Wise Women සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ට කාන්තාවෝ

ජනවාරි 17, 2022

 

රටේ ආර්ථිකයට කාන්තා ශ්‍රම බලකාය නිසි පරිදි දායක කරගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාම වෙනුවෙන් දියත් කරන ලද wise woman ජාතික වැඩ සටහන නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නිපැයුම් අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මගපෙන්වීම යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර උත්සව ශාලාවේ දී පැවැතියේය. මෙහිදී ශ්‍රී ලාංකීය නාමය විවිධ ක්ෂේත්‍ර හරහා දේශීයව මෙන්ම ජාත්‍යන්තරය තුළ සනිටුහන් කළ කාන්තාවන් 10දෙනෙක් ඇගයීමට ලක් කරන ලදී.

 

මහාචාර්ය නීලිකා මලවිගේ

 

සෑම සාර්ථක මිනිසකු පිටු පස ම කාන්තාවක සිටින්නීය. ඇය ගේ හැකියාවෙන් නුවණින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් මිනිසුන් පිටුපස නො ව ඉදිරියෙන් ද ඇය සිටින්නීය.

ඒ වගට ලෝක වනිතා ඉතිහාසයේ වාගේම වර්තමානයේ ද සාක්ෂි ඕනෑතරම් තිබෙයි. වයිස් වුමන් ( wise woman ) නමින් හා හා පුරා කියා ජාතික වැඩ සටහනක් ඇරැඹුණේ ද අපේ රටේ එවැනි පරමාදර්ශී වනිතාවන් ගැන ලොවට ම කියා පාන්නට ය. කාලීන අවශ්‍යතාවක් වන මේ වැඩ සටහනේ ආරම්භක පියවරේදීම සම්මානයක් දෝතට ගැනීමට තරම් කුසලතා පූර්ණ වූ එක් වනිතාවක් වන්නේ මහාචාර්ය නීලිකා මලවි ගේය. ඇය පර්යේෂණ කරන්නියකි. විද්‍යාඥවරියකි. විශේෂඥ වෛද්‍යවරියකි. කෝවිඩ් - 19 වසංගතය සමඟ ඇය ගේ නම දොරින් දොර රැඳුණු නමක් විය. ඇය වර්තමානයේ ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ ප්‍රතිශක්තිවේදය හා අනුක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියයි. වසර 2008 සිට ම නීලිකා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ බාහිර කථිකාචාර්යවරියකි. එපමණක් නොව එරට රෝයල් කොලීජියේ කායික රෝග විශේෂඥයන් ගේ සාමාජිකාවකි. රෝයල් කොලීජියේ ව්‍යාදිවේදීන් ගේ සංගමයේ අධි ශිෂ්‍යත්වධාරිනියකි. ඇය ගේ නැණ මහිමයෙන් විපුල පල නෙලා ගන්නා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් ආයතන, කමිටු, කණ්ඩායම් ගණනාවකි.

මේසා විසල් සේවාවක් ලබා දෙන වෘත්තීය ගමනේ ඇය ලද සම්මාන ගණන ද විශාලය.

ජෝශප් නල්ලයියා ආරුමුගම් අනුස්මරණ සම්මානය ( Joseph Nalliah Arumugam Memorial Award ) , තෙවැනි ලොව තරුණ විද්‍යාවේදීන්ට පිරිනමන ඇකඩමි සම්මානය ( Third World Academy Science (TWAS) young scientist award ), විශිෂ්ට ම වෘත්තීය කාන්තාවන් 50 සම්මානය ( Top 50 Professional and Career Woman Awards in 2020 ) ඒ අතරින් සුවිශේෂීය. වයිස් ජාතික සම්මානය ඇය ලද අලුත් ම සම්මානයයි.

වෘත්තීය සාර්ථකත්වය මහාචාර්යවරිය සිය යුග දිවියට බාධාවක් කර ගෙන නැත. වෛද්‍ය විද්‍යාවත් විද්‍යාවත් ඇය ගේ ජානමය උරුමයකි.

ශ්‍රී ලංකා සමුද්‍ර ජීව විද්‍යඥ ආශා ද වොස්

 

 

ශ්‍රී ලංකා සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් කියන්නේ ලොකු පෙරළියක් ඇති කරපු කාන්තාවක්.

ඇය ශ්‍රී ලංකාවේ ලාබ නොලබන පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන සංවිධානයේ නිර්මාතෘවරියද වනවා. ඇය දශක ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී සංක්‍රමණ නොවන නිල් තල්මසුන් ආරක්ෂා කිරීම සඳහා වැඩකටයුතු කර තිබෙනවා. වසර ගණනාවක් පුරා ඇයගේ වැඩකටයුතු ක්‍රමානුකූලව ඉහළ නැංවීමෙන් පසු, නවතම ජයග්‍රහණය ඇයට ලැබෙන්නේ පසුගිය නොවැම්බර් මාසයේ Sea Hero of Scuba Diving Magazine විසින් ඇයව තෝරාගැනීමත් සමඟයි.

සාගර, ගල්පර සහ සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට සටන් කරන ස්කූබා (Scuba) කිමිදුම්කරුවන්ගේ සුවිශේෂී උත්සාහයන් හඳුනා ගැනිමින් ඔවුන්ව ඇගයීමට ලක්කිරීමේ අරමුණින් ස්කූබා ඩයිවින් මැගසින් විසින් ඇයව 2020 සාගර වීරවරිය ලෙස නම් තැබුවා.. ඒ අනුව ඔවුන් සෑම මසකම සහ සෑම වසරකම කිමිදුම්කරුවෙකු නම් කරනු ලබන අතර ආශා ද කීර්තිමත් කිමිදුම්කරුවන් 30 දෙනා අතරට තේරීපත්වී ‍තිබෙනවා. එමෙන්ම බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලයිස්තුවට ඇයත් නම් වී තිබුණා. කාන්තාවන් 100ක් අතරින් 23 වැනි ස්ථානයට පත්ව තිබුණා.

ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ කාන්තාවන් 10 දෙනා අතරට ඇයත් තේරී පත් වූවා. ඒ පිළිබඳ ඈ මෙසේ අදහස් දක්වා සිටියා.

ඒ දිහා බැලුවම මට හැම වෙලාවෙම දැනුනේ ඒක මං මෙතෙක් කරපු දේවල් මට නැවත මතක් කරනවා වගේ හැගීමක්. ඒක ලොකු කාලයක ඉදන් දුවපු මැරතන් එකක් වගේ. ඉතාම වේගයෙන් මං කාලයක් පුරාවට වැඩ කරගෙන යද්දී මාව තව තවත් දිරිමත් කරන්න ලැබුණු සම්මානයක් මෙය. මට තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. මෙය කාන්තාවක් දිරිමත් කළ හැකි සම්මානයක්.

2003 වසරේ සිට මේ දක්වාම මං ලංකාවට වැඩ කළා. විද්‍යාව පැත්තෙන්, සාගරය පැත්තෙන්, එතොකොට සමුද්‍ර ජීවීන් රැක ගැනීම වෙනුවෙන්. අවුරුදු ගානක් මම ඒ දේවල් මේ සම්මානයට හේතුවක් වෙන්න ඇති. ඉතිං මගේ වැඩ කටයුතු අගය කරලා මෙවැනි දෙයක් කරපු එක ගැන මම ඉතාම සතුටු වෙනවා.

 

හේමාස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනි කස්තුරි චෙල්ලරාජා විල්සන්

 

ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ මුල් පුටු සියල්ලම පාහේ හොබවන්නට මෙතෙක් කාලයක් සමත් වූයේ පුරුෂ පාර්ශ්වය පමණි.

 

ඒ තත්ත්වය වෙනස් කරමින් මෙරට දැවැන්ත ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක ධූරයට පත්වන්නට පසුගිය වසරේදී කාන්තාවකට හැකියාව ලැබිණි. ඇය කස්තුරි චෙල්ලරාජා විල්සන්. හේමාස් සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වූ කස්තුරි එම ධූරයට පත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වන්නීය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරින්ගේ කළමනාකරණ ආයතනයෙන් මෙන්ම හාවර්ඩ් ව්‍යාපාර පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය 1989 වසරේ ශ්‍රී ලංකා පැසිපන්දු ජාතික කණ්ඩායමේ නායිකාවයි.

පුහුණු ගණකාධිකාරිවරියක, විගණන කළමනාකාරිනියක, මූල්‍ය පරිපාලකවරියක ආදී වශයෙන් ආයතන කිහිපයකම කටයුතු කළ කස්තුරි හේමාස් සමුහ ව්‍යාපාරයට එකතු වන්නේ 2002 වර්ෂයේදීය. ඒ මේ සමාගමට අනුබද්ධ HemTours ආයතනයේ මූල්‍ය සාමාන්‍යාධිකාරිවරිය ලෙසිනි. ඉන්පසුව මූල්‍ය අධ්‍යක්ෂ, ප්‍රධාන ක්‍රියාවලි නිලධාරි (CPO), කළමනාකාර අධ්‍යක්ෂ ආදී තනතුරු කිහිපයක් හොබවමින් අනතුරුව මේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්විණි.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපතිධූරය ද හෙබ වූ කස්තුරි චෙල්ලරාජා මේ තනතුරට තේරී පත්වුණු පළමු කාන්තාව වන්නීය. එමෙන්ම ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකාව වන ඇය වාණිජ මණ්ඩලයේ ආර්ථික, මූල්‍ය හා ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ අනුකමිටුවේ ද සාමාජිකාවකි.

උපදේශකවරියක, අභිප්‍රේරණ සම්පත් දායිකාවක, සමාජ ක්‍රියාකාරිනියක, යෝග්‍යතා උපදේශිකාවක, සාමය හා සමගිය වෙනුවෙන් පෙනී සිටින්නියක වූ කස්තුරි චෙල්ලරාජා මෙරට බලවත්ම හා බලගතු කාන්තාවන් දොළොස්දෙනා අතරට ද නම් කෙරිණි.

 

 තාක්ෂණ ඉංජිනේරුවරිය මෙලනි නිලන්ති මහාආරච්චි

 

 

නාසාහි ආයතනයේ Jet Propulslon රසායනාගාරයේ තාක්ෂණ ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන මෙලනි මහාආරච්චි අඟහරු 2020 රොබෝ යානය නිර්මාණය කළ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවකි.

ඇය කොළඹ මධ්‍යම පාන්තික පවුලක දරුවන් තිදෙනාගෙන් එකම දියණියයි. කුඩා කාලයේ පටන්ම ඇය ලොකු ලොකු සිහින දකින්න ප්‍රියකළ චරිතයකි. එහෙත් පවුලේ වපසරිය දන්නා ඇය ගුවන් නියමුවරියක් හෝ ඉංජිනේරුවරියක්වීමේ සිහිනය අතහැර දැමුවේ තම පවුලේ ආර්ථිකය ගැන දන්නා නිසයි.

සහජ හැකියාවක් උපතින්ම උරුම වූ මේ දිරිය දියණිය තුළ නොමැරෙන අධිෂ්ඨානය පැවැතියේ පාසල් වියේ පටන්මයි. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මෙලනි බම්බලපිටිය ශුද්ධ වු කන්‍යාරාමයට ඇතුළත් වුයේ උසස් පෙළ හැදෑරීමටයි. ඇය විවාහයෙන් පසුව 2003 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයට යන්නේ ඇයගේ සැමියා වන රන්මාල් සහ දෙහාන්, ෂෙහාරා යන දරුවන් දෙදෙනා ද සමඟිනි. දෙදරු මවක් වූ ඇය තමාගේ ගිළිහෙමින් තිබූ සිහින බලාපොරොත්තු ඉටුකර ගන්නට වයස හෝ මාතෘත්වය බාධාවක් නොවන බව වටහා ගනිමින් නැවතත් ඉගෙනුම ආරම්භ කළේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉන්ජි සැමුවාලි ඉංජිනේරු පාසලට ඇතුළත් වීමෙනි.

කුඩා කළ පටන් දුටු සිහිනය ඇය වසර හතරකින් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කළේ ගුවන් යානා ඉංජිනේරු ක්ෂේත්‍රයට ද පිවිසෙමිනි. නාසා ආයතනයේ ශිෂ්‍ය පරියේෂිකාවක් ලෙසද කටයුතු කළ ඇය කීර්තිමත් ඇමෙරිකානු ඉංජිනේරු සංගමයේ පවා පැසසුමට ලක් විය. ඇමෙරිකානු ඉංජිනේරු සංගමය විසින් ශ්‍රී ලාකේය කාන්තාවකට ගෞරවය පුදකළ ප්‍රථම අවස්ථාව හිමිවන්නේ ඇය නිසයි.

යාන්ත්‍රික ඉංජිනේරුවරියක් ලෙස කැලිෆෝනියා ප්‍රාන්තයේ සේවය කළ ඇය Spacex ආයතනයට එක්වන්නේ නාසා ආයතනයට නොදෙවැනි සේවයක් කරන දැවැන්ත සේවා ජාලයක ප්‍රධාන ඉංජිනේරුවරිය ලෙසිනි. ඇයගේ නොපසුබට උත්සාහ හා අභියෝග ඉදිරියේ නොසැලී සේවය කළ නිසාම පඋල්කම් නයිට් රොකට් යානයේ එන්ජිම නිර්මාණය කිරීමටද හැකි විය. එසේම ඇය යාන්ත්‍රික ගුවන් යානා ගණනාවක පරිපථ නිර්මාණයටත් දායකවීමට අවස්ථාව හිමිවන්නේ ඇයගේ සහජ හැකියා නිසාමයි.

පසුව පැල්කම් නයින් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරිය බවට ද පත් වීමට තරම් දක්ෂ වූ ඇයට නාසා ආයතනයේ සේවයට එක්වීමට හැකියාව හිමිවූයේ ඉන් පසුවය. 2015 නාසා ආයතනයට එක්වන ඇය අඟහරු ග්‍රහයා වෙත යැවූ මාස් හෝවර් යානය නිර්මණයට දායක වීම ලාංකීය අපට ද විශාල අභිමානයකි.

 

 

පියාසර නිලධාරිනී පවිත්‍රා ගුණරත්න

 

 

 

කාන්තා ශ්‍රම බලකාය රටේ සංවර්ධනය කරා ගෙන යෑම වෙනුවෙන් බිහි වූ 'Wise Woman' ජාතික වැඩසටහනේ දී ශ්‍රී ලාංකේය නාමය ජාතික හා ජාත්‍යන්තරයේ සනිටුහන් කිරීම වෙනුවෙන් සම්මානනීය වූ ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරිනි පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න යි.

 

'Most Outstanding Performance top 10 Ladies of Sri Lanka' ලෙස තමාගේ වෘත්තියෙන් ඉහළට ගිය කාන්තාවන් ඇගයීමට ලක් කළ අවස්ථාවෙදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මාවත් තෝරාගෙන තිබුණා.

මේ දක්වා ආ ගමන දෙස මතකය ආවර්ජනය කරද්දි සියුම් සතුටක් දැනෙනවා. ගුවන් නියමුවරියක් වීමේ සිහිනය තිබුණේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටන්මයි. පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළු වුණා. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරු මට සරසවි වරම් ලබන්න ලකුණු මදි වුණා. දෙවැනි වරටත් පෙනී සිටින්න සූදානමින් ඉන්න විට තමයි ගුවන් හමුදාවටත් අයැදුම්පතක් දැම්මේ.

එදා හතළිහක් පමණ පිරිසගෙන් අටදෙනෙක් තෝරා ගත්තා. ඒ අතරට මාත් හිටියා. 2017 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟින් එකතු වුණේ සම්මුඛ පරීක්ෂණ හතකට පමණ පෙනී සිට ඒවායින් සමත් වෙලා. දියතලාවේ මාස 6ක්, ත්‍රිකුණාමල වරායේ තවත් මාස කිහිපයක් පුහුණුවීම් කරද්දි අපි හතරදෙනකුට ඉන්දියාවේ පුහුණුවීම් සඳහා අවස්ථාව ලැබුණා. අදාළ පියාසර පැය ගණන සාර්ථකව අවසන් කරන්න ලැබුණා.

පෙරළා මව්බිමට විත් රත්මලාන ගුවන් තොටුපළේ මාස 6ක් පමණ 'Advance Flying training' ලැබුවා. 2020 ජූලි මාසයේ පුහුණුවීම් අවසන් කොට මෙහෙයුම් සඳහා සුදුසුකම් ලැබුවා. ඉන්පසු තවත් වසරක පමණ කාලයක් චයිනාබේ හි පාඨමාලා කාලයක් නිම කළා. දැන් නැවතත් රත්මලාන ගුවන් තොටුපළේ 8 වැනි බලගණය සඳහා එක්වීමට නියමිතව සිටිනවා.

මගේ සිහිනය පසුපස ඉන්නේ අම්මා, තාත්තා, නංගි යන පවුලේ අයයි. මගේ පවුලේ හමුදාමය පසුබිමක් නැහැ.

තාරුණ්‍යයේ ඉන්න යුවතියක් ලෙස මම අද වෘත්තීමය වශයෙන් ඉන්න තැන පිළිබඳ අවිහිංසක සතුටක් භුක්ති විඳිනවා.

 

 

පියාසර නිලධාරිනී රංගනා වීරවර්ධන

 

 

 

තොටිල්ල පදවන අත අද වනවිට පිරිමින් හා උරෙනුර ගැටෙමින් බොහොමයක් ක්ෂේත්‍රයන් නියෝජනය කරයි. රටේ ආර්ථික ප්‍රගමනයට දායක වුණ ඇය ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරිනියක ලෙසින් 'Wise Woman' ජාතික වැඩසටහනේදි ජනපතිත අතින් සම්මානනීය වූවාය.

රංගනා වීරවර්ධන නම් වූ ඇය තවමත් විසිහතරවන වියේ පසුවන්නියකි. “එදා මේ වැඩසටහනට සහභාගි වුණත් අපට සම්මාන තිබේවි යැයි සිතුවේ නැහැ. අපිව ඇගයුමට ලක්කළාට 'Wise Woman' ජාතික වැඩසටහන මෙහෙයවූ කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු පියාසර නිලධාරිනියන් දෙදෙනාගෙන් කෙනෙක්.

පියාසර නිලධාරිනියක් ලෙස මම මේ ඉටු කළේ මගේ මව සහ පියාගේ සිත් සතුටු කිරීමක්. ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙන් අකුරු කරපු මං පහේ ශිෂ්‍යත්වය සමත්වෙලා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ 9ම අරගෙන උසස් පෙළ සඳහා ගම්පහ රත්නාවලී බාලිකාවට ඇතුළු වුණා. විද්‍යා විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ හදාරපු මට ‘බී‘ සාමාර්ථ 3ක් ලැබුණා. ඒත් එක්කම වගේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයැදුම්පතක් දැම්මා.

මගේ අම්මයි, තාත්තයි දෙන්නම ගුවන් හමුදාවේ සේවය නියුතුව සිටි අය. මගේ අක්කා ගුවන් හමුදාවේ දන්ත වෛද්‍ය අංශයේ සේවය කරනවා. අයියා නම් විදෙස්ගතවෙලයි ඉන්නේ.

එකම අරමුණකින් ඉඳලයි මම මේ ගමන ආවේ. අපිට ඉන්දියාවේ පුහුණුව සඳහා ශිෂ්‍යත්වයක් ලැබීම විශේෂ කාරණයක් වුණා. අපි හතර දෙනෙක් ගියත් මා ඇතුළුව තව එක් නිලධාරිනියකට විතරයි සාර්ථකව පුහුණුව අවසන් කරගන්න පුළුවන් වුණේ. අහසේ තනිවම ගුවන් යානායක් ගෙන යෑම විශාල අභියෝගයක්. ඉන්දියාවෙදි තනිවම ගුවන් යානයක් පදවාගෙන යන්න දුන්න මුල්ම අවස්ථාවේ මම අසමත් වුණා. හිතට දිරිය ගත්තා. හැමෝගෙම ආශිර්වාදය මැද්දේ එදාම හවස නැවතත් පියාසර කළා. එය සාර්ථක වුණා.

අභියෝග මැදින් ඉලක්ක සපුරාලීමට යන ගමනේ සතුට, සොම්නස අපට ම අත්දැක ගන්න පුළුවන්.

මම කමිෂන් වෙද්දි පෙරඩ් එක කමාන්ඩ් කළා. එදා අම්මා, තාත්තා නිහතමානී ආඩම්බරයක් වින්දා. මම කමාන්ඩ් කරද්දි ඒ අය සතුටට අඬනවා දැක්කා. ඒ හැඟීම ඒ අවස්ථාව මට කවදාවත් අමතක කරන්න බැහැ.

 

අන්තර්ජාතික බොක්සිං විනිසුරු කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක

නෙල්කා ශිරෝමාලා

 

 

 

 

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් දසදෙනා අතරට තේරී පත්වුණු ඇය ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක අන්තර්ජාතික බොක්සිං විනිසුරු නෙල්කා ශිරෝමාලා.

 

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග තීරක සහ විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ නෙල්කා ශිරෝමාලා ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කළ ශ්‍රී ලාංකේය ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එකතු වන්නීය. එමෙන්ම ඔලිම්පික් තරගාවලියක බොක්සිං අවසන් තරග දෙකක් විනිශ්චය කළ මුල්ම කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙසින්ද එම වාසනාව හිමිකරගත් ලොව ප්‍රථම කාන්තාව බවට පත්වන්නී ද ඇයයි.

1997 වර්ෂයේ කාන්තා උප පොලිස්පරීක්ෂක ලෙසින් ශ්‍රී ලංකා පොලිස් සේවයට එකතුවුණු නෙල්කා 2016 වර්ෂයේ දී කාන්තා පොලිස් පරික්ෂක වශයෙන් ද 2019 වර්ෂයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ලෙසින් ද උසස්වීම් ලබා ඇත.2016 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාලයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ නැගෙනහිර ටිමෝරයේ සාම සාධක නිලධාරිනියක් වශයෙන් ද රාජකාරි කළ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාවේ පදක්කම්ලාභි නිලධාරිනියකි.

2001 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රථම කාන්තා බොක්සිං කණ්ඩයමේ සාමාජිකාව වූ ඇය ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම කාන්තා බොක්සිං ක්‍රීඩිකාවයි. දැල්පන්දු, බැඩ්මින්ටන් සහ බොක්සිං ක්‍රීඩාව සඳහා පොලිස් වර්ණලාභි නිලධාරිනියක වූ නෙල්කා 1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතම වෙඩි තබන්නාට හිමි සම්මානය ද දිනාගත්තීය.

එමෙන්ම 2011 වසරේ සිට මේ දක්වා දේශීය මෙන්ම ජාත්‍යන්තර විවිධ බොක්සිං තරග විනිශ්චය කරනා ඈ 2017 වසරේ දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරියට හිමි සම්මානය ද ලබා ගත්තීය.

 

ලංකාවේ පළමු විධායක සූපවේදිනි

ඉයන්ති ගුණවර්ධන

 

 

ඇය සූපවේදිනියකි.  ලංකාවේ පළමු විධායක සූපවේදිනිය වන්නේ ද ඇයයි. Win stone hotel school හි ආරම්භකයා වන්නේත් කළමනාකාර අධ්‍යක්ෂිකා ධූරය දරන්නේද ඇයයි. Wise Women වැඩසටහනේදී ඇයත් සම්මානලාභිනියක් වුණා.

 

Win-Stone Hotel School ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පාඨමාලා රාශියක් පිරිනමනු ලබන අතර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව වැනි රටවල විදේශීය ආයතන ගණනාවක් සමඟ අනුබද්ධ වේ.  මෙම හවුල්කාරිත්වයන් මගින් ශ්‍රී ලාංකික සිසුන්ට ඔවුන්ගේ වැඩසටහන් දේශීයව ලියාපදිංචි කර අවසන් කිරීමට හෝ ඔවුන්ට ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ මූලික වැඩසටහන් සම්පූර්ණ කිරීමට සහ ඔවුන්ගේ වැඩසටහන් වල අවසාන අදියර සඳහා විදේශගත වීමට තෝරා ගත හැකිය.

දැනට සිසුන් 250 කට අධික පිරිසකට පාඨමාලා පිරිනමන Win-Stone හි, කුකරි, බේකරි යනාදී අංශවල සහතික මට්ටමේ පාඨමාලා පිරිනමයි. ආයතනය විසින් වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා වසරකුත් මාස අටකින් අවසන් කළ හැකිය.

උසස් ඩිප්ලෝමාව වැනි පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට ද හැකි වන අතර, එය ශිෂ්‍යයාට ඉක්මනින් සුදුසුකම් ලබා ගැනීමට සහ ආයතනය සමඟ තමන් කැමති වෘත්තියකට සුමට සංක්‍රමණයක් අත්විඳීමට උපකාරී වේ.  සහාය.  වින්-ස්ටෝන් හෝටල් පාසලට බඳවා ගැනීමේ අංශයක් ද ඇති අතර එය උපාධිධාරී සිසුන්ට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නෞකාවන් සහ AIDA, P&O Cruises, Princess Cruises සහ Costa Cruises වැනි සමාගම්වල රැකියා සඳහා අයදුම් කිරීමට සහාය වේ. පසුගියදා wise women වැඩසටහනේදී ඇයත් සම්මානලාභිනියක් වුණා. ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වූවා. මේ සම්මාන ලැබෙන්න ඇත්තේ මම සංචාරක කර්මාන්තයට ලබා දෙන දායකත්වයට සහ wine stone hotel school හරහා නව සූපවේදීන් බිහිකර ඔවුන්ට නව දොරටු විවිර කර දීමට අවස්ථා සලසා දෙන නිසයි. එවගේම ලංකාවේ බොහෝ දරුවන් A/L, O/L වලින් පසු කළ යුත්තේ කුමක් ද කියා නොදැන එතැනින්නම අධ්‍යාපනය අවසන් කරනවා. එයට හේතුව නිසි මඟපෙන්වීමක් නොමැතිකම. මගේ හොටෙල් පාසලෙන් ඔවුන්ට ළඟා විය හැකි හොඳම තැනට යන්න අවස්ථාව සලසනවා. අද කාලේ කාන්තාව ශක්තිමත්. ලංකාවට විදේශ විනිමය ගෙන එන්න වැඩි වශයෙන් දායක වෙන්නේ අපේ කාන්තාවන්. ඉතිං මේ හොටෙල් ක්ෂේත්‍රය කියන්නේ කාන්තාවන්ට ඉතා සුදුසු ක්ෂේත්‍රයක්. අද වන විට මම දරුවන් 5000කට වැඩි පිරිසක් පුහුණු කරලා තිබෙනවා. ඔවුන් විවිද රටවල සේවයේ නිරත වෙනවා. මමත් මේ ක්ෂේත්‍රයට ආවේ අවුරුදු 18 දී. හෝටල් ක්ෂේත්‍රය තුළදී කාන්තාව ඉතා සුරක්ෂිතයි. ඉතිං මේ ලැබුණු සම්මානය ගැන මට ඉතාම සතුටුයි.

 

අභ්‍යවකාශ ඉංජිනේරුවරිය නිපුනී කරුණාරත්න

 

 

 

අභ්‍යවකාශ ඉංජිනේරුවරියක් ලෙස නිපුනී ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය නාමය ඉහළටම ඔසවා තැබූ දිරිය දියණියකි. ඇය මේ වන විට සේවය කරමින් සිටින්නේ ලොව අංක එකේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන එංගලන්තයේ රෝල්ස් රොයිස් සමාගමේ සමාගමේ කළමනාකාරිනියක් ලෙසිනි.

 

වයස අවුරුදු 16 දී පමණ අධ්‍යාපනය සඳහා එංගලන්තයට පිටත්ව යන ඇය මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයෙනි. රද්දොළුගම ගනේපොළ උපත ලැබූ ඇය එංගලන්තයේ බෘනාලි විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ ගුවන්යානා තාක්ෂණය පිළිබඳ හැදෑරීමේ අපේක්ෂාවෙනි. එලෙසින් තම ගමන්මග සාර්ථක කරගනිමින් ගුවන් යානයකට කෘත්‍රිම බුද්ධිය බද්ධ කිරීම සඳහා වූ විශාල ව්‍යාපෘතියකට දායකවන නිපුනී රෝල්ස් රොයිස් සමාගමේ විශාල කාර්යයක් ඉටු කරන ඉංජිනේරුවරියකි. ගුවන් යානා නිපදවීම පිළිබඳ නිපුණත්වයක් උසුලන නිපුනීට උසස් වීමක්ද එම ආයතනය මඟින් පිරිනැමිනි. ඇමෙරිකාවේ ඇට්ලන්ටා හි පිහිටි ලොව විශාලතම ගුවන්යානා එන්ජින් නිපදවන ආයතනය වන ඩෙල්ටා ටෙක් කර්මාන්තශාලාව ඇයගේ දක්ෂතාවයට හොඳම සාක්ෂියකි. ඩෙල්ටා ටෙක් ආයතන ඉදිකර ඇත්තේද ඇය විසින් ලබා දුන් තාක්ෂණික දැනුම හා නායකත්වය නිසයි.

 

 

තිලන්කා අබේවර්ධන

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ ප්‍රථම කාන්තා සභාපතිනියි

 

 

 

මහරගම උපත ලැබූ තිලන්කා අබේවර්ධන මහත්මිය මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙනි. පාසල් කාලයේ පටන් ම විවිධ ක්ෂේත්‍ර රැසක නිරත වූ ඇය උසස් අධ්‍යාපනය සදහා තෝරා ගනු ලැබුවේ තොරතුරු තාක්ෂණය හා අලෙවිකරණයයි.

උපාධිය ලබාගැනීමෙන් පසුව තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වූ ආයතන කිහිපයක සේවය කරන ඇය මේ වන විට Microsoft ආයතනයේ අග්නිදිග ආසියාවේ රටවල් නවයක අලෙවිකරණ හා මෙහෙයුම් ආයතනය ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. ඊට අමතරව ඇය ශ්‍රී ලංකා අලෙවිකරණ ජාතික ආයතනයේ පළමු කාන්තා සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ ගෞරවණීය සේවයක් කරමිනි.

එක් දරු මවක් ද වන ඇය තොරතුරු තාක්අෂණවේදය පිළිබඳ විද්‍යාවේදිනියකි. එසේම ව්‍යාපර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් ද ඇය අන්තර්ජාතික වශයෙන් රටවල් රැසක් සමඟ ගනුදෙනුකරමින් ශ්‍රී ලාංකීය නාමය ලොව බබලවන්නට විශාල දායකත්වයක් දක්වන දක්ෂ කාන්තාවකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.