වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සුභාවිත ගීතයෙන් සිත් සුවපත් කරන දොස්තර නෝනා
ගීතය අපගේ ජීවිතය සුවපත් කරයි. එම ජීවමාන ඔසුවේ සුවය සමාජගත කරන්නට නම් උපතින්ම උරුම වූ හැකියාවක් ද තිබිය යුතුමය.
එලෙස උපතින් උරුම වූ හැකියාවත් තමාගේ අධ්‍යාපනික ඥානයත් භාවිතකර යමකු සුවපත් කළ හැකි වන්නේ වෛද්‍යවරයකුට හෝ වෛද්‍යවරියකටය. එවැනි දුලබ වූ හැකියාවක් හිමි වූ වෛද්‍යවරියකගේ හඬක් අපට අසන්නට ලැබුණි.
ඒ විශේෂඥ වෛද්‍ය ඊෂ්මා සමරසිංහ.... ගීතයෙන් ලොවක් සුවපත් කරන්න වෙර දරන ගීත කෝකිලාවකි.
ඇය අපේ මව්බිමේ කාන්තාවන්ගේ නො කියැවෙන භූමිකාවන් ගැන ලෝකයට හඬගා ගයන්නට සැරසෙයි. නැවුම් ස්වරයෙන් ඒ සමාජ භූමිකාවන් ගැන කියැවෙන ගීතය ඇය විසින් එළිදක්වන්නේ ද සුවිශේෂී දිනයක දී ය. ඒ මෙවර අන්තර්ජාතික කාන්තා දිනයේදී ය. ලෝකයක් නළවන මියුරු ස්වරයෙන් ඇය ගයන්නේ අපේ රටට රන් කහවනු ගෙනෙන ළඳුන් ගැනය. නව රිද්මයකට රැප් තාලය හා සුසංයෝගීව ගැයෙන මේ ගීතය ගැන අප ඇයගෙන් විමසුවේ දුරකථනයෙන් සුහද පිළිසඳරකට එක් වෙමිනි.
පශ්චාත් උපාධිය සඳහා විදේශ ගතව සීමාවාසික පුහුණුව ලබමින් සිටින ඇය ගීතය ගැන කතාවට මුල පිරුවේ මහත් සතුටිනි.
ඔබ හදිසියේම ඇයි ලංකාවෙන් ගියේ?
මම විශේෂඥ වෛද්‍යවරියක් ලෙස තෝරාගෙන තිබුණේ විකිරණ වෛද්‍ය විද්‍යාව. එය 2018 වසරේ තමයි අවසන් කළේ. විකිරණ වෛද්‍ය විද්‍යාවෙන් තමයි නවීන තාක්ෂණය අනුව රෝගීන්ගේ අභ්‍යන්තරය පරීක්ෂා කරන්නේ. සී. ටී. ස්කෑන්, එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණවලන් තමයි රෝගීන්ගේ අභ්‍යන්තර පරීක්ෂා කරලා ප්‍රතිකාර කරන්නේ. එම විෂය සඳහා පශ්චාත් උපාධියේ සීමාවාසික පුහුණුවට තමයි එංගලන්තයට ආවේ. දැන් බොහෝ දුරට එම ඉගැනීමේ කටයුතු අවසන්. තව ටික දවසකින් ලංකාවට එන්න තමයි අපේක්ෂාව.
එතකොට ඔබ ලංකාවෙන් ආවේ කොරෝනා වසංගත කාලෙම ද?
ඔව්... කරන්න දෙයක් නැහැ. වෛද්‍ය වෘත්තියේ මම තෝරාගත් විෂයය ටිකක් සංකීර්ණයි. ඒ නිසා මට සිද්ධ වුණා අවදානම නොතකා විදේශගත වෙන්න. මගේ මහත්තයයි, මමයි දෙන්නම කෝරෝනා කාලෙම තමයි ලංකාවෙන් ආවේ.
ඔබේ අලුත් ගීතය කළෙත් මේ කාලෙම ද?
ඔව්... ඉතිං වෛද්‍යවරියක් වුණාම විවේකය අඩුයිනේ. මගේ රාජකාරි කටයුතු කරන අතර තමයි කලා කටයුතුවලටත් යොමු වෙන්නේ.
ඒ කියන්නේ ඔබ දැන් ජනප්‍රිය සිංදු කියන දොස්තර නෝනා කෙනෙක් ද?
අපෝ එහෙම නෑ.... මගේ ගීත හුඟදෙනෙක් අහලා තියෙනවා. මම කෑගල්ල මූලික රෝහලට එන්නත් පෙර මගේ ගීත අහපු හුඟ දෙනෙක් හිටියා. කෑගල්ලේ සේවය කළේ විකිරණ අංශයේ වැඩබලන විශේෂඥ වෛද්‍යවරිය ලෙසයි.
ඔබේ ජනප්‍රියම ගීතය වුණේ...
"මේ වසන්තයයි" කියන ගීතය සමාජ මාධ්‍යවල වඩාත් ජනප්‍රිය වුණා. ලක්ෂ 4කට වැඩි පිරිසක් Subscribe කරලා තිබුණා. ඒ ගීතයෙන් කියැවෙන්නේ පේරාදෙණිය සරසවියේ ප්‍රේමයක් ගැන. මේ ගීතයේ විෂුවල් හැදුවෙත් පේරාදෙණිය සරසවියේමයි. ඒ නිසා මගේ සහෝදර වෛද්‍යවරු හුඟ දෙනෙක් මේ ගීතය අහලා තියෙනවා.
ඒ ගීතයට අමතරව ඔබේ හඬින් ගැයූ ගී කීයක් තියෙනවා ද?
ගීත විසි පහක් විතර කරලා නම් තියෙනවා. ඒත් තවම රිලීස් කරලා තියෙන්නේ 14ක් - 15ක් විතරයි. ඇත්තටම දැන් තියෙන සංගීතයත් එක්ක ශ්‍රාවකයන්ට ඇහෙන්නේ එකම තාලයක සිංදු විතරයි. එහෙම ගීත රිලීස් කරලා වැඩක් නැහැනේ. ගීතයක් වුණාම එක පාරක් ඇහැව්වාම ඒ ගීතය තව පාරක් අහන්න ආසා හිතෙන්න ඕනේ. නැත්නම් ඒ ගීතයෙන් වැඩක් නැ. මගේ හැම ගීතයක්ම තෝරාගෙන රිලීස් කරන්නේ මහත්තයා. එයාට හොඳ රසවින්දනාත්මක හැකියාවක් තියෙනවා. අපි ගීත හතරක් පහක් කළාම එයින් එයා රිලීස් කරන්නේ එකක් දෙකක් විතරයි. මගේ ගායනයේ සියුම් අඩුපාඩු පවා එයාට හොඳින් ග්‍රහණය කර ගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මගේ රිලීස් කරපු හැම ගීතයම දැන් ජනප්‍රියයි.
ඔබ ගායනයට යොමු වුණේ.
මගේ පාසල කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාව. පාසල් කාලේ සමූහ වාදන කණ්ඩායමෙන් තමයි මුලින්ම ගීත ගායනයට යොමු වුණේ. හැබැයි තනි ගීතයක් ගායනා කරන්න නම් බැරි වුණා. පද්‍ය ගායනා තරගවලට නම් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. මම පේරාදෙණිය වෛද්‍ය පීඨයට ගියාට පස්සේ නම් ගීත ගායනයට අවස්ථාව ලැබුණා. ‘කවියක් සේ කියන‘ මගේ පළමු ගීතය සරත් පීරිස්ගේ සංගීතයෙන් පළමුවෙන්ම එළි දැක්වූවේ විශ්ව විද්යාලයේදීමයි. ඊට පස්සේ තමයි අනුරාධ අබේසිංහ අයියාගේ සංගීතයෙන් හදපු ‘සඳ ඉන්න තැන‘ ගීතය ගායනා කළේ. ඒ ගීතය නම් හරිම ජනප්‍රිය වුණා.“
මේ ගීතයෙන් පස්සේ ද ඔබ වඩාත් ජනප්‍රිය වුණේ?
“මේ ගීතය යූ ටියුබ් චැනල් එකට දැම්මාට පස්සේ හිතාගන්න බැරි විදිහට ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ අලුත් පද රචනා පිටරටවලින් වගේම අපේ රටෙනුත් විශාල ප්‍රමාණයක් ලැබුණා. හැබැයි ඒ අතුරින් වඩාත් හොඳ නිර්මාණ විතරයි ගායනා කරන්න තෝරා ගත්තේ. ඒ අතුරින් ශාන්ත කුමාර විතානගේ අයියා නිර්මාණය කරපු ගීත කිහිපයක්ම මම ගායනා කරලා තියෙනවා.
එතකොට ඔබේ බොහෝ ගීත නිර්මාණය කරලා තියෙන්නේ අනුරාධ අබේසේකර ද?
ඔහු සංගීත නිර්මාණයට දක්ෂයි. ඒ වගේම සෑහෙන මහන්සියක් ගන්නවා. එක නිර්මාණයකට මාස ගණනක් වෙහෙසෙනවා. මගේ මේ අලුත් නිර්මාණයටත් ඔහු තමයි සංගීතය නිර්මාණය කළේ. ඒ ගීතයේ සුභාවිත ගීතමය ස්වරයන් සමඟ අලුත්ම තාලයක රැප් සංගීතයක් මුසු කරලා ගීතය හදන්න සෑහෙන්න මහන්සියක් ගත්තා.
ඔබේ ගීත අහන්න ලැබෙන්නේ සමාජ මාධ්‍ය හරහා විතරම ද?
මගේ සමහර ගීත ෆේස් බුක් එකේ විතරක් ලක්ෂ 3 - 4 අහලා තියෙනවා. සමහර රෝගීන් මාව හොයාගෙන ඇවිත් මගේ ගීත ලස්සනයි කියලා කියපු අවස්ථා තියෙනවා.
ඔබගේ අලුතින්ම එළිදකින ගීතයේ වෙනස මොකක්ද?
මේ ගීතය හස්බන්ඩ්ගෙයි මගෙයි සිත්වල තිබුණ දෙයක්. අපේ රටට වැඩිම විදේශ විනිමය ගේන්න වෙහෙසෙන්නේ කාන්තාවන්. තේ දලු නෙළන, ගෘහ සේවිකාවෝ, ඇඟලුම් සේවිකාවෝ තමයි අපේ රටට විදේශ විනිමය ගේන්නේ. ඒ අය
ගැන මාධ්‍ය හරහා කතා කළාට ගීත තිබෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. මෑත කාලයේ ඔවුන් වෙනුවෙන් ගීතයක් නිර්මාණය වෙලා නැති තරම්. ඒ අඩුව පුරවන්න ගීතයක් නිර්මාණය කරලා දෙන්න කියලා අපි ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහත්තයාට කිව්වා. ඔහු ඒ කියපු විදිහටම කරලා දුන්නා. අනුරාධ අබේසේකර අයියා ඒකට අලුත්ම තාලයකට තනුවක් යොදලා සංගීතය නිර්මාණය කළා. ඒ ගීතය තමයි මෙවර කාන්තා දිනයේ දී එළි දකින්නේ.
ඔබේ පවුල ගැන තොරතුරු ටිකක් දැනගන්නත් කැමැතියි.
මගේ සැමියා පද්ම රණසිංහ. ඔහු ජල ජීවී අංශයේ පෞද්ගලික ව්‍යාපාරයක් කරනවා. එයා කෘෂි විද්‍යා පීඨයේ තමයි ඉගෙනුම ලැබුවේ. මේ දවස්වල ඔහුත් මා සමඟ ඉන්නවා. මගේ මුල් ගම කෑගල්ල. මට ඉන්නේ අක්කයි, නංගියි. අම්මා ගුරුවරියක්. තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේ. මේ වෙනකොට ඒ දෙන්නම ජීවතුන් අතර නැහැ. මගේ අක්කාත් වෛද්‍යවරියක්. නංගි ඉංජිනේරුවරියක්.
ඔබ වෛද්‍ය වෘත්තියට පිවිසිලා කොයි තරම් කාලයක් ද?
දැන් අවුරුදු 10ක් වෙනවා. මේ ඉගෙනීමේ කටයුතු අවසන් කරපු ගමන් නැවත ලංකාවට ඇවිත් සේවය කිරීම තමයි මගේ එකම අපේක්ෂාව. ඒ වගේම හොඳ නිර්මාණ කිහිපයක් කරලා හොඳ ඇල්බම් එකක් කරන්නත් අදහසක් තියෙනවා. හැබැයි ඒකට සෑහෙන්න කාලයක් ගත වෙයි.