හැකි වේ.
මෙම නිර්මාණයේදී මල් පෙති සඳහා රෝස වර්ණය භාවිත කර ඇත. එයද ළා රෝස සහ තද රෝස ලෙස පේන්ට් කර ඇත. ළා රෝස සැකසීමේ දී සුදු වර්ණය භාවිත කර ඇත. සුදුවලට උඩින් රෝස පාට තවරා තිබේ. ළා වර්ණ ස්ථානවල රෝස වර්ණ අඩුවටද රෝස වර්ණ වැඩි ස්ථානවල එම වර්ණය වැඩි වශයෙන් ද තවරා ඇත.
පත්‍ර සඳහා කහ සහ කොළ වර්ණය මිශ්‍ර කර ඇත. පළමුව කහ වර්ණය තවරා පසුව කොළ වර්ණය තවරා තිබේ.
උපදෙස් -
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
ඊ.ඒ. සඳමාලි නවෝදිකා