එදා ලැබුණු අගය කිරීම මට මේ සම්මානයටත් වඩා වටිනවා

සුපිළිපන් 2021 සම්මානය දිනූ ග්‍රාම නිලධාරිනිය නිෂාරි අනුරුද්ධිකා
පෙබරවාරි 7, 2022

 

රාජ්‍ය සේවය අපට වඩාත් සමීප වචන දෙකකි. එය අපට කෙතරම් සමීපවුවත් රාජ්‍ය සේවය පිළිබඳ සමාජ කතිකාව එතරම් සුබවාදී නොවේ. අකාර්යක්ෂම වූ සේවය, දූෂණය, වංචාව, අල්ලස, පගාව, කොමිස් ගැනීම වැනි හේතුමත සමස්ත රාජ්‍ය සේවය පිළිබඳ ජනතාව තුළ ඇත්තේ කලකිරීමකි.

ලක්ෂ දහහතරකට අධික වූ රාජ්‍ය සේවකයන්ගේ සේවා ජාලය තුළ එම සම්මතය බිඳගෙන උඩුගම් බලා පිහිනන සේවකයන් ද අප අතර අඩුවක් නොවේ.

මෙසේ උඩුගම් බලා පිහිනා යමින් සමාජයට විශාල සේවයක් කරන සේවකයන් ඇගයීම ද වටිනා කටයුත්තකි. එලෙසින් සේවය කරන සේවකයන්ට උපහාර පිදීම ඊටත් වඩා අගය කළ යුතු වටිනා සද්ක්‍රියාවකි. ශ්‍රී ලංකා Transparency International ආයතන සිදු කරන එම කටයුත්ත අප මාධ්‍ය මඟින් සමාජයට විවරණය කරනු ලබන්නේ එහි අගය හොඳින්ම වටහා ගනිමිනි. සෑම වසරක් පුරාම සිදු කරන සම්මාන, උපහාර පිදීම් උත්සවයන්ට වඩා වෙනස්ම වූ මේ උපහාර පිදීම සඳහා ඔවුන්ගේ නියැදිය බවට පත් වන්නේ ආදර්ශමත් රාජ්‍ය සේවය තුළ විනිවිදභාවයෙන් යුතුව ප්‍රශස්ත සේවයක් සිදු කරන රාජ්‍ය සේවකයන් ඇගයීමට ලක් කිරීමය.

අප මෙවර සටහන් තබන්නේ එලෙසින් අගය කළ සේවකයන් අතුරින් සුවිශේෂි චරිතයකි. දූෂණය හා වංචාව හා අල්ලස් ගැනීම පිළිබඳ සෘජුවම චෝදනා එල්ලවන පාර්ශ්වයක් ලෙසින් ග්‍රාමනිලධාරි තනතුර පිළිබඳ සමාජය තුළ වූ සම්මතය බිඳිමින් ඇය ඉතිහාසය වෙනස් කළ නිලධාරිනියකි. එසේම එම ඉතිහාසය වෙනස් කරමින් විශාල සමාජ සේවයක් සිදු කරන කාන්තාවක් ලෙසින් ද ඇය අලුත්ම පරිච්ඡේදයක් ලියන්නට සමත් වූ චරිතයකි.

ඇය නිෂාරි අනුරුද්ධිකා ද සිල්වා.

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹදුරය ග්‍රාමසේවා කොට්ඨාශයේ ග්‍රාමසේවා නිලධාරිනිය මෙවර Intergrity Icon Sri Lanka 2021 සම්මානය දිනාගත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට ග්‍රාම නිලධාරිනියක් ලෙසින් අලුත්ම පිටුවක් පෙරළමිනි.

ඇය ලැබූ එම සම්මානයේ අගයට තවත් වටිනාකමක් එක් කරමින් අප ඇය සමඟ මෙවර ‘ජීවිතය අර්ථවත් කළ ඇය‘ පිළිසඳරට එක් කර ගත්තේ ඇයගේ ජයග්‍රහණය සමස්ත ග්‍රාම නිලධාරින්ට පමණක් නොව රාජ්‍ය සේවයේ සැමටම උත්ප්‍රේරණයක් ලබාදීමේ අපේක්ෂාවෙනි. ඇය ලැබූ සම්මානයේ වටිනාකම ගැන සතුටින් අපට හෙළි කළේ මෙලෙසිනි.

“මේ සම්මානය පිරිනැමීම සඳහා මාව තෝරා ගත්තේ ඇයි කියන කුතුහලය මට සම්මාන පිරිනැමීමේ අවසාන වටය දක්වාම තිබුණා. මම මේ සම්මාන උත්සවයේ ජූරි සභාව කවුද කියලා මොනවත්ම දැනගෙන හිටියේ නැහැ. සම්මාන උත්සවයට අර්ධ අවසාන වටයට රාජ්‍ය සේවයේ 250ක් පමණ තෝරාගෙන තිබුණා. ඒකට රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍රවල දක්ෂ නිලධාරීන් රාශියක් ඇතුළත් වුණ පසුගිය වසරේ කෝවිඩ් වසංගතය වෙනුවෙන් සේවය කළ වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රෝහල් හෙද නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරු, පරිපාලන නිලධාරීන්, ආරක්ෂක සේවයේ උසස් නිලධාරින් ඒ අතර හිටියා. අවසාන සම්මුඛ පරික්ෂණයේදී මම ඇහැව්වා ඇයි ග්‍රාම නිලධාරිනියක් වුණු මාව මේ සම්මානය සඳහා තෝරා ගත්තේ කියලා. එතකොට එතැන හිටිය නිල මඬුල්ලේ නිලධාරියෙක් මට කිව්වා ඔහු ග්‍රාම නිලධාරිනියක් තෝරා ගැනීමට මුල සිටම විරුද්ධව හිටියලු. ඒ තරමටම ග්‍රාම නිලධාරි කියන තනතුර අකාර්යක්ෂමයි කියල තමයි ඔහු අවබෝධ කරගෙන තිබුණ්. හැබැයි මාගේ Profile එක බලනකොට පුදුම වුණාලු ග්‍රාම නිලධාරි කෙනකුට මේ තරම් රාජකාරි වපසරියක් ති‍ෙයනවාද කියලා. ග්‍රාම නිලධාරි කෙනෙක් තමන්ගේ වැඩවලට කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ කියලා ඔහු හිතුවලු. අන්තිමට ඔහු මට පිං දුන්නා ග්‍රාම නිලධාරි කෙනෙක් හැටියට ඔහු දැකපු චිත්‍රය වෙනස් කරපු එකට. ඇත්තටම එදා ලැබුණු අගය කිරීම මට මේ ලැබුණු සම්මානයටත් වඩා වටිනවා.

මේ සම්මානය සඳහා මාව නම් කළේ ග්‍රාමනිලධාරි සංගමය. එතකොට මම කොරෝනා වසංගතය නිසා වැඩ රාශියක හිරවෙලා හිටියේ. අපේ ග්‍රාම නිලධාරි විශාල පිරිසක් මරණයට පත්වෙලා හිටියේ.

මේකට තෝරා ගත්තාට පස්සේ මේ ‘සුපිළිපන්‘ සම්මාන සඳහා පරීක්ෂණයට එන්න වෙලාවක් නැහැ කියලා අවංකවම කිව්වා. නමුත් සංගමයට කරන වැරැද්දක් නිසා මට Computer එකක්වත් නැතිව Phone එකෙන් pdf 225 හදලා යැව්වේ පුදුම අමාරුවෙන්. ඒ මගේ සේවය දැකපු ආයතන මට කිව්වා ඔයා මේ තරගයට හොඳම නිලධාරිනියක් කියලා.

සම්මාන උත්සවයේ අවසාන දවස දක්වාම මට සම්මානයක් ති‍ෙයනවා කියලා දැනගෙන හිටිනැහැ. නමුත් සම්මාන උත්සවයේ පළමුවැනි සම්මානය ලැබුණේ මට. මේ සම්මානය මට නිකම්ම දෝතට ලැබුණු දෙයක් නොවෙයි. අවුරුදු 7ක් පුරා ග්‍රාම නිලධාරිනියක් ලෙස අවංකව කරපු සේවයට තමයි මේක ලැබුණේ. මගේ ග්‍රාම නිලධාරි කොට්ඨාශය සම්පූර්ණයෙන් ගංවතුරට යටවෙන ප්‍රදේශයක්. වැලිගං ඔයට ආසන්නයේ තියෙන මේ ගමට මම එනකොට ග්‍රාම නිලධාරි කාර්යාලයක්වත් තිබුණේ නැහැ. කෝවිඩ් වසංගතය ඇවිත් මාස 6කින් විශාල ගංවතුරක් ආවා. මං දවස් 7ක් තනියම උයලා අවතැන් මිනිස්සුන්ට කන්න දුන්නා. ඒ කරපු දෙයින් ගමේ මිනිස්සු මට හුඟක් සමීප වුණා.“

මගේ රාජකාරි හා සේවයට අමතරව ‘අපේකම‘ කියන ජාත්‍යන්තර සංවිධානයේ සභාපති ලෙස විශාල සමාජ සද්කාර්යයන් රාශියකට මං දායක වෙනවා. ඒ සංවිධානය හරහා ව්‍යවසායකයන් 250ක් පමණ බිහි කරලා තියෙනවා. විශේෂයෙන්ම මම බිම්මල් වගාව පිළිබඳ පුහුණුවක් ලබාගෙන බිම්මල් ගම්මාන 7ක් අපේ දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශය තුළ බිහි කර තිබෙනවා. ඊට අමතරව ලංකාවේ වෙනත් ප්‍රදේශවල පැවැත්වෙන පුහුණු වැඩසටහන්වලටත් සහභාගි වෙන්න මට අවස්ථාව හිමි වුණා.

ඒ වගේම නිල් කටරොලු සංගමයේ ලේකම් වශයෙන් ද කටයුතු කරනවා. ඒ සංගමය රුසියාවේ ව්‍යාපාරිකයකු සමඟ ලංකාවේ නිල් කටරොලු අපනයනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා අපි දැන් සැලසුම් කරලා තියෙනවා. මම ඒ කරන සේවයත් සලකා බැලීමෙන් පසුව තමයි ‘සුපිළිපන්‘ සම්මානය සඳහා මාව තෝරා ගන්න තවත් ප්‍රධාන හේතුවක් වුණේ.“

මේ සියලු සම්මාන හිමිකර ගනිද්දී ඇය දහසක් රාජකාරි මැද තම ආදරණීය පුංචි කැදැල්ල තුළ ද මවක් ලෙසින් විශාල භූමිකාවක් සිදු කරයි. ආදරණීය මවක් ලෙසින් ඇය ඉතාම සංවේදී ලෙසින් සෑම දරුවකුටම ආදරය කරන්නට හැකි වී ඇත්තේ ඇයගේ එම සෙ‍ෙනහස නිසාමයි. ඒ ගැනද ඇය අපට සඳහන් කළේ මහත් සතුටින්.

“මගේ රැකියාවේ වැටුපට වඩා සේවය කරන්න අවස්ථාව ලැබුණේ මගේ සැමියා නිසයි. ඔහු ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අපේ ආර්ථිකය සමබරව තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මට ඉන්නේ එක පුතයි. ඒ නිසා රාජකාරිය සඳහා ලොකු කාලයක් යොදවන්න අවස්ථාව ලැබෙනවා.

මම මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුවේ හරිශ්චන්ද්‍ර ජාතික පාසලෙන්. මගේ පියා ගුවන් හමුදාවේ කෝප්‍රල් කෙනෙක්.

ඒ නිසා කුඩා කාලේ පාසල් ගියේ කටුනායක ගුවන් හමුදා පාසලට. මට නංගියි, මල්ලියි ඉන්නේ. මං උසස් පෙළ කරලා රැකියාවකට යොමුවුණා. ඉන් පසුව පෞද්ගලික ආයතන කිහිපයක සේවය කළා. 2012 තමයි මං ග්‍රාම නිලධාරි තනතුර සඳහා විභාගයට පෙනී සිටියේ. 2015 දී පත්වීම ලැබුණා. එදා පටන්ම මං රාජ්‍ය සේවයේ ග්‍රාම නිලධාරිනියක් ලෙස සේවයට එක් වෙලා දැන් අවුරුදු 7ක් වෙනවා. මේ සියලු රාජකාරි වැඩ අතරේ තවමත් මම අධ්‍යාපනය හදාරනවා. දැන් මම නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ අපේක්ෂාවෙන් සිටිනවා.“

නිෂාරි ලැබූ මේ සම්මානයත් සමඟ ඇය සමස්ත ග්‍රාම නිලධාරීන්ගේ සංකේතය බවට පත්වී තිබේ. ඇය ග්‍රාම නිලධාරින්ටම ලොකු පණිවුඩයක් ද ලබා දෙයි. බැහැ බැහැ කියමින් ලත වෙනවා වෙනුවට පියවරක් ඉදිරියට තබමින් සීමා මායිම් පසුකර යන්නට කාලය උදා වී ඇති බව රටේම ග්‍රාම නිලධාරින්ට නිෂාරි හඬ ගා කියයි. ඔබ කරනා සේවයට සොබා දහම හෝ කලගුණ සලකයි. නිෂාරිට මේ සම්මානය හිමිවූයේ ද ඇයට සොබාදහමෙන් හිමි වූ සම්මානයක් ලෙසිනි. ඇය කරන සේවය තුළින් සියදහසක් දෙනකුට පිහිටවී තිබේ. වැටුපට වඩා සියදස් ගුණයක් සතටුවන ඇයට දිගු ගමනක් යන්න ‘තරුණී‘ අපි හදවතින්ම සුබ පතමු.

 

විශේෂ ස්තූතිය

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්

උදිත පුෂ්පකුමාර මහතා සහ

ඡායාරූප ශිල්පී

නිරෝෂ පී. බොතේජු මහතාට