වයසට යනවා නේද කියලා හිතලා කවදාවත් විවාහ වෙන්නේ නැහැ

රයිගම් ටෙලීස් ජනප්‍රියම නිළිය ශලනි තාරකා
අප්‍රේල් 18, 2022

 

මගේ දක්ෂතාව මතයි නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ.

 

 

ඇය ශලනි තාරකා. ගැමි චරිතයක් වේවා, නාගරික චරිතයක් වේවා. එකලෙස සැබෑ දක්ෂතාවෙන් රඟපාන්නට හැකියාව ඇති ටෙලි අඹරේ අතළොස්සක් නිළියන් අතරින් කෙනෙකි ඇය. ඒ නිසාම ඇයට පේ‍්‍රක්ෂක ආදරයක් නොඅඩුව ලැබෙයි.

 

පසුගියා දා පැවැති 2020 - 2021 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දී ජනප්‍රියම නිළිය වුයේ ඇයයි. එමෙන්ම ඉන් පෙර පැවැති 16 වැනි රයිගම් සම්මාන උළෙලේ දී දක්ෂතම සහ ජනප්‍රියම යන සම්මාන ද්විත්වයටම හිමිකම් කියන්නට ඇයට වාසනාව ලැබුණා.

ඒ නිසාම මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ශලනි සමඟ මෙලෙස කතිකාවකට මුල පිරුවෙමු.

 

මෙවරත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ජනප්‍රියම නිළිය වෙන්න ඔබට අවස්ථාව උදා වුණා?

ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මෙවරත් ජනප්‍රියම නිළිය වෙන්න වාසනාව ලැබෙයි කියලා. හොඳම නිළියටත් මාව නිර්දේශ වෙලා තිබුණා. ඉතිං නොකඩවා දෙවැනි වරටත් මාව ජනප්‍රිය නිළිය කළ මගේ රසිකයන්ට ස්තූතිවන්ත වෙනවා.

 

මේ දවස්වල ඔබව ජනප්‍රියත්වයේ තබන කියාදෙන්න ආදරේ තරම් ටෙලියේ ස්නේහා ගැනත් කතා කරමු.

කියාදෙන්න ආදරේ තරම් ටෙලියේ මම රංගනයෙන් දායක වන ස්නේහාගේ චරිතයට වයස් භේදයකින් තොරව හැමෝම ආදරය කරනවා. මගේ සහෝදර රංගන ශිල්පී සචිත් ලියනගේ මගේ චරිතය කරන්න ලොකු සහයක් ලබා දෙනවා. මීනා කුමාරී, දුලිකා මාරපන, විශ්ව කොඩිකාර, විල්සන් ගුණරත්න වැනි ප්‍රවීණයන් රැසකගේ දායකත්වයෙන් කරන ටෙලියක් මෙය. මෙය අධ්‍යක්ෂණය කළේ ධනුෂ්ක රත්නායක.

 

ස්නේහා වගේම ද ශලනිගේ සැබෑ ජීවිතයේ චරියත්?

මේ කතාව ගෙතී තිබෙන්නේ ස්නේහා නම් ධනවත් තරුණිය වටායි. ඇය ආදරය කරන තරුණයා හදිස්සියේම රිය අනතුරකින් මිය යනවා. කාලය ගෙවි යද්දීම ස්නේහාට ඇයගේ මියගිය පෙම්වතාට සමානකම් ඇති තරුණයකු මුණ ගැහෙනවා. ඔහු නිර්වාන්. මේ කතාව ගලා යන්නේ ඔවුන් දෙදෙනාගේ සිදුවීම් අලලායි.

මේ චරිතය මගේ සැබෑ ජීවිතයත් එක්ක තරමක් සමානයි කිව්වොත් නිවැරදියි. මගේ ඇත්ත ජීවිතයේ සිද්ධ වුණු යම් යම් දේවල් නිසා මටත් මේ චරිතයේ තරමක සමනාකමක් දැනිලා තියෙනවා.

 

ශලනි, චරිත තෝරා බේරා ගැනීමක් කරල ද නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

වෙලාව තියෙන විදිහට තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ මගේ හැකියාව සහ දක්ෂතාව මතයි. ඇත්තටම සමහර නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු මා ගැන ලොකු විශ්වාසයක් කියලයි තමයි නිර්මාණයකට මට ආරාධනා කරන්නේ. මම හිතුමතේ චරිත බාර ගන්න කෙනෙක් නෙවෙයි.

 

ශලනි ආදරේ ගැන හිතන්නේ කොහොමද?

මම හිතන්නේ ආදරය කියන්නේ අවංක හැඟීමක්. එක්තරා විදිහක ලොකු කැප කිරීමක් සහ පරිත්‍යාගයක්. ඇත්තටම මට නම් ආදරේ ගැන හිතන්න වෙලාවක් නැහැ. හැබැයි දෙන්නෙක් තේරුම් අරගෙන දෙන්නට දෙන්නා උදව් කරගෙන ජීවිතයේ ඉස්සරහට යනවා නම් එතැන ආදරේ පවතිනවා. ආදරය කියන දේ වචනයකට සීමා කළාට තේරුමක් වෙන්නේ නැහැ. මොකද අවංකම දෙන්නකුට දෙන්නෙක් කැපවීමෙන් ඉන්න ඕනේ. දෙන්නට දෙන්නා අවංක වෙන්නත් ඕනේ.

 

දැන් ඔබ ක්ෂේත්‍රයේ ලැබිය යුතු ඉහළම සම්මානය, ජනප්‍රියත්වය, පිළිගැනීම ලබා ගෙන තිබෙනවා. ඔබේ ඊළඟ හීනය විවාහය නොවෙයි ද?

16 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ජනපි‍්‍රයම සහ දක්ෂතම නිළිය වෙන්න හැකි වුණා. එය අවුරුදු 24ක වාර්තාවක් නැවත අලුත් කිරීමක් වුණා. එය පහසු දෙයක් නොවෙයි. ඉතිං මේ වසරේ දීත් ජනප්‍රියම නිළිය වෙන්න ලැබුණා. ඒක විශේෂ දෙයක්.

විවාහය කියන්නෙත් ජීවිතයට අවශ්‍ය දෙයක්. දැන් නම් විවාහ වෙන්නත් කාලය හරි. හැබැයි මම වයසට යනවා නේද කියලා හිතලා කවදාවත් විවාහ වෙන්නේ නැහැ. මාව තේරුම් ගත්ත මට ආදරේ කරන කෙනෙක් ලැබුණු දවසට මම ආදරේ කරනවා. මට ඕනේ මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. කසාද බැඳලා ඩිවොස් වෙන්න මම කොහොමත් කැමැති නැහැ. මට ගැළපෙන කෙනෙක් හමුවුණාම මම විවාහ වෙයි. නැත්තම් මම හැමදාම තනියම ජීවත් වෙයි. ඒ ගැන මම ලොකුවට හිතන කෙනෙක් නොවෙයි.