වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
පුංචි සිතට තනි රකිනා රෙදි බෝනික්කෝ
රෙදිවලින් නිර්මාණය කළ සුරතල් සත්තු දුටුවත් අපේ සිත සතුටින් ඉතිරී යනවා. සුරතලුන් පොඩ්ඩන්ගේ යහළුවන් වුවත් ඔවුන්ට වැඩිහිටියනුත් හරිම ආදරෙයි. ඒ නිසයි වැඩි දෙනෙක් තමන්ගේ නිවහන මේ අජීවී මිතුරන්ගෙන් හැඩ කර ගැනීමට කැමති. ඔබේ කැමැත්ත ඉටුකර ගැනීම අපහසු නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට මේ ලස්සන බෝනික්කන් මසා ගැනීමට උත්සාහ කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
කපු රෙදි කොටසක්
පැඩිං හෝ පුළුන්
වූල්
ගවුම මසාගැනීමට රෙදි
කළු පාට, රෝස පාට හෝ ඔබට අවශ්‍ය වර්ණවලින් පින්තාරු තීන්ත
සාදන ක්‍රමය:-
පළමුව පතරොම අනුව රෙදි කොටස් කපාගන්න. කපාගත් කොටස් පැඩිං පිරවීම සඳහා විවරයක් තබමින් මසාගන්න. පසුව පැඩිං හෝ පුළුන් පුරවා විවරයද මසාගන්න. කඳ කොටසට හිස කොටස අල්ලාගන්න. උරහිස තැනට අත් දෙක අල්ලා ගන්න. කකුලද කඳ කොටසේ යටටම තබා අල්ලා ගන්න.
කාඩ්බෝඩ් එකක් උපයෝගී කරගනිමින් වූල් ඔතා බෝනික්කාට අවශ්‍ය (හිස වටා ප්‍රමාණය) මැන කොණ්ඩේ සකසා ගන්න.
පසුව එය හිසට තබා මසාගන්න. කොණ්ඩේ හොඳින් පීරා රිබන් එකකින් ගැට ගසාගන්න. අනතුරුව ඔබට අවශ්‍ය පරිදි ලස්සන ගවුමක් මසා බෝනික්කක් හැඩ කර ගත හැකියි.
මෙන්න මෙහෙම හදාගන්න
එය අලංකාර ලෙස නිර්මාණය කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ සඳහා පළමුව පතරොම කපාගත යුතු වේ.
එයින් සුරතල් බෝනික්කාගේ හෝ සුරතල් සතාගේ හැඩය වෙනස් නොවී රෙදි කැබැලි කපාගැනීමට හැකියාව ලැබේ.
එම කොටස්වල මැහුම් වාසි තබා ගැනීමද අවශ්‍ය වන අතර, එවිට නිදහසේ නූල් දුවවීමට පුළුවන.
එමඟින් තැනින් තැන හිඩැස් ඇතිවීම සහ නූල් පිටතට පැමිණීම සිදු නොවේ.
ඔබේ සුරතල් සතාට හෝ බෝනික්කාට පුළුන්, පැඩිං පිරවීමද ඉතා පරිස්සමෙන් කළ යුතුය. මක්නිසාදයත් මසා ගත් බෝනික්කාගේ සිරුර ඇතුළට ඒකාකාරී රටාවකට පුළුන් නොදැමුවහොත් එක් පැත්තකින් අනෙක් පැත්තට පහතට වැටීම වගේ සිදුවිය හැකියි.
ඇස් තැබීමේ දී ද සැලකිලිමත් විය යුතු අතර, ඇස් ඇලවීමට වඩා මසනවා නම් වඩාත් සුදුසුය.
බෝනික්කාට පුළුන් පිරවීමට පෙර සියලු අවයව මසා අවසන් කර කරගත යුතුය.
වර්ණ ගැළපීමක් සිදු කර ගැනීමෙන්ද ඔබට මෙය වඩාත් ප්‍රියජනක ලෙස මසාගත හැකියි.
අත්කම් නිර්මාණ ශිල්පිනී
ප්‍රියංගි ජීරසිංහ
ඡායාරූප - ශාන් රඹුක්වැල්ල