දරුවන් තිදෙනෙක් වෛද්‍යවරුන් කර හිතේ සැනසුමෙන් දිවි ගෙවන මව්පියෝ

නොවැම්බර් 22, 2021

 

“ පවුලේ වැඩිමලා වූ මට ඉගෙන ගන්න ඕන කියන වුවමනාව තිබුණා. අම්මයි තාත්තයි අප වෙනුවෙන් බොහෝ වෙහෙසුණා. පාසල් යන කාලේ මම පාන්දර හතරට අවදි වෙනවා. උදේ හතරයි හතළිස් පහ වෙනකොට තාත්තත් එක්ක ගෙදරින් පිට වෙනවා.

බස් එකට නගින්න කිලෝමීටර් දෙකක් විතර පයින් යන්න ඕන. එහෙම දුෂ්කර ගමනක් ඇවිල්ලයි මම ඉගෙන ගත්තේ. මම විතරක් නෙවෙයි නංගිත් මල්ලිලා දෙන්නත් ඉගෙන ගත්තේ බොහෝ වෙහෙස මහන්සි වෙලා.

මට දෙයක් මතක හිටින්න හොඳට පාඩම් කරන්නම ඕන. ඒ නිසා මම පුංචි කාලේ ඉඳලම පාසලේ දෙන වැඩ ගෙදර ඇවිල්ලත් පාඩම් කළා. අම්මටයි තාත්තටයි තිබුණේ අපට උගන්නන්න වුවමනාව. අම්මගේ තාත්තගෙ උත්සාහය නිසයි අද අපි මෙවැනි තැනක ඉන්නේ. අම්මයි තාත්තයි වෙනුවෙන් මගේ හිතේ තියෙන්නේ විශාල ගෞරවයක්, භක්තියක්, ආදරයක්. ඒ දෙදෙනාගේ ආදරය කරුණාව වගේම අපි හතර දෙනා වෙනුවෙන් කළ කැපවීම නොවන්නට අපේ ජීවිත මේ තරම් හැඩ නොවන්නට තිබුණා.“

සිය මවගෙන් පියාගෙන් ජීවිතට ලැබුණ පිටිවහල ගැන එසේ පැවැසුවේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරියක වන අප්සරා කරුණානායක ය.

අප්සරාගේ සිය පවුලේ වැඩිමලීය. ඇයට බාල නැගණියක හා මල්ලිලා දෙදෙනෙකි. රජයේ සේවකයකු වූ සිය පියා හා ගෘහණියක වූ මවගෙන් ලැබුණ ආදරය කරුණාව මෙන්ම ඉගෙන ගන්නට අවශ්‍ය පසුබිම සකසා නොගන්නට ඔවුන්ගේ ජීවිත මේ තරම් හැඩකාර නොවනු ඇත.

අප්සරා ඇතුළු ඇගේ සොහොයුරිය සහ සොයුරන් දෙදෙනා අපට විශේෂ වන්නේ ඇයි?

මෙය කියවගෙන යන මොහොතේදී ඔබට සිතෙනු ඇත.

සැබැවින්ම ඔවුන් විශේෂිතය. මන්දයත් අප්සරා මෙන්ම ඇගේ නැගණිය ලක්මිණි මධුෂාණි ද වෙද්‍යවරියකි. ඇය දැනට වව්නියාව රෝහලේ සේවය කරන්නීය. ඇගේ වැඩිමල් සහෝදරයා චාමින් මධුශංක කරුණානායක ද වෙද්‍යවරයෙකි . ඔහු දැනට කොළඹ කාසල් රෝහලේ සේවය කරන්නේය. බාල සෙයුරා වන සචින්ත කරුණානායක නීතීඥවරයෙකි.

“මම පුංචිම කාලේ ඉගෙන ගත්තේ ඇල්ලමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ. එම පාසලේ විදුහල්පතිනිය වූ විමලාවතී ගුරුමැණියන් අපේ ඉගෙනීමට බොහෝ උදව් කළ කෙනෙක්. ඒ කාලේ පෞද්ගලික පන්ති යන්න විදිහක් තිබුණේ නැහැ. මම පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ විශාඛා විද්‍යාලයට ගියා වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා. සාමාන්‍ය පෙළ සමත් වෙලා මම උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තේ. මම ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්නකොට නංගි පෙරපාසල් යන වයසේ. මම නංගිට පාඩම් කියලා දුන්නා. නංගියි මමයි හරි එකමුතුයි. මල්ලිලා දෙන්නත් ඒ වගේම එකමුතුයි. අපේ ගමෙන්ම ඉස්සෙල්ලාම විශ්ව විද්‍යාලයකට ගියේ මම. වෛද්‍යවරියක් වුණේ මම. මට ඒ ගැන ආඩම්බරයි. ගමේ අය අපට හරි ආදරෙයි.“

සිය සහෝදර සහෝදරියන්ට ආදරණීය සොයුරියක වන අප්සරා කාටත් කාරුණිය. ඇය සිය මවගෙන් පියාගෙන් තමන්ට, සිය සොයුරියට හා සොයුරන් දෙදෙනාගේ ඉගෙනුම ලැබුණ සහාය ගැන හැම විටම සිහි කරන්නේ ගෞරයයෙනි.

වර්තමානයේ එක් දරුවකුට පමණක් සිමා වු පවුලක ඒ දරුවාට ද ඉගෙන ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වන මව්පියන් අතර කරුණානායක පවුල සිය දරුවන් වෙනුවෙන් අපමණ කැපකිරීම් කළහ.

ඒ ගැන සිහිපත් කරන සුනීතා මාලනී.

“ විවාහ වෙනකොට මගේ වයස අවුරුදු විස්සයි. මගෙ මහත්තයාට අවුරුදු විසි අටයි. අපි විවාහ වුණේ යෝජිත විවාහයකින්. මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. නමුත් කැම්පස් යන්න බැරි වුණා. මගේ පවුලේ හය දෙනයි . මම විවාහ වුණේ 1977 අවුරුද්දේ. මගේ මහත්තයා සමාජ සංවර්ධන නිලධාරියකු ලෙස ඒ වන විට රැකියාව කළේ. අපි විවාහ වෙලා මුල් කාලේහිටියේ මහත්තයාගේ මහගෙදරමයි. අපිට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. වැඩිමල් දුව අප්සරා. එයා උපන්නේ 1979 අවුරුද්දේ. දෙවැනි දුව ලක්මිණි උපන්නේ 1984 අවුරුද්දේ. ලොකු පුතා චාමිල් මධුශංක උපන්නේ 1988 අවුරුද්දේ. බාලම පුතා සචින්ත උපන්නේ 1990 අවුරුද්දේ. අපිට පස්යාල හන්දියේ කඩ පෙළක් තිබුණා. මහත්තයාගේ රස්සාවත් තිබුණා.කුඹුරු වැඩත් තිබුණා. ඒ කාලේ මමත් කුඹුරුවැඩ කළා. ඊට අමතරව වත්තේ පිටියේ රඹුටං, ගම්බිරිස් වගාකර තිබුණා.

ලොකු දුව ඉගෙන ගන්න හරිම උනන්දුයි. එයා තමන්ගේ වැඩ තනිවම කරගන්නවා පුංචි කාලේ ඉඳලාම. ලොකු දුව උසස් පෙළ සමත් වුණේ ලංකාවෙන්ම 28 වැනියාවෙමින්. දෙවැනි දුව ගම්පහ රත්නාවලියේ 6 පන්තියේ සිට ඉගෙන ගත්තේ. පුතා ගමේ පාසලෙන් ඉගෙන ගෙන ශිෂත්වය සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. බාල පුතා ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලට ඇතුළත් වුණා. දරුවෝ ඉගෙන ගන්න ගොඩාක් මහන්සි වුණා. අපි එයාලට අපට පුළුවන් දේ කරලා දුන්නා. දරුවන් තුන් දෙනෙක්ම වෛද්‍යවරු වීම ගැන මට හරිම සතුටුයි. බාල පුතා පොඩ්ඩක් සෙල්ලටම බරයි. නමුත් එයත් විභාග සමත් වුණා. පුතා ආසා කළේ නීතිය ඉගෙන ගන්න. පොඩි පුතා දැන් නීතිඥයෙක්. මටත් මහත්තයාටත් දරුවෝ ගැන හරිම ආඩම්බරයි.“

ඒ අම්මා සිය දරුවන් ගැන පවසන්නේ අපමණ සතුටකිනි. ඒ අම්මාටත් තාත්තාටත් ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු තිබුණේ නැත. තිබුණ එකම බලාපොරොත්තුව සිය දරුවන්ට ඉගැන්වීම පමණි.

“මම මගෙ දරුවෝ හතර දෙනා වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම කළා. ඒ අය අපට කවදා හෝ සලකයි ද නැද්ද කියලාවත් මමවත් බිරිඳවත් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ දවස් වල රැකියාවෙන් ලැබෙන මුදල් මදි. ඒ නිසා මම අමතර දේවල් කළා. අද මගෙ දරුවෝ ඉන්න තැන ගැන හිතලා මම සතුටු වෙනවා. ඒක මිල කරන්න බැරි සතුටක්. මගෙත් බිරිඳගෙත් එකම බලාපොරොත්තුව තිබුණේ අපේ දරුවන්ට හොඳටම උගන්න ගන්න එක. එයාලට එයාලගෙ පාරක යන්න ඇරලා අපි බලාගෙන හිටියා. . ඒ වගේ ම අපේ මුණුබුරු මිණිබිරියෝ හිතට සතුටක්. ලොකු දුවට විවාහ වෙලා ඉන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලක්ෂාන් සමඟ. ඔවුන්ටදුවලා දෙන්නෙක් ඉන්නවා. බාල දුව විවාහ වී ඉන්නේ වෛද්‍ය ඉන්ද්‍රජිත් සමඟ. ඔවුන්ට ඉන්නවා දුවයි පුතයි. ලොකු පුතාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. බාල පුතු විවාහ වී සිටින්නෙත් නිතීඥවරියක් සමඟ. ඇය මිහිරාණියමේ දරුවෝ අපට සම්පතක් . ඒ වගේම මගේ දරුවෝ මේ රටට සම්පතක්. දරුවන් වෙනුවෙන් අපමණ වෙහෙසුන ඒ තාත්තා පවසන් එසේය.

“මමත් පොඩි කාලේ ගියේ ඇල්ලලමුල්ල කණිෂ්ට විද්‍යාලයට. අපේ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් බොහෝ වෙහෙසුණා. අපිට කවදාවත් ඉගෙන ගන්න කියලා අම්මයි තාත්තයි බල කළේ නැහැ. අපිට අපේ අම්මයි තාත්තයි ගැන හරිම ආඩම්බරයි. ඔවුන් නිසයි අද අපි මෙවැනි තත්වයක ඉන්නේ“

පවුලේ වැඩිමහල් පුතු වන චාමින් පවසන්නේය.

“අපි හරිම එකමුතුයි. පුංචි කාලේ ඉදලම මොකක් හරි ප්‍රශ්නයක් ආවාම අපි එකට කතා කරනවා . ඒ කතා කරලා තමයි විසඳුම් හොයන්නේ . අම්මයි තාත්තයි අපි හතර දෙනයි හරිම එකමුතුයි. අපි විවාහ වුණා කියලා ඒ සමඟිය අපෙන් ගිලීහි ගිහින් නැහැ. මම ඉන්නේ දැන් වව්නියාව රෝහලේ. මල්ලියි මල්ලිගෙ බිරිඳයි තමයි හැමදාම මාව එහෙට ගිහින් ඇරලන්නේ. අපි කාර්යය බහුලයි තමයි. ඒත් අපි අම්මයි තාත්තයි ගැන නිතරම හොයලා බලනවා. ඉස්සර නම් සතියක් ගානේ අපි මහගෙදර එනවා. නමුත් කොරෝනා වසංගතයත් සමඟ අපි කාර්යය බහුල වුණා. සමහර වෙලාවට අපි අම්මයි තාත්තයි බලන්න ආවට ගෙදර රැඳෙන්නේ නැහැ. අපිට හැමදේටම වඩා වටින්නේ ඒ දෙන්නා. අපෙ අම්මයි තාත්තයි හරිම සමඟියි. කිසි දවසක ඔවුන් අතර වචන හුවමාරු වෙනවා දැකලා නැහැ. ඒ වගේම තමයි අපි හතර දෙනත් හරිම යාළුයි. අපි යාළුවෝ වගේ. “ සිය පවුල සහ එකිනෙකා අතර ඇති බැඳිම් එසේ යැයි අපට පැවැසුවේ ලක්මිණිය.

පවුලේ බඩපිස්සා වන්නේ සචින්තය. ඔහුට තම සොයුරු සොයුරියන් ගැන ඇත්තේ ආඩම්බරයකි. අම්මා තාත්තා ගැන ඇත්තේ නිමකළ නොහැකි ආදරයකි.

“ අම්මයි තාත්තයි අපි වෙනුවෙන් පුදුම විදිහට වෙහෙසුනා. මම පුංචිම කාලේ නම් මහ කම්මැලියි පාඩම් කරන්න. සෙල්ලමට තමයි වැඩි හිත තිබුණේ. නමුත් මම ශිෂත්වය පාසු වුණා. ඉන් පස්සේ ඉගෙනීම ගැන උනන්දුව වැඩි වුණා. ශිෂ්‍යත්ව සමත් වෙලා මම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළ් වුණා. නමුත් මම ආස කළ ක්‍රිකට් ක්‍රීඩාව නම් අතහැරියේ නැහැ. උසස් පෙළ සමත් වෙලා මම කොතලාවල විද්‍යාපීඨයට ඇතුළත් වුණා. මම නීතිය හැදෑරුවා. තාත්තා තමයි මට මේ අයදුම්පත් ගෙනැල්ලා හැමදේම සම්පුර්ණ කරලා දුන්නේ. ඇත්තම කිව්වොත් අම්මයි තාත්තයි නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ. මට මගේ අක්කලා දෙන්නා ගැන අයියා ගැන හරිම ආඩම්බරයි. ඒ කාලේ ගමකින් වෛද්‍යවරයෙක් බිහි වෙනවා කියන එක ලොකු දෙයක්. ඒ තුන්දෙනාම මිනිසුන්ට හරිම කරුණාවයි. මගේ ලොකු අක්කා අපේ පවුලට ලොකු ආශිර්වාදයක්. අද අපි හැමෝම සතුටින් ඉන්නවා. මගේ බිරිඳ මිහිරානි වගේම අපේ පවුලට එක් වූ අනෙක් අයත් හරිම හොඳයි. මගෙ අම්මයි තාත්තයි ගැන මගේ හිතේ තියෙන ගෞරවය ආදරය කවදාවත් කියා නිම කරන්න බැහැ.

කරුණානායක පවුලේ බාල පුතු නීතිඥ සචින් කරුණානායක පවසන්නේ එසේය.

සිය සොයුරියන් දෙදෙනා සහ අයියා තමන්ගේ ජීවිතයේ ඉදිරි ගමනට නිබඳවම පිටිවහලක වූ බවය.“මට මතකයි මම ඉස්සෙල්ලාම පාසල් ගිය දවස . එදා මාව පාලසට එක්ක ගෙන ගියේ තාත්තා. තාත්තා මාව පාසල ඇතුළු කරලා යනකොට මම තාත්තාට කිව්වා තාත්තේ පරිස්සමෙන් යන්න කියලා. මම තාත්තේ පරිස්සමෙන් යන්න කියලා කිව්වේ මගේ හිතට මොකක්දෝ අමුත්තක් දැනුණු නිසයි. මගෙ හිතට එදා ලොකු බයක් දැනුණා. තාත්තා එදා ආපහු යනවිට අනතුරක් 

සිදුවෙලා තිබුණා. කොහොම වුණත් මේ අනතුරෙන් පසු තාත්තා වසරක් පමණ එක තැන් වෙලා හිටියේ. තාත්තාට දිගටම බෙහෙත් කරන්න වුණා. අක්කලා දෙන්නා විශේෂයෙන්ම ලොකු අක්කා අපේ පවුලට ලොකු හයියක් වුණා. අම්මාගේ ඥාතීන් තාත්තාගේ ඥාතින් අප ගැන බැලුවා. අපි හැමෝම එක වගේ පාසලේ වැඩ වලට උනන්දු වුණත් අක්කලා අයියා පාඩම් කරපු දිහා මම බලාගෙන හිටියා. අයියාට පාඩම් කරන්න යද්දි ලොකු ප්ලෑන් එකක් තිබුණා. එයා හැමදෙයක්ම කළේ එයා විසින්ම හදාගත්ත කාලසටහනකට. චූටි අක්කා කියන්නනේ ඊට වෙනස් චරිතයක්. එයාට මොනවා හරි එක සැරයක් ඇහුවාම ඒක හොඳට මතකයි. එයා ඉගෙන ගන්න හැමදේම එකවර අල්ලා ගන්නවා. නැවත නැවත සිහිකරමින් එයා එයාගේ ඉගෙනීමේ කටයුතු කරගත්තා. ලොකු අක්කා ඊට වෙනස් . මම දැක්කේ ලොකු අක්කා හැමවිටම පාඩම් පොත සමඟ ඉන්නවා. ඇය අපවත් උනන්දු කළේ එහෙමයි. අක්කලා දෙන්නයි අයියයි කවදාවත් රණ්ඩු වෙනවා මම දැකලා නැහැ. එයාලා හරි සහයෝගයෙන් තමයි හැමදේම කළේ. අපේ ලොකු අක්කා නිසයි අද අපි හැමෝම මෙහෙම ඉන්නේ. අක්කා ඉගෙන ගෙන වෛද්‍යවරියක් නූනා නම් අපිත් මේ තරම් ඉහළට ඉගෙන ගන්න නොතිබුණා. අයියත් ගෙදර එන්නේ බොහෝම පරිස්සමට. ලොකු අක්කත් එහෙමයි. ඔවුන් අම්මයි තාත්තයි ගැන හිතන නිසයි ඒ.“ සචින් පවසන්නට වුයේ තම මව පියා ගැන සේම සිය වැඩිමල් සොයුරියන් දෙදෙනා ගැන හා සොයුරා ගැන ආදරයෙනි.

 

 

 

ඡායා -ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.