වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
නත්තල ආවට මොකෝ මෙන්න අඩු වියදම් ඩෙකෝ
සාමයේ කුමරු උපන් සොඳුරු නත්තල සෙනෙහසින් සමරන්නයි කාගේත් ප්‍රාර්ථනාව. ඒ සඳහා සීතල උඳුවප් මහේ ගේ දොර හැඩ කරන්න හිතන ආදරණීය ඔබටයි මේ නිර්මාණ පෙළ. පොඩිත්තන් සිටිනා නිවෙසක නම් තරු හැඩයට නිම වූ හිම බබා බෙහෙවින්ම වටී.
කොහොම නමුත් අපි හුරු පුරුදු වෙලා තියෙන්නේ නත්තල් ගස, ගවලෙන මෙන්ම සෙසු සැරසිලි කඩෙන් ගන්නනේ. මෙවර නත්තලට පුංචි වෙනසක් කරමු. ඔන්න එහෙනම් මේ නිර්මාණ පෙළ දැන් ඔබේම කරගන්න. බලන්නකෝ ඉතාමත් අඩු වියදමකින් මෙය නිර්මාණය කරගත හැකිවේවි.
තරු හැඩයට හිම බබෙක්
* පතරොම සඳහා කාඩ්බෝඩ්
* අඟල් 4ක් පමණ තරු හැඩයේ පතරොමක්
* B 6000 ගම්
* භාග පබළු
* නූලක්
* පැඩින්
* කැමති වර්ණයකින් ෆෙල්ට් රෙදි
* හිම තොප්පියට සුදු පාට ෆෙල්ට්
රෙදි කැබැල්ලක්
තරු හැඩයට අඟල් 4ක් පමණ පතරොමක් කපා ගන්න. එයින්ම තරුවේ උඩ කොටස පමණක් තොප්පිය සඳහා යට කොටස රැලි කර කපා ගන්න. දැන් තරු හැඩය කොටස් දෙකක්වන සේ රෙද්දේ කණපිට පැත්තට ඇඳ කපා ගන්න. කපාගත් තරුවේ උඩ කොටස තොප්පිය වගේ කොටස සුදු පාට ෆෙල්ට් රෙද්දේ කපා ගන්න. තොප්පි කොටස තරුවේ උඩ කොටසට අලවා ගන්න. අලවන විට මැහුමි වාටිවල ගම් ගාන්න එපා.
මහන්න අපහසුයි. කෝටි නූල තොණ්ඩුවක් ආකාරයට සාදා තරුවේ කණපිට පැත්තට අලවා ගන්න. ඉන් පසු හොඳ පිට බ්ලැන්කට් මැස්මෙන් මසා පැඩින් හිඩැසක් තබා පුරවා හිඩැස වසා ගන්න. ඉන්පසු ඇස්වලට භාග පබළු අලවා කට කළු නූලකින් මසා ගන්න.
----------------------------
මුවාගේ මූණ හැඩයට සැරසිල්ලක්
* කාඩ්බෝඩ් (මුවාගේ මුහුණ සඳහා)
* රතු පාට පබළු 2
* පැඩින්
* ෆෙල්ට් රෙදි (දුඹුරු පාට)
* කපු රෙදි
* නූල
කාඩ්බෝඩ් කොටසේ මුවාගේ මුහුණ හැඩය හොඳින් ඇඳ ගන්න. මුවාගේ මුහුණේ හැඩ සියල්ල ඇඳ ගත යුතුය. ඒවා වෙන වෙනම පතරොම් කපා ගන්න. මුවාගේ මුහුණ දෙපැත්ත රෙද්දේ කණපිට පැත්තට රෙදි කොටස් දෙක කපා ගන්න. මුහුණේ නළල කොටස මුහුණ කපපු රෙදි පාටට වඩා තද පාටින් කපා ගන්න. කන් දෙකත් එ් විදිහට කපා ගෙන කන් දෙක ඇතුළට වන සේ අලවා ගන්න. මුවාගේ මුහුණ, අං දෙකත් එලෙස හදා ගන්න. මුවාගේ නළල කොටස, මුවාගේ මුහුණේ ඉදිරියට තියලා අලවා ගන්න. වාටියේ ගම් ගාන්න එපා. ගම් මැහුම් වාසියේ ගෑවුණොත් මහන්න බෑ. හොඳ පිට පැත්තට තබා බ්ලැන්කට් මැස්්ෙමන් මසා ගන්න. හිඩැසක් තබා පැඩින් පුරවා හිඩැස මසා ගන්න. ඉන්පසු ඇස්, කට මසා ගන්න.
----------------------------
නත්තල් බෙල් එකක් සාදා ගනිමු
* පතරොම් සඳහා කාඩ්බෝඩ්
* බෙල් හැඩයට පතරොමක් ද කාඩිබොඩ් එකේ කපා ගන්න
* B 6000 ගම්
* පැඩින්
* පබළු
* රිබන් පොඩි කෑල්ලක්
අඟල් 4ක් පමණ පතරොම කපා දෙපැත්තම ෙකාටස් දෙකක් වන ලෙස රෙද්දේ කණපිටට කපා ගන්න. එය එල්ලන්න සුදුසු තැනින් ඇතුළු පැත්තට එන ලෙස රිබන් කොටස කොක්කක් ලෙස අලවා ගන්න. ඉන්පසු වටේටම බ්ලැන්කට් මැස්මේ පැඩින් පිරවීම සඳහා හිඩැසක් තබා එතැනින් පුරවා හිඩැස වසා ගන්න.
ඉන්පසු එය අලංකාර කර ගැනීමට පබළුවලින් මෙෙලස සරසා ගන්න. මේ සඳහා ඔබට කැමති දෙයක් භාවිත කර හැකියි.
*ගෙදර සෝෆාවට පුටු කොට්ට
*කෑම මේසය සැරසීමට
*පුංචි බබාලගේ soft toys
*cot mobiles
ඕනෑම දෙයක් නිර්මාණය කර ගත හැකියි. අවශ්‍ය වන්නේ නිර්මාණශීලි ඇසක් පමණි.
-----------------------
නත්තල් සීයා හැඩේට
පතරොම සඳහා කාඩ්බෝඩ්
අඟල් හතරක පමණ පතරොමක්
නත්තල් සීයාගේ හැඩයට කැපූ
ෆෙල්ට් රෙදි කැමැති වර්ණයකින්
භාග පබළු
පැඩින්
රිබන් කොටසක්
නහය සඳහා පොඩි බෝලයක්
අඟල් හතරක ප්‍රමාණයට කැපූ පතරොම දෙපැත්ත තබා රෙද්දේ කණ පිටින් ඇඳ කපා ගන්න. ඉන්පසු නත්තල් සීයාගේ රැවුල කොටසට පතරොමේ යට කොටසින් සුදු පාටින් රැවුල සඳහා කොටසක් කපා ගන්න. සීයාගේ තොප්පිය සඳහා රතු පාටින් පතරොමේ හිස කොටස කපා ගන්න. ඉන්පසු සීයාගේ කලින් කැපූ පතරොමේ මුහුණ හොඳ පිට පැත්තට කොටස් දෙක අලවා ගන්න. (තොප්පිය, රැවුල) ඉන්පසු රඳවනය සඳහා රිබන් කොටස කොක්කක් වන සේ ඇතුළු පැත්තෙන් අලවා ගන්න. දැන් පතරොම් කොටස් බ්ලැන්කට් මැස්ම ආධාරයෙන් වටේට මසා පැඩින් පුරවා නිමකර ගන්න. ඉන්පසු භාග පබළු ඇස්වලට යොදා නාසය සහ රැවුල යොදා අලංකාර කර ගන්න.