වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ආදරයේ උල්පත වූ අම්මා ගැන එදා මෙදා තුර ඇසෙන මිහිරිතම ගීයක්
අම්මා ගැන කොතැනින් ලියා කොතැනින් අවසන් කරන්න දැයි කියා නොසිතෙන වේලාවක ඇය ගැන දහසක් සිතුවිලි මවා හිනැහෙමි. අම්මා මගේ ජීවිතයයි.
අම්මා මගේ මුළු ආත්තමයයි. මම මොහොතකට එසේ සිතමි. ඈ ජීවතුන් අතර සිටියදීටත් වඩා අද මා ඇය ගැන අප්‍රමාණ ලෙස සිතමි. මා එසේ සිතන විට ඔබ ඇය ගැන තවත් විදිහකට සිතනු ඇත. ඔබත් මාත් හැරුණ විට මුළු ලොවම ඇය ගැන සිතනු ඇත. ඒ මුළු ලොවම පවතින්නේ ඇය නිසා වන බැවිනි. අප අම්මා ගැන සිතන විදිහට ම ඇය ද අප ගැන සිතනු ඇත. එය එසේ නොවේ යැයි කාට නම් කිවහැකි ද.
“ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන්
පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී “
මෙවන් වූ පින්සිතුවිලි සිතිය හැක්කේ අම්මා ගැන හදවතින්ම සිතන්නකුට පමණි.
ප්‍රේමකිර්ති ද අල්විස් නම් වූ ගේය පද රචකයා විසින් ලියන ලද අම්මා ගැන මේ සිතුවිල්ල බොහෝ වටින්නේය. ප්‍රේමකිර්ති ද අල්විස් සිය මැණියන් රෝගාතුරව සිටි යුගයකදි ලියැවුණ මේ වදන් පෙළ අපූරුය. සිය මෑණියන් පිළිබඳ ඔහු ලියූ මේ ගීතය ගයන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින්.
ප්‍රේමකිර්ති ද අද්විස් මහතාගේ මව ඔහු කුඩා කාලයේ සිටම මහා සෙවනැල්ලක් වගෙ ඉඳලා තියෙනවා. මේ අතර සංගීතවේදී වික්ටර් රත්නායක මහතා ඇවිත් තියෙනවා ගීතයක් ලියා ගන්නට. නමුත් අම්මා ගැන සිතමින් හිටපු වෙලාවක ඔහුට පුළුවන් වී නැහැ ගීතය ලියා ගන්නට. වික්ටරුත් තමන්ගේ වැඩේ කල් දාගෙන. ඔහු ප්‍රේමකිර්ති සමඟ මව බලන්න රෝහලට ගිහිල්ලා. අම්මා ගොඩක් සතුටු වෙලා වික්ටර් තමන්ව බලන්න ආව එක ගැන. ගමන ගිහින් එන අතර වික්ටර් තමන්ගේ ඉල්ලීම ගැන ප්‍රේමකීර්තිට කියලා තියෙනවා. කාලයක් තිස්සේ බලා ගෙන හිටපු ගීතයක් තමයි ඉන්පස්සේ ප්‍රේමකිර්ති විසින් ලියලා තියෙන්නේ.
තම ජීවිතයේ පෞද්ගලික අත්දැකීමක් හේතු කොටගෙන ඔහු විසින් ලියූ මේ ගීතයට එදත් අදත් ගීත කේෂත්‍රයේ තිබෙන්නේ නොමසුරු ඉඩක්.
“සඳ දිය කොට කිරි වතුරින්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලවිලි
ගීයෙන්
මතකයි මා නැලවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා“
ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැගෙන්නේ අම්මා ගැනය. ගීතය ගැයෙන්නේ අම්මා ගැන වුවද මේ රටේම මව්වරුන් ගැන ලියැවුණා බඳුය. අම්මා යන වදන, ඒ මතකය ඒ තරමටම මීහිරිය.
“මට මගේ අම්මා සිහි වුණා. ඒ වගේම මට ප්‍රේමකිර්තිගේ අම්මා සිහි වුණා. ඇය බොහෝම නිවුණ කෙනෙක්. අපි මේ ගීතය හැදුවා. ඇත්තම කිව්වොත් ප්‍රේම් මේ ගීතය ලිව්වේ නිරායාසයෙන්. මම මේ ගීතය ගැයුවේ බොහෝම උනන්දුවකින්. මගේ අම්මා , ප්‍රේම්ගේ අම්මා වගේම සියලුම අම්මාවරුන් වෙනුවෙන් ගැයූ ගීතයක් ලෙසයි මට එදා දැනුණේ. එදත් අදත් මෙවැනි ගීතයක් ලියැවී නැහැ කියලා මට තවමත් හිතෙනවා. “
ප්‍රේම් ලියූ ගීතය ගැන ඔහුගේ ආදරණීය මිත්‍රයා වික්ටර් රත්නායකයන් පවසන්නේ එවැන්නක්.
ප්‍රේම් ලියූ බොහෝ ගී පද අදටත් අපට මියුරු රසයක් ගෙන දෙනවා. අප නැලැවෙන්නෙත්, අප සැනසෙන්නෙත් ඒ ගී හඬ ළඟදී වීම විශේෂිතයි