වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සතුටින් ජීවත් වෙනවා නම් ඕනම පවුලකට ආදරයෙන් ජීවිතය ගෙනියන්න පුළුවන්
තාත්ති මෙයාට ගොඩක් අකැමැති වුණේ අපි දෙන්නගේ පාට වෙනස නිසා. හස්බන්ඩ් කෙලින්ම ගිහිල්ලා මගේ තාත්තාගෙන් ඇහුවා මොකද මට අකැමැති කියලා
එම්. ආර්. රණතුංග නම් වූ ඔහු අපේ රටේ දුගී පැල්පතේ සිට මහා මන්දිරය දක්වා ආලෝකය ලබාදෙන විදුලිය බල මණ්ඩලයේ වත්මන් සාමාන්‍යාධිකාරී වරයා. විදුලි ඉංජිනේරුවරයකු වන ඔහුගේ ආදරණීය බිරිය වන ඇය ලක්මාලි අරම්පොල.
ඇය පශු වෛද්‍යවරියක වන අතර වර්තමානයේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ආචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය. ඉතාමත් කාර්ය බහුල ජීවිත ගත කරන අතර සමාජසේවා කටයුතු වලද නියැලෙමින් මිනිසත් කමින් පිරිපුන් ආදර්ශයක් රටට ලබාදෙයි. තරුණ පුතුන් දෙදෙනකුගේ දඟකාරකම්වලින් පිරුණු මේ කැදැල්ල ආදරය සතුට උතුරායන තැනක්.
ඔවුන් සිව්දෙනා එකට බැඳ තබන රන් හුය වන්නේ ඇගේ ආදරයයි. සෙනෙහසයි. බිරියක ලෙස සැමියා සමඟත් මවක ලෙස දරුවන් සමඟත් අවබෝධයෙන් යුතුව නිදහස් සුන්දර දිවියක් ගෙවන රණතුංග කැදැල්ලේ ගතකළ අපූරු හෝරා කිහිපයක මතක සටහනයි මේ.
කන්ද උඩරට මහනුවර ලේවැල්ලේ පිහිටි ඒ සොඳුරු නිවහනට ගොඩවැදුණු අප පිළිගන්නට රණතුංග යුවළ පැමිණියේ සිනහවෙන් පිරුණු මුවින්.
‘‘මගේ නම එම්. ආර්. රණතුංග. මම ඉපදුණේ උඩුවේවල ගමේ කන්දෙවත්ත කියන ප්‍රදේශයේ. මගේ තාත්තා එම්. ආර්. සාමෙල්. ඔහු ගොවියෙක්. තේ පොල් රබර් සහ කුඹුරු වගා කළා. අක්කලා තුන් දෙනයි අයියා කෙනකුයි නංගී කෙනකුයි තමයි මගේ පවුලේ හිටියේ. ගලතර උඩුවේවල කනිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඉන්පස්සේ ගලතර උඩුවේවල මහා විද්‍යාලයෙන් 5සිට 9 පන්තිය දක්වා ඉගෙන ගත්තා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ සිදුකළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ NCGE පළමු කණ්ඩායමට අයත් වෙලා ඉගෙන ගෙන ඉහළම ලකුණු අරගෙන සමත්වුණා. ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න පින්නවල මහා විද්‍යාලයට ඇතුළත් වුණා.‘‘ විදුලි ඉංජිනේරුවරයකු වන රණතුංග මහතා ඔහුගේ අතීතය සිහකරමින් කතාව ආරම්භ කළා.
‘‘පොඩිකාලයේ සිටම මේ දේවල් ඉගෙන ගත්තොත් හොඳයි කියලා තීරණ ගත්තේ මම මයි. මම ගණිතය විෂයයට ආසා නිසා සාමාන්‍ය පෙළින් පස්සේ ඉංජිනියර් කෙනෙක් වුණොත් හොඳයි කියන ආසාව හිතේ තිබුණා. ඒ අනුව උසස් පෙළ A 1, B 3. ලබා සමත්ව මොරටුව විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරුවරයකු ලෙස උපාධිය ලබා ගත්තා. මගේ ප්‍රතිඵල වලින් කැම්පස් යන්න බැරිවෙයිදෝ කියලා සිතුණු නිසා මොරටුවේ කටුබැද්දේ කැම්පස් එකට තේරිලා අවුරුදු එකහමාරක් NDTඉගෙන ගත්තා. ඔය අතර මට ලියුම ආවා මාව පේරාදෙණිය කැම්පස් එකේ ඉංජිනේරු ෆැකල්ටි එකට තේරුණා කියලා. මොරටුව තමයි ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් වලට හොඳයි කියලා හිතුණු නිසා පේරාදෙණියට කැමැති කෙනෙක් එක්ක කතා කරගෙන මොරටුවටම මාරුව හදා ගත්තා.‘‘
විදුලි ඉංජිනේරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ වන්නේ හරිම අපූරු විදියට.
‘‘ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් උපාධිය හදාරන කාලයේ විදුලි බල මණ්ඩලයේ ට්‍රේනින් ආවා. ඊට පස්සේ වෝට බෝඩ් එකේ ට්‍රේනින් ආවා. අපිට ෆස්ට් ඉයර් ට්‍රේනින් සහ සෙකන්ඩ් ඉයර් ට්‍රේනින් කියලා දෙකක් තිබුණා. ෆස්ට් ඉයර් ට්‍රේනින් එක ගත්තේ රත්මලානේ මෝටර් වයින්ඩින් ෂොප් එකක. සෙකන්ඩ් ඉයර් ට්‍රේනින් කළේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. ඒ පුහුණු වලින් පස්සේ දෙවැනි පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව උපාධිය සමත්වුණා.
ඒ කාලයේ අපේ ප්රොපෙසර්ස්ලා රිසල්ට් එන්න කලින් ශිෂ්‍යයන්ට ජොබ් හොයලා දෙනවා. ඒ අනුව ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පනි (LECO) එකේ මාස 6ක් විතර මම සේවය කළා. ලෙකෝ එක ආරම්භයේදී අපි තමයි මනින ඒවා වගේ මූලික වැඩ ටික කළේ.‘‘
‘‘මේ අතර විදුලි බල මණ්ඩලයට ඉංජිනියර්ස්ලා ඉල්ලලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. ඒ අනුව අපි ලෙකෝ එකටත් කියලා මණ්ලයට ඇප්ලිකේෂන් දැම්මා. අපිව තේරුණා. ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට විදුලි ඉංජිනේරු විදියට සම්බන්ධ වුණේ.මුලින්ම නුවරඑළිය විදුලි ඉංජිනේරුවරයා විදිහට පත්වීම ගත්තා. ඒකට මූලික පුහුණුවකුත් ලැබුණා.‘‘
නුවරඑළියෙන් ආරම්භ වුණු වෘත්තීය ජීවිතයේ වර්තමානයේ දරන සාමාන්‍යාධිකාරී තනතුර දක්වා පියවරෙන් පියවර ඉහළට පැමිණෙන්නට ඔහුගේ කැපවීම හේතුවනවා.
‘‘මම නුවර එළියට පත්වීම අරගෙන ගිහින් ටික කාලයකින් තමයි භීෂණ යුගය ආරමභ වුණේ. හිටපු ගමන් ඇඳිරි නීතිය දානවා. ආණ්ඩුවෙනුත් දානවා ජේවීපී එකෙනුත් දානවා.
ඒ වෙනකොට මම ලෝන් එකට කාර් එකක් අරගෙන තිබුණා. එක දවසක් රම්බොඩ හරියේදී මගේ ඉස්සරහින් ගිය කාර් එක ගිනි තියලා තිබුණා. මම නූලෙන් තමයි බේරුණේ.‘‘
භීෂණ සමයේ රාජකාරි කටයුතු වලදී සිදුවූ අමතක නොවන අතීත සිදුවීම් සිහිපත් කරමින් ඔහු සතුටු වෙන්නේ නිහතමානීවය.
‘‘නුවරඑළියේ වැඩ කරනකොට සිදුවුණු අමතක නොව සිද්ධියක් තිබෙනවා. එක දවසක් ත්රස්තවාදීන් විසින් ටවර් එකක් කපලා බිම දාලා තිබුණා. මුළු නුවර එළියටම ලයිට් නැහැ. . ඒක හදන්න අඩුම තරමේ සති දෙකක් විතර යනවා. මම ගොඩක් අලුත් දේවල් කරන්න කැමැති කෙනෙක්. මම හොඳට වැඩ කරන අයට හොඳට සලකලා ඕනම අවස්ථාවක අවදානමක් අරගෙන වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් වෙනම හදලා තිබුණා. ඒ අයගෙන් අහලා බලලා ෆෝල්ට් එක තිබෙන ලයින් එක කපලා අයින් කරන්න කොළඹින් අවසර ගත්තා. එදා රෑ එළිවෙනකොට නුවරින් සප්ලයි අරගෙන නුවරඑළියට දෙන්න පුළුවන් වුණා. කොළඹින් කණ්ඩායමක් එන්නම සතියක් විතර යන නිසා මෙය සැබැවින්ම බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වූ දෙයක්.‘‘
විදෙස් ශිෂ්‍යත්වයක් ලැබීම ඔහු ලැබූ සුවිශේෂ ජයක්.
මම පූර්ණ ශිෂ්‍යත්වයක් මත නෙදර්ලන්තයේ අයින්රෝවන් Technical Univercity of Electronic engineearing ( TUE) එකේ ඩිප්ලෝමා එකක් කළා. 1991 වසරේ.
ඊට පස්සේ සමනළ වැව බලාගාරයේ මාස 6ක් වැඩ කළා. එතැනින් වික්ටෝරියා විදුලි බලාගාරයේ අවුරුදු 2ක් හිටියා මෙහෙයුම් සහ නඩත්තු ඉංජිනේරුවා විදිහට. රන්දෙණිගල රන්ටැඹේ ජල විදුලි බලාගාරවල ප්‍රධාන ඉංජිනේරු විදිහට හිටියා. අවුරුදු තුනක්. ඊට පස්සේ මධ්‍යම පළාතේ ප්‍රධාන ඉංජිනේරු විදිහට අවුරුදු 9ක් හිටියා.
ඊට පස්සේ සබරගමුවට ගියා පොජෙක්ට් ඩිරෙක්ටර් විදිහට. ඒකේ අවුරුදු දෙකහමාරක් විතර හිටියා. ආයෙත් මධ්‍යම පළාතට ආවා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම්) කියන තනතුරට. එතැන අවුරුදු පහ මාරක් විදියට වැඩ කළා. CB care කියලා ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩිවලොප් කරන්න මූලිකත්වය ගත්තේ මමයි. දැන් ඒක ලංකාව පුරාම පාවිච්චි වෙනවා.
මධ්‍යම පළාතේ ඉන්නකොට මීමුරේ ගමට විදුලිය දුන්නා. වර්තමාන අගමැති තුමා ජනාධිපති වෙලා ඉන්නකොට තමයි කිව්වේ. දැන් ඉන්න සභාපති පර්ඩිනැන්ඩස් මහත්මයා තමයි එතකොට ලේකම් වෙලා හිටියේ. පවුල් හාරසිය පනහක් තියෙනවා.මාසයක් ඇතුළත සප්ලයි දෙන්න කියලා මට නියෝයක් දුන්නා. එක ගහක් වත් කපන්නේ නැතුව මුළු ගමටම ලයිට් දුන්නා. ස්පන් පෝල් (Spun pole) කියන කණු විශේෂය සැහැල්ලු කොන්ක්‍රීට් බට කණු මම ඒකෙදි හඳුන්වා දුන්නා.
අපේ ක්‍රේන් වගේ ඒවා තියෙන තැන බලාගන්න vehical tracking divice එක හඳුන්වා දුන්නෙත් මමයි.
අරුණ සමරසිංහ කියන සාමාන්‍යාධිකාරි කෙනෙක් හිටියා එයා විශ්‍රාම යනවිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරක පුරප්පාඩුවක් ඇතිවුණා. ඒ අනුව 2019 වසරේ ජනවාරි මම අතිරේක සාමාන්‍යාධිකාරී බෙදාහැරීම් අංශ 4 බාරගත්තා. දෙහිවල, රත්මලාන, ගාල්ල, මාතර සහ හම්බන්තොට මගේ ඒරියා එක වුණේ. එතැන අවුරුද්දක් පමණ සේවය කළා. ඉන්පස්සෙ 2020 පෙබරවාරි 05 වැනිදා අතිරේක සාමාන්‍යාධිකාරී ව්‍යාපෘති විදිහට වැඩ බාරගත්තා. ‘‘
කතා බහ අතර තුර ඇය රසකැවිලි පිරි බන්දේසියක් රැගෙන ආවේ තේ පැන් සංග්‍රහයකට ආරාධනා කරමින්.
ඔබේ බිරිය පෙම්වතියක ලෙස හම්බවුණේ කොහොමද? ඔහු නිහතමානී ලෙස සිනාසෙමින් ඇයට විස්තර පවසන්නැයි ආරාධනා කරන්නේ සතුටින්.
‘‘මෙයාගෙන් තමයි ඒ ගැන අහගන්න ඕනා.‘‘
‘‘ මගේ ගම අනුරාධපුර. අම්මා ලලිතා කහඳවල. දිනරත්න අරම්පොල. පවුලේ නංගිලා දෙන්නයි මමයි. මම ලක්මාලි අරම්පොල, රාජිකා, ශාන්ති. මමයි ලොකු නංගියි අතර පරතරය අවුරුදු හතරයි. පොඩි නංගියි මමයි අතර අවුරුදු 14ක පරතරයක් තියෙනවා. ඉතින් පොඩි නංගියි මමයි හරිම කිට්ටුයි. මට වයස 15ක් වෙනකොට නංගිට අවුරුද්දයි. ඉතින් මම එයා වඩාගෙන ඉන්නවා. තාත්තිගේ ලොකු මාමා තමයි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක පී.බී. රත්නායක. ඒ නිසා අනුරාධපුරයේ අපිට ලොකු පිළිගැනීමක් තිබුණා. අපිට තේරෙන්නෙත් නැහැ. තාත්ති රේල්වේ වැඩ කළ නිසා අපි තැන් කිහිපයකටම ගියා. අවුරුදු හතරේදි හිටියේ කැකිරාවේ. අනුරාධපුරයේ තමයි ඉස්කෝලෙ ගියේ. මුලින්ම ගියේ හෝලි ෆෑමිලි කොන්වන්ට් එකට. දැන් ඒක ස්වර්ණපාලි බාලිකා විදුහල. 77 බලයට පත්වුණු රජයෙන් තාත්තිට දඬුවම් මාරුවක් ලැබුණා. ඔහියට. එතැන පාසලක් නැහැ. ලයිට් නැහැ. ඒ නිසා තාත්ති බණ්ඩාරවෙල ගෙයක් කුලියට අරගත්තා. ලිට්ල් ෆ්ලවර් කොන්වන්ට් එකට ගියා. අපි එහේ ඉඳලා හැටන් ආවා. එහෙදී සෙන් ගේබ්‍රියල් කොන්වන්ට් එකට ගියා. උසස් පෙළට මම මහනුවර උසස් බාලිකා පාසලට ආවා.මගේ තාත්ති දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළේ IPW ඉන්ස්පෙක්ටර් ඔෆ් වේ ඇන්ඩ් වරක්ස් හැටියට. රේල් පාර සම්බන්ධව බැලුවේ තාත්ති. ඩක්කුවේ මහත්තයා කියන්නෙ ඒ තනතුරට. .තාත්තිට මාරුවීම් ලැබෙන කොට අපිත් ඒ එක්ක යනවා. ඒ අතරේ තාත්තිට ඇසිස්ටන්ට් ඩිස්ට්‍රික්ට් ඉංජිනියර් කියන තනතුරට ප්‍රමෝෂන් එකක් ලැබුණා. නානුඔයට. එතකොට තාත්තිගේ ඉංජිනියර් කෙනෙක් ඉන්නවනෙ. එයා ගුණතිලක. එයා මගේ අම්මිගෙ ගමේ කෙනෙක්. නෑ කෙනෙකුත් වෙනවා. ඒ වගේම අපි හොඳ යාළුවෝ. ඉකින් එයා අපේ ගෙදර එනවා යාළු කමට. එයාගේ යාළුවෙක් තමයි මෙයා.
‘මෙයා නුවර එළියේ ඒරියා ඉංජිනියර් වෙලා ඉන්න කොට මිස්ට ගුණතිලක හම්බවෙන්න ඇවිත් ඒ එක්ක අපේ ගෙදර ආවා. මම එතකොට ගෙදර හිටියෙ නැහැ. මම උසස් පෙළ කරන්න නුවර හයි ස්කූල් එකේ බෝඩ් වෙලා හිටියේ. මම බයෝ කළේ මෙඩිසින් යන්න හිතාගෙන. අපේ ගෙදර අය මෙයාව දන්නවා. නිතරම එනවා යනවා. මම කිව්වේ අයියා කියලා. ඔය අතරේ මගේ විභාග ප්‍රතිඵල ආවා. මම තේරිලා තිබුණේ පශු වෛද්‍ය පීඨයට.
87 අවුරුද්දේ මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න යනකොට ලොකු කලබලයක් වෙලා යුනිවර්සිටි එක වැහුවා. අවුරුදු තුනකට වැහිලා ගියා. මම ඉන්න ගමන් විද්‍යා ගණිත ගුරු විභාගයට ලිව්වා. මගේ තාත්තිට ට්‍රාන්ස්වර් එකක් හම්බවෙලා අපි කඩුගන්නාවට ආවා. ඔය අතරේ මට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබුණු ඉංග්‍රීසි කෝස් එකට යන්න වුණා නුවරඑළියට. ඉතින් තාත්ති මට නුවරඑළියේ ඉන්න තැනක් හොයලා දුන්නා රේල්වේ ක්වාටස් වල. මෙයාගේ අක්කා රේල්වේ එකේ වැඩ කළ නිසා තාත්තිගෙයි අක්කාගෙයි මිත්‍රකමක් තිබුණා. අපේ ගෙදර ඇවිත් මෙයාවත් හොඳට දන්නවනෙ. ඉතින් තාත්ති බය නැතිව මාව නැවැත්තුවා.‘‘
‘‘මෙයා නුවරඑළියට ඇවිත් නැවතුණේ අපේ අක්කා හිටපු ක්වාටස් එකට අල්ලපු එකේ. ඉතින් මම යන්නේ මේ ගොල්ලන්ගේ ක්වාටස් එක හරහා. ඒ යනකොට මෙයාව හමුවෙනවා‘‘ රණතුංග මහතා ඒ රසවත් අතීතය මතකයට නඟන්නට ඇයට සහය දෙනවා.
‘‘ ඔව්. මම හැමදාම වීක් එන්ඩ් එකට ගෙදර යනවා කඩුගන්නාවට. ආයේ ඉරිදා හවස කෝච්චියෙන් නුවරඑළියට එනවා. ඒ වෙලාවට මෙයා ස්ටේෂන් එකට එනවා මාව එක්ක ගෙන යන්න. අපි යන එන කොට එයා තමන් ගැන විස්තර සේරම කියනවා. ඉතින් මට හිතුණා මෙයා හොඳ කෙනෙක් තමයි කියලා. ඒ අතර තමයි මෙයා මට කැමැතියි කියලා මගෙන් ඇහුවේ. ඉතින් මම කිව්වා අම්මිගෙනුයි තාත්තිගෙනුයි අහන්න කියලා. ‘‘
ඔවුන්ගේ ආදරයටත් බාධක එල්ල නොවුණා නොවේ. නමුත් එයින් නොසැලී එය ජය ගත්තේ දෛවයේ එසේ ලියැවි තිබූ නිසා විය හැකියි.
‘‘අම්මි අකැමැත්තක් පෙන්නුවේ නැහැ. තාත්ති නම් මේකට කැමැති වුණේම නැහැ. ඒත් මගේ කෝස් එක ඉවර වෙනකම් කිසි දෙයක් කිවවෙ නැහැ. ඉංග්ලිෂ් කෝස් එක ඉවරවෙලා මම ගෙදර ආවා. ඒ අතර මට ගුරු පත්වීම ආවා. ඒ පත්වීම ආවෙත් නුවර එළියේ පුපුරැස්සට. තාත්ති මම නුවරඑළි යනවට අකැමැති නිසා ඒක වෙනස් කරගන්න අධ්‍යාපන කාර්යාලයට ගියා. එතකොට කිව්වා නුවරඑළිය කොන්වන්ට් එකේ සයනස් ටීච කෙනෙක් නැහැ කැමැති නම් යන්න පුළුවන් කියලා. ඉතින් ඒ පත්වීම බාරගත්තා. ‘‘
‘‘මම කෙලින්ම ගිහිල්ලා තාත්තාගෙන් ඇහුවා මොකද මට අකැමැති කියලා.‘‘ රණතුංග මහතා ආදරය දිනාගත් අන්දම කියන්නේ මුව පුරා සිනාසෙමින්.
‘‘ තාත්ති මෙයාට ගොඩක් අකැමැති වුණේ අපි දෙන්නගේ පාට වෙනස නිසා. මම ඉතින් තාත්තිට කිව්වා මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. පස්සේ තාත්ති අපිට කැමැත්ත දුන්නා. මම නුවරඑළිය කොන්වන්ට් එකේ ටිච් කළා අවුරුදු තුනක්. 88 ඉඳලා 90 වෙනකම්. 90 දී යුනිවර්සිටි එක පටන් ගත්ත නිසා මම යුනිවර්සිටි එකට ආවා. අපි අඳුනගත්තේ 86දි. 1994 දී ෆයිනල් ඉයර් එකේදී අපි විවාහ වුණා.‘‘
කාර්ය බහුල රැකියා සමය ආරම්භ වන්නේ ඉන්පසුව.
‘‘1995 දී මම පාස්අවුට් වුණා. 96 දි මට ගම්පොල ක්රිස්බෝ එකේ වෙට් සර්ජන් හැටියට ජොබ් එක ලැබුණා. ක්රිස්බෝ ආයතනයේ රැකියාව මම අවුරුදු 12ක් කළා. 2017 වසරේ තමයි මම එයින් ඉවත් වුණේ.‘‘
කතා බහ අතර තුර සුරතල් බලු පැටියා අතින් ගත් තරුණ පුතුන් දෙදෙනා පැමිණෙන්නේ සුපුරුදු සිනාවෙන් මුව පුරවාගෙන.
විවාහ වෙලා ගොඩක් කාලයක් යනකම් මට දරුවෙක් පිළිසිඳ ගත්තේ නැහැ. මට බබාලා නැහැ වගේ කියලා තමයි හිතුණේ. බෙහෙත් කළා ජයශ්‍රී මහා බෝධියට බාර වුණා. මම විශ්වාස කරනවා ඒ බාරවුණාට පස්සේ තමයි මට ලොකු පුතා ලැබුණේ.
1996 දී මට ඉන්දියාවට යන්න වුණා කුකුල් පාලනය පිළිබඳ සමුළුවකට. එහෙදි තමයි මම දැනගත්තේ මම ප්‍රෙග්නන්ට් වෙලා තමයි කියලා. ඉතින් මම හස්බන්ඩ්ට කෝල් කරලා කිව්වා. එයා සතුටු වෙලා කිව්වා බය වෙන්න එපා. සතුටින් ඉඳලා එන්න කියලා. 97 මට ලොකු පුතා හම්බ වුණා. එයා තිළිණ රණතුංග. ලොකු පුතාට අවුරුදු 5ක් වෙද්දි දෙවැනි පුතා හම්බ වුණා. එයා ඉසුරු රණතුංග.
දරුවන් ගේ යහපත වෙනුවෙන් රැකියාවෙන් සමුගන්නට ගත් තීරණය ගැන ඇය පවසන්නේ ආඩම්බරයක් මුසු නිහතමානී බවකින්.
‘‘2007 අවුරුද්දේ ලොකු පුතාට අවුරුදු 10ක්. මම හිතුවා ගෙදර ඉන්න ඕන කියලා. මොකද එයා තනි වෙනවා වගේ දැනුණා. මම ජොබ් එකට හැමදාම ගම්පොල යන්න ඕන. උදේ ගියාම හවස තමයි එන්නෙ. ඒ නිසා මම ක්රිස්බෝ එකෙන් අස්වුණා.
ඉන්පස්සේ මට පේරාදෙණිය යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් වලට යන්න අවස්ථාව ලැබුණා. විසිටින් ලෙක්චර කෙනෙක් විදිහට තමයි සම්බන්ධ වුණේ.‘‘
සැමියාත් බිරියත් දෙදෙනාම කාර්ය බහුල රැකියාවල නියැලෙන අතර තුර සමාජ සේවා කටයුතු වලත් නිරතවිම සැබැවින්ම අභියෝගයක්.
‘‘ මගේ හස්බන්ඩ් ටෝස්ට් මාස්ටර් කෙනෙක් . ඒ නිසා මම ටෝස්ට්මාස්ටර් කෙනෙක් වුණා. ඒ වගේම මෙයා සිංහ සමාජයේ ලයන් කෙනෙක්. ඒ නිසා මම නිකම්ම ලයන් ලේඩි කෙනෙක් වෙලා හිටියේ. නමුත් ඊළඟ අවුරුද්දේ මමත් ලයන් කෙනෙක් වුණා. . දැන් මම ඩිස්ටිංග්ස් ටෝස්ට් මාස්ටර් කෙනෙක්. ලයන්ස් එකේ රිජන්ස් සික්ස් වල චෙයාපර්සන්‘‘ කාර්ය බහුල බවත් එක්ක ජීවිතේ කළමනාකරණය කර ගැනීම වර්තමාන අඹුසැමියන්ට ආදර්ශයක්.
‘‘විදුලි බල මණ්ඩලයේ රැකියාව කරනවා කියන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් පැය 24ම කැපවෙලා ඉන්න ඕන. ප්‍රධාන ඉංජිනේරුවරයා වුණාම රාජකාරියේ එන ගැටලු වැඩියි. ඒ නිසා ගෙදර තියෙන ගැටලු විසඳාගෙන ඉන්න ඕන. ඒ වගේම බිරිඳත් කාර්ය බහුලයි. ඒ නිසා අපි අපේ වැඩ ස්වාධීනව කරගන්න පුරුදු වුණා. තමුන්ගේ ප්‍රශ්න තමුන්ම විසඳගන්න ඕන. ඒකට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕන. ඉතින් අපි ඒ විදිහට අපේ වැඩ කරගත්තා.
විශේෂයෙන් මේ ගේ හදන්න මුල් ගල තිබ්බට මට ඒ වැඩ බලන්න පුළුවන් වුණේ වික් එන්ඩ් වල. සේරම වැඩ කළේ බිරිඳ. ඉතින් මට තිබුණේ දවසෙන් දවස ගේ වැඩ ඉවර වෙනවා බලන්න විතරයි.‘‘ රණතුංග මහතා බිරිය දෙස බලන්නේ කෘතවේදී ආදරයකින්.
‘‘ඉතින් මම හැමදාම එදා දවසේ කරන්න තියෙන වැඩ ටික හස්බන්ඩ්ට කෝල් එකෙන් කියනවා. මම කොහේ ගියත් මෙයාට කෝල් කරලා දැනුවත් කරලා තමයි යන්නේ. ඉතින් මට කවදාවත් එපා කියලා නැහැ. දැනටත් මම පුරුද්දක් විදියට ඒ හැම දෙයක්ම හස්බන්ඩ්ට කියනවා.‘‘
‘‘ අපි හතර දෙනාට වට්ස් ඇප් ගෘෘප් එකක් පවා තියෙනවා අපි කොහේ හිටියත් ලැබෙන පුංචි විවේකයේදී සම්බන්ධ වෙනවා. අපි හතර දෙනාම කාර්ය බහුල නිසා ඒ විදිහට ජීවිතේ පහසු කරගන්න හැම තාක්ෂණයක්ම භාවිත කරනවා. ඒ කියන්නේ අපි තාක්ෂණය පාවිච්චි කළාට දුරස් වෙලා නැහැ. ඒවායින් අපි තවත් ළංවෙලා.‘‘
‘‘පුතාලා දෙන්නා ගැන මට ආඩබරයෙන් කතා කරන්න පුළුවන්. ඒ දෙන්නා පොඩි කාලෙ ඉඳලම මට හරිම ලස්සනයි. මම හරීම ආදරෙයි.හැම අම්මා කෙනෙක්ම මම වගේ වෙන්න ඇති. ඒත් මට ඒ දෙන්නා හරිම විශේෂයි. ඉතින් වැඩට ගිහිල්ල ආව වෙලාවේ ඉඳලම මම ඒ දෙන්නා එක්කමයි හිටියේ. විශේෂයෙන් දරුවන් පොඩි කාලයේ අම්මාගේ ආදරය, රැඅකවරණය, අධීක්ෂණය අත්‍යවශයයි ඉතින් මම කල්පනා කළා දැන් මම ඒ දෙන්නා ළඟ ඉන්න ඕන කියලා. ඒ නිසා තමයි මම රැකියාවෙන් ඉවත් වුණේ.
දැන් ඒ දෙන්නා ලොකුයි. හොඳ දරුවන් විදිහට හැදිලා තියෙනවා.‘‘
‘‘ලක්මාලියි මමයි භුක්ති විඳින නිදහස මම තාත්තා කෙනෙක් විදියට දරුවන් දෙන්නාටත් දීලා තියෙනවා. කිසිම දෙයක් සීමා කරන්නේ නැහැ.‘‘
‘‘අපි හතර දෙනා රෑට අනිවාර්යයෙන්ම කෑම කන්නේ එකට. දවල් කාලයේ ඉන්න හැමෝම ලැබෙන හැම වෙලාවෙම කෑම කන්නේ එකට. ඒ වෙලාවට අපි අපේ ජිවිත වලට සම්බන්ධ ගොඩාක් දේ කියලා ඒ අය දැනුවත් කරනවා. හොඳ නරක කියලා දෙනවා.
‘‘ පුතාලා දෙන්නා ට්‍රිනිටි කොලෙජ් එකට තමයි ගියේ. . ගිය අවුරුද්දේ ජූනි වල එයා ස්ලිට් එකේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් උපාධිය සමත් වුණා. දැන් පෞද්ගලික සමාගමක ඉංජිනේරුවරයෙක් විදියට රැකියාව කරනවා.
පොඩි පුතාත් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා. මේ අවුරුද්දේ තමයි විභාගය ලියන්න ඉන්නේ. එයාගේ කැමැත්ත අයි ටී වලට. සොෆ්ට්වෙයා ඉංජිනේරුවරයෙක් වෙන එක තමයි එයාගේ බලාපොරොත්තුව.
කාර්ය බහුල ජීවිතය ගැන අත්දැකීම් ඇසුරෙන් කියන්නේ හරිම අපූරු කතාවක්.
‘‘පළමු දේ තමයි අපි එක එක්කෙනා අතර අවබෝධය තියෙන්න ඕන.අපි දෙන්නා කවදාවත් සැක හිතාගෙන නැහැ. ඊළඟට හැමවෙලාවෙම සතුටෙන් ඉන්න උත්සාහ කරන්න ඕන. දුක් සහිත දේවල් වෙනවා. ඒ වෙලාවට ඒවාට දුක් වෙනවා. නමුත් ඒ දේවල් ඉක්මනින්ම අමතක කරලා සතුටින් ඉන්න තමයි කැමැති. ‘‘ ඇය කියන්නීය.
‘‘පුළුවන් තරම් අනිත් අයට උදව් කරලා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැතිව සතුටින් ජීවත් වෙනවා නම් ඕනම පවුලකට ආදරයෙන් ජීවිතය ගෙනියන්න පුළුවන්.
හැබැයි හොඳට අඳින්න ඕන.ලස්සනට ඉන්න ඕන. කෙනෙක් තවත් කෙනෙක් එක්ක කතා කරන්නවත් කැමැති නැහැනෙ ප්‍රියමනාපව, පිරිසුදුව හිටියේ නැතිනම්. ඒ නිසා අපි අනෙක් අය ප්‍රිය කරන චරිත වෙන්න ඕන.‘‘
සැබැවින්ම ඔවුන් දෙපළ වෘත්තීය අතින් ගත්කල මේ රටට සම්පතකි. එසේම ඔවුන්ගේ ආදරයෙන් පිරුණු කැදැල්ල අපේ අඹු සැමියන්ට ජීවමාන ආදර්ශයකි. සතුට සෙනෙහස පිරුණු කැදැල්ලේ ආදර සංග්‍රහ විඳිමින් කතා බහට සවන් දීමේදි කාලය ගතවෙනවා නොදැනේ. හිරු බැස ගොසින් අඳුර මුළු ලොවම වෙලාගෙන ඇත. එහෙත් විදුලි බලයෙන් පරිසරයම ආලෝකවත් වී තිබේ. අප ඔවුන්ගෙන් සමුගත්තේ යළිත් දිනෙක එහි එන්නට කළ ආරාධනාව පිළිගනිමිනි.
ඡායාරූප
සුරංග රාජනායක