ගස් මත සතුන්ට පණ දෙන අපූරු චිත්‍ර කලාවකින් රටක් හඳුනාගත් සිත්තරාව

උණවටුනේ ශශින්තා දිල්හානි
‘කොරෝනා නිසා නිදහසේ නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණා'
අගෝස්තු 1, 2022

 

කොරෝනා වසංගතය ලෝකයක් වෙනස් කළ පරිච්ඡේදයකි. බොහෝ රටවල සිය දහස් ගණනින් මිය යද්දී එයට සාර්ථකව මුහුණ දෙන්නට අපට හැකි විය. ඒ අතර මේ කාලය ආශීර්වාදයක් කරගත් බොහෝ පිරිසක් ද සිටී. විවිධ කලාකරුවන්, වෛද්‍යවරුන් හා ක්ෂේත්‍ර රැසක දක්ෂයන් තමුන්ගේ හැකියාවෙන් කිසියම් මෙහෙවරක් කරන්න ඉදිරිපත් වූයේ ද මේ කාලයේ ය. ඒ ස්ව කැමැත්තෙනි.

ශශින්තා දිල්හානි සිත්තරාව රටම හඳුනා ගන්නේ ද මේ පසුබිමේ ය.

සෞන්දර්යය විෂයයක් වන චිත්‍ර කලා ගුරුවරියක වූ ඇයගේ නිර්මාණ කුසලතාව එකම චිත්‍ර කලා මාධ්‍යයකට සීමා වී නැත. ශශින්තා ත්‍රිමාණ චිත්‍ර කලාව, විශාල ගස්වල සජීවි චිත්‍ර ඇඳීමේ tree illusion කලාව අප රටට හඳුන්වා දෙමින් තම නිර්මාණාත්මක කෞෂල්‍ය විදහා දැක්වූයේ සියුමැලි දෑතක වූ නිර්මාණශීලිත්වය කදිමට ප්‍රදර්ශනය කරමිනි.

දකුණු පළාතේ හික්කඩුව ප්‍රදේශයේ උපත ලැබූ ඇය චිත්‍ර කලාව තුළින් නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 10 වසරේ පාසල් අධ්‍යාපනය හදාරමින් සිටිය දී ය. ගාල්ල තල්ගස්පේ කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා බටපොල මැද විදුහලට ඇතුළත් වන ශශින්තා සෞන්දර්යය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ සුනිල් ශාන්ත ගුරුතුමාගේ මඟ පෙන්වීමෙනි.

සෞන්දර්යය විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර කලාව හදාරා පාසල් ගුරුවරියක ලෙසින් අවිත්තාව නාලන්දා මහා විද්‍යාලයට සේවයට එක් වන ඇය වසර තුනක කාලයක සිට එහි සේවය කරයි. අපුරු චිත්‍ර කලා නිර්මාණ හැකියාවකින් යුත් ශශින්තා ඇය පැමිණි ගමන් මඟේ දී තම නිර්මාණාත්මක කුසලතාව එළිදැක්වූ ආකාරය ගැන අපට හෙළි කළේ මෙලෙසිනි.

“ මගේ නිර්මාණ කලාව හරිම නිදහස්. ඒක එක මාධ්‍යයකට විතරක් කොටු වුණු චිත්‍ර කලාවක් නොවෙයි. නිදහස් මනස තුළ ගොඩනැගෙන ඕනෑම දෙයක් මගේ නිර්මාණයක් කර ගැනීම තමයි විශේෂත්වය. පැස්ටල්, දියසායම්, පැන්සල්, පෑන්, අඟුරු පවා මගේ නිර්මාණකරණයට යොදා ගන්නවා. භූමි දර්ශන, සත්ත්ව රූප, තාත්වික සිතුවම්, ත්‍රිමාණ සිතුවම්වලට තමයි මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ.

මම හැම වෙලාවෙම අලුත් නිර්මාණ කලාවක් ගැන අධ්‍යනය කරනවා. දැන් ස්වාභාවිකත්වයෙන් එහාට ගිය නිර්මාණ කරනවා. ඩිජිටල් මාධ්‍ය හරහා. ඒ වගේම බිත්තර කටු නිර්මාණ, ගස්වල කඳන්වල පවා චිත්‍ර නිර්මාණය කරනවා. ඇත්තටම මේ විවිධත්වයට තමයි මම කැමැති. එකම මාධ්‍යයකට සීමා නොවී අහුවෙන පෑනකින් හරි යම් දෙයකින් නිර්මාණය කිරීම තමයි මගේ උත්සාහය. මෙහෙම ලබන අත්දැකීම්වලට ළමයිනුත් කැමැතියි. ඒ දරුවෝ කැමැති නිදහසේ විෂය නිර්දේශයකට කොටු නොවී චිත්‍ර අඳින්න. ඒ තුළින් තමයි හොඳ නිර්මාණකරුවෝ බිහිවෙන්නේ.

මේ වගේ දරුවන්ට මම අතදෙන්න කැමැතියි. මගේ යූටියුබ් නාළිකාව හරහා දරුවන්ට චිත්‍ර කලා පාඩම් මාලාවක් කරනවා. ඒ වගේම මගේ අලුත්ම 3D චිත්‍ර කලාව වූ ගස්වල චිත්‍ර ඇඳීමේ කලාවත් ඉගෙන ගන්න පුළුවන්. මේ කලාව ඉතාම දුර්ලභයි. මට ඒක හම්බ වුණේ අන්තර්ජාලයෙන්."

ශශින්තාගේ චිත්‍ර කලාව තුළ ඇති අපුර්ත්වයට තවත් හේතුවක් වී ඇත්තේ ඇයගේ සැමියාගෙන් ලැබෙන සහයෝගයයි. නිදහසේ සිතුවම් කරන්න බොහෝ ඉඩකඩ ලබාදෙන ඔහු ඇයගේ නිර්මාණ නිරන්තරයෙන් අගයයි. එම නිදහස තුළ ඇය පින්සලක් අතින් අල්ලා නැති දරුවන්ට පවා චිත්‍ර කලාව නියම අයුරින් හැදෑරීම ට ලබා දෙන දායකත්වය ආදර්ශවත්ය.