දේශීය ආහාර රටාවට පෙම් බැඳි නූතන ගෘහණියක්

- තිලානි විතානගේ
ජනවාරි 24, 2022

 

ලෝකය නෙක වර්ණ එක්කරමින් සිත්තරකු ඇඳි අපූර්වතම සිත්තමකි. මේ සිත්තමේ හැඩතල අතර රැඳුණු ජීවි මිනිසුන් ගේ ලෝකය ද පුදුමාකාර ය. වෙනස් ම විදියකට ලෝකය දකිමින් ජීවත්වන අරුමැසි පුද්ගලයන් නිසා සෙසු අයට ද ධනාත්මක සිතුවිලි පහළ වී ජීවිතය දෙස අලුත් කෝණයකින් බලන්නට මං සලසයි. එවැනි අරුමැසි හිතැත්තියන් සොයා යන ගමනක ඇරැඹුමයි මේ.....

කාලය ඉගිලී ගිහින් ලෝකය වෙනස් වෙලා. අපි දැන් ඉන්නේ 2022 අවුරුද්දේ. අවුරුදුවලින් කාලය මොනතරම් ගෙවී ගියත් මවක්, බිරියක් හා ගෘහණියක් යන තුන්ඈඳුතු භූමිකාවන්ගෙන් ගැහැනිය සතු යුතුකම් හා වගකීම් කිසි දිනෙක වෙනස් වෙන්නේ නැහැ. ඒ භූමිකාවන් නිසි ලෙස ඉටුවන්නේ නම් එය පවුලේ මෙන්ම සමාජයේ යහපැවැත්ම තහවුරු කරයි. පවුලක බැඳීම ශක්තිමත් වන්නේ මහමෙරක් තරම් ඉහිලුම් දරාගත හැකි ගැහැනියක සිටින විටය.

යහපත් පවුලක්, යහපත් මවක් මෙන්ම සමාජයට හා ඇසුරු කරන්නන්ට යහපතක් ම උදාකරන ගැහැනියක වන්නට ඔබත් අදිටන් කරගන්නේ නම් හෙට දිනය නිසැකවම ඔබට සතුට රැගෙන ඒවි.

එවැනි ගැහැනියක ගැන අපි කතා කරමු. ඈ තිලානි විතානගේ. හැදූ වැඩූ මව්පියන්ට, සැමියාට, දූදරුවන්ට, හිතමිතුරන්ට හා ඉගෙන ගත් පාසලට ද ඈ ආඩම්බරයකි.

රැකියාවක් නොකරමින් වුවද නිවෙසේ වැඩ කටයුතු කරන්නට පැය 24 මඳි යැයි මැසිවිලි නඟන කාන්තාවන්ට ඈ දෙන්නේ අපූර්ව පූර්වාදර්ශයකි. මහඟු ගුණ දෙන එහෙත් අපෙන් ඈත් වී යන දේශීය ආහාර කලාවට පණ දෙන්නට වෙල් දෙණිවල ඇවිදිමින් අපි නොදන්නා කැලෑ කොළ, මල්, පල සොයා ඇය ඇවිද යයි. ඇයට සිය පවුලේ පෝෂණය වෙනුවෙන් රසවත් ආහාරපාන සකසා දෙන්නට වේලාව ඇත. නිවෙසේ වැඩ කටයුතු කරගන්නට වෙලාව ඇත. එපමණක් නොව සිය යහළු යෙහෙළින් සමඟ සතුටින් කල්ගෙවන්නට ද වෙලාව තිබේ. ලද ඇසිල්ලක විනෝද ගමනක් යන්නට ද ඇගේ ජීවිතයෙන් වෙලාව සොයාගත හැකියි. ඒ අතර ඈ සොයා දැනගත් දේශීය ආහාර වට්ටෝරු ඇතුළත් පොතක් සකසන්නට ද හැකි වී තිබේ. ඇය සිය උත්සාහයෙන් ලබාගත් දැනුම තරුණී රසාර අතිරේක වෙතින් ඔබටත් බෙදා දෙයි.

නිකම්ම නිකම් ජීවිතය ගෙවී යන්නට නොදී මෙලෙස ඵලදායීව ජීවිතය ගෙවන ඇගේ වතගොත විමසා බලන්නට සිතුවේ ඒ තුළින් තරුණී පාඨක ඔබට ද ජීවිතය කළමනාකරණය කරගන්නට පුංචි හෝ මඟ පෙන්වීමක් ලද හැකි බව සිතුණු නිසාවෙනි.

තවත් නොබෝ දිනකින් රූපවාහිනී නාළිකාවක් මඟින් දේශීය ආහාර පාන සකසන ආකාරය පිළිබඳ දැනුම බෙදා දෙන්නත් ඔබ සූදානම්. ඔබ දේශීය ආහාර කලාවට යොමු වුණේ කොහොමද?

කෑම හදන්න තියෙන ආසාව නිසාම මගේ අම්මා මට වයස 16 දී විතර ශාන්තා මායාදුන්නේ මහත්මියගේ කුකරි පංතියකට දැම්මා. ඒ නිසා විවාහ වෙනකොට ආහාර සැකසීම පිළිබඳ සාමාන්‍ය දැනුමක් තිබුණා. විවාහ වුණාට පස්සේ මං නැන්දම්මා එක්කයි හිටියේ. එතකොට මට අවුරුදු 20යි. ඇය තමයි මට දේශීය ආහාර සැකසීමේ දැනුම ගොඩක්ම ලබා දුන්නේ. විශේෂයෙන්ම ගමේ කෑම වර්ග සකසන දැනුම. ඒ වගේම මගේ සැමියාගෙන් මේ සඳහා ලැබෙන්නේ සුවිශේෂී සහායක්. ඇත්තටම ඔහු තමයි අදටත් අලුත් අදහස් දීලා අලුත් අලුත් දේශීය කෑම බීම හදන්න උනන්දු කරවන්නේ. සැමියා නිර්මාංස නිසාම මාත් දේශීය ආහාර රටාවට ඉබේම හුරු වුණා. මම සකසන කෑම බීම දකින මගේ හිතවතුන් නොදන්නා කෑම ගැන මට කියනවා. ඒ වගේම සමහරු මේ කෑම සකසන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගන්නත් උදව් කරනවා. වසවිස නැති මේ ආහාර රටාව අපේ සෞඛ්‍යය රැකගන්න බෙහෙවින් ම උපකාර වෙන නිසා අපි හැමෝම දේශීය ආහාරපානවලට හුරුවෙනවා නම් ලෙඩ රෝග හුඟාක් අඩුකරගන්න පුළුවන්.

ඔබ දේශීය ආහාර වට්ටෝරු ඇතුළත් පොතක් සකසනවා. පොතක් කරන්න අදහසක් ආවේ ඇයි?

මං දැන් අවුරුදු 26ක ඉඳන් විවිධාකාර කෑම සකසනවා. පසුකලෙක ‘තිලාගේ කෑම පිටුව' කියලා ෆේස්බුක් පිටුවක් පටන් ගත්තා. එහි මම සකසන කෑමබීම වර්ග, ඒවායේ ගුණ අගුණ ගැන වගේම මා විසින් ගත් පින්තූරත් ඇතුළත්. මම සකසන කෑමබීමවල පින්තූර ගන්නෙත් මමයි. මේ විදිහට අපේ දේශීය කෑමබීම සිය ගණනකට වැඩියේ මේ ෆේස්බුක් පිටුවේ තියෙනවා. මොනතරම් කෑමබීම හැදුවත් පොතක් ගැන අදහසක් මට තිබුණේ නැහැ. ඒත් මගේ හැකියාව නිතර දකින දුවගේ පෙරැත්තය නිසාම 2020 ජූනි මාසේ පොතේ වැඩ පටන් ගත්තා. දැන් එහි වැඩකටයුතු අවසන් අදියරේ තියෙන්නේ ළඟදීම ඒ පොත ඔබට දැකගන්න පුළුවන්.

පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඔබේ කාර්යයන් මොනවාද?

විවාහ වෙන්න කලින් මං රැකියාවක් කළා. විවාහයෙන් පස්සේ රැකියාවෙන් ඉවත් වෙලා ගෙදරදොර කටයුතු කරගෙන සාමාන්‍ය විදියට ජීවත් වුණා. දරුවන් ලැබුණාම ඒ අයගේ වැඩකටයුතු, ගෙදරදොර වැඩ කටයුතු සැමියාගේ කටයුතු ආදී මේ හැමදේම එක්ක මං කාර්යබහුල වුණා. විශේෂයෙන් ම ඉස්සර දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් තමයි කාලය ගොඩක් වෙන් කළේ. දැන් දරුවන් ලොකු නිසා මං ටිකක් නිදහස්.

ඒ නිසා දැන් සැමියාගේ වැඩ කටයුතුවලට වැඩිපුර කාලය යොදවනවා. හැමෝම පුළුවන් විදිහට උදව් කරනවා. දරුවෝ ලොකු වුණත් මං තාමත් පුළුවන් වෙලාවට එයාලට උදව් කරනවා. සැමියාගේ කෑම බීම හැදීම වගේම කාර්යබහුලත්වය නිසා බොහෝ වෙලාවට ඔහුගේ රියැදුරු විදිහටත් කටයුතු කරනවා.

රැකියවෙන් ඉවත් වීම දුකක් වුණේ නැද්ද?

මං විවාහ වෙනකොට මහත්තයා මගේ මාපියන්ට කිව්වා මං රස්සාවක් නොකර ගෙදර වැඩපල කරගෙන ඉන්නවට තමයි කැමැති කියලා. ඒ වගේම මං රස්සාවක් නොකළා කියලා ඔහු මට කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ. මං හිතන්නේ මං ගෘහණියක් වුණ එක කාර්යබහුල ඔහුට වගේම දරුවන්ටත් සහායක් වුණා කියලා. ඒක අපේ පවුලේ සාර්ථකත්වයටත් හේතුවක් වුණා.

ඔබ මිතුරු මිතුරියන් සමඟත් විනෝද ගමන් යනවා. සැමියාගෙන් මේවාට තහංචි නැද්ද?

මං සාමාන්‍යයෙන් අනවශ්‍ය කරදර ඔළුවට ගන්න කෙනෙක් නෙමෙයි. සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මට විනෝද ගමනක් යන්න හිතුණොත් හරි ඉඳලා හිටලා අලුත් රෙස්ටොරන්ට් එකකින් අලුත් කෑමක් රස විඳින්න හිතුණොත් මං පවුලේ අයත් එක්ක හරි යාළුවො එක්ක හරි ගිහින් එනවා.

ඒකට මහත්තයාගෙන් තහංචියක් නෑ. අපි අතර තියෙන බැඳීම ශක්තිමත් කරන්නේ අන්‍යෝන්‍ය විශ්වාසය සහ එකිනෙකාට ගෞරව කිරීම. ඔහු මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා වගේම මමත් ඔහුගේ විශ්වාසය බිඳින්නේ නැහැ. අපි අපිට විශ්වාසයි. පවුල් ජීවිතය අවුරුදු ගණනාවක් මේ තරම් සාර්ථකව ගෙන යන්න පුළුවන් වී තියෙන්නේ මේ විශ්වාසය නිසායි.

 

සැමියා හා දූදරුවන් ගැන කියන්න...

සැමියා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. මං හිතෙන්නේ ඔහු පෞද්ගලිකව සිසුන් දහස් ගණනකට නොමිලේ උගන්නලා තියෙනවා. මාත් ඔහුගේ ශිෂ්‍යාවක්. මගේ එකම දුව අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක්. ඇයට අවුරුදු 26යි. ලොකු පුතාට අවුරුදු 23යි. ඔහු මීට සති 2කට කලින් ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගත්තා. පොඩ්ඩා ගිය අවුරුද්දේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වෙලා පාට් ටයිම් රැකියාවක් කරන ගමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. ඔහුට අවුරුදු 18ට කිට්ටුයි. දැනටමත් ඔවුන් තුන්දෙනාම රස්සාවල් කරගෙන අපිට බරක් නොවී ජීවත් වෙන නිසා සතුටුයි.

ඔබ සුන්දර ගැහැනියක්. මුහුණ මත නිතරම සිනහවක් රැඳිලා තියෙනවා. ඔබේ ආහාර රටාව මොන වගේද? ලස්සන වෙන්න මොනවද කරන්නේ?

මගේ අම්මත් නිතරම හිනා වෙලා ඉන්න කෙනෙක්. මං හිතෙන්නේ අම්මාගෙන් ආපු එකක් තමයි ඒක. මට විතරක් කියලා විශේෂයෙන් කෑම හදා ගන්නේ නෑ.

ගෙදර අනිත් අය කන විදිහටම මාත් කනවා.

ලස්සන වෙන්න කියලා විශේෂ දේවල් කරන්නේ නැහැ. ඒත් විවේකයක් ලැබුණාම බැඩ්මින්ටන් ගහන්න, පිහිනන්න වගේම, ඇවිදින්නත් යනවා. මං විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සු ලස්සන වෙන්න ඕනේ මුහුණෙන්වත් ශරීරයෙන්වත් නෙමෙයි හදවතින්.

සමාජ මෙහෙවරටත් ළැදියි....

මං ඉගෙන ගත්තේ කොළඹ 10 ආනන්ද බාලිකාවේ. පුරුද්දක් විදිහට අදටත් ඉඳලා හිටලා පාසලට ගොඩවෙලා අවශ්‍ය උදව්වක් කරන්න තිබුණොත් පෞද්ගලිකව මගේ යාළුවො එකතු කරගෙන ඒවා කරලා දෙනවා.

2015 ඉඳලා 2020 වෙනකම් යාළුවො කිහිප දෙනෙක් එකතු කරගෙන නොකඩවා පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ආබාධිත රණවිරුවන්ට ප්‍රිය සම්භාෂණයක් පැවැත්වූවා. කෝවිඩ් නිසා පහුගිය අවුරුද්දේ කරන්න බැරි වුණා. ඒ වගේම සෑම මාස 4කට වරක්ම මම නොකඩවා ලේ දන් දීමේ පින්කමක් කරනවා. නොකඩවා කරන නිසාම ඒවා දැන් මගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් වෙලා.

ජීවිතය දකින්නේ කෙසේද?

ජීවිතය කියන්නේ සල්ලි, වත්පොහොසත්කම්වලින් විතරක්ම ඉස්සරහට යන එකක් නෙමෙයි. මානසික නිදහස, සතුට, ආදරය මේ හැමදේම එක්ක යන්න ඕනේ ගමනක්. මම බොහෝම සරලව ජීවත් වෙන්න කැමැති කෙනෙක් වගේම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒ නිසා මට අවුරුදු 46ක් මේ ආපු ගමන ගැන සතුටුයි.

 

ඡායා - තිළිණ දිසානායක