උඩින් ඉන්න කැමැති අයට එම්බෝස් පේන්ට්

ඔක්තෝබර් 7, 2024

මේ රෙදි පින්තාරු කලාවේදී තවත් වැදගත් පින්තාරු ක්‍රමයක් ලෙස හැඳින්වෙන එම්බෝස් පින්තාරු ක්‍රමයයි. මෙම පින්තාරු ක්‍රමය ඉතාම සිත් ඇද ගන්නා සුළු පින්තාරු ක්‍රමයක් වන අතර මෙහිදී ද සාමාන්‍ය ආකාරයට පේන්ට් කරන අතර ෆැබ්රික් පේන්ට්වලට එම්බෝස් පේන්ට් මිශ්‍ර කරනු ලබයි. එම්බෝස් පේන්ට් මිශ්‍ර කිරීමෙන් පින්තාරු කර ගන්නා නිර්මාණය රෙදි කොටසින් ඉහළට ඔසවා තැබීමක් සිදු කරනු ලබයි. මෙම පින්තාරු ක්‍රමය වඩාත් සුදුසු වන්නේ කුඩා ළමුන්ගේ ඇඳුම් නිර්මාණය කිරීම සඳහාය. එසේම කුෂන් කවර නිර්මාණය සඳහා ද භාවිත කළ හැකි අතර සුදුසු පරිදි ඔබට අවශ්‍ය ඕනෑම නිර්මාණයක් සඳහා මෙය යොදාගත හැකි වේ.

පළමුව ප්ලේට් එකක් ගෙන එයට ෆැබ්රික් පේන්ට් බිංදු කිහිපයක් දමා පසුව එම්බෝස් පේන්ට් එකෙන් පින්සලට හසුවන ප්‍රමාණයට කොටස් කීපයක් එකතුකර ෆැබ්රික් පේන්ට් එක හා එම්බෝස් පේන්ට් එක හොඳින් මිශ්‍ර කළ යුතුය. හොඳින් මිශ්‍ර කර ගත් එම පේන්ට් එක ගෙන ඔබ පින්තාරු කරන ලද නිර්මාණයේ අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගත් පෙන්ට් මිශ්‍රණය ගෙන පින්තාරු කිරීම කළ හැකියි.

මෙහිදී පළමුව පේන්ට් මිශ්‍ර කිරීම සඳහා පීරිසියක් ගෙන එය හොඳින් පිරිසුදු කර ගත යුතුය. පසුව පින්සල්ද හොඳින් සෝදා පිරිසුදු රෙදි කැබැල්ලකින් පිසගත යුතු වේ.

සාමාන්‍යයෙන් සම්පූර්ණ නිර්මාණයම එම්බෝස් කර ගත හැකි අතර එකම නිර්මාණයේ අවශ්‍ය කොටස් පමණක් එම්බෝස් කර ගැනීම ද කළ හැකියි. එසේම ෆැබ්රික් පේන්ට්වලට මිශ්‍ර කරන එම්බෝස් පේන්ට් ප්‍රමාණය අඩු වුවහොත් එම්බෝස් වීම අඩුවන අතර එම්බෝස් නොවීමද සිදුවේ. තවද මිශ්‍ර කරන එම්බෝස් පේන්ට් ප්‍රමාණය වැඩි වුවහොත් මිශ්‍ර කරන ෆැබ්රික් පේන්ට්වල වර්ණය වෙනස් වීම සිදු විය හැකියි. එනම් තද වර්ණ ළා වර්ණ බවට හැරවේ.

අවශ්‍ය ආකාරයට නිර්මාණය පින්තාරු කර හොඳින් වේළාගත යුතුය. ඒ සඳහා පැය විසි හතරක් තැබිය යුතුය. පසුව පින්තාරු කර ගත් නිර්මාණය ගෙන එය හොඳින් මැද ගන්න. අයන් කර ගැනීමේදී නිර්මාණය කණපිට හරවා මෙයට උඩින් රෙදි කොටසක් තබා අයන් කිරීම සිදු කළ යුතුය.

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඊ.ඒ. සඳමාලි නවෝදිකා