වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
තාත්තාගේ සිත තුළ සිටි සංවේදී නිර්මාණකරුවා ඔහුගේ සැබෑ ජීවිතයේදීත් මම දැක්කා
දුවේ නුඹ මගේ ප්‍රාණයයි
සැබෑ වුණු සුඹ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පිය නඟන්නේ
සනුහරේ අභිමානයයි
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
ඉතාමත් අර්ථාන්විත පද සමුදායකින් හැඩ වූ මේ ගීතය සැබැවින්ම හැඟුම්බරය. විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන මේ ගීතයේ පදවැල් තුළින් ගම්‍ය වන්නේ අප හෙළ සංස්කෘතිය හා බැඳි පිය සෙනෙහසක අරුමැසියයි. මීට දශක දෙකකට පෙර බණ්ඩාර ඇහැළියගොඩ නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවාගේ පන්හිෙඳන් මේ ගීතය ලියවෙන්නට ඇත්තේ ඔහුගේ ආදරණීය දියණියට පමණක්ම නොවන බව අපට පසක් කරන්නේ ඒ ගීතය සෑම මංගල දිනයකම හදවතට දැනෙන ගීතයක් නිසයි. බණ්ඩාර ඇහැළියගොඩ නම් කෘතහස්ත ගේය පද රචකයා තම නිර්මාණකරණයේ මුල්ම කාලයේ ලියූ ගී අතර ජනප්‍රිය වූ එම ගීතය මෙන්ම ඔහු විසින් මෙතෙක් පදවැල් ගෙතූ ගී ප්‍රමාණය කෙතරම් දැයි කියා ගණනය කරන්නට බැරි තරම් ප්‍රමාණයක් අපට හෙළ ගීත සාහිත්‍ය පුරාම හමුවෙයි.
මෙලෙසින් හෙළ ගී අඹරට ගීත රාශියක් තිළිණ කළ පද රචකයාගේ ආදරණීය දියණියක් වන්නට භාග්‍ය හිමිවන්නේ ඔහුගේ වැඩිමහල් දියණිය අමාලී ඇහැළියගොඩ නම් අපේ යුගයේ නිර්මාණවේදිනියයි. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිර්මාණවේදියකුගේ දියණියක් ලෙසින් ඉතාම හෘදයාගම ෙළන්ගතුකමක් තම හදවත පුරාම රැඳි ඇය සෑමවිටම තම මුහුණ පුරා මන්දහාස සිනහවක් රඳවාගෙන සිටින්නේ ඒ ජ්‍යෙෂ්ඨ කලාකරුවාගෙන් ලැබූ ආදර්ශය නිසාම වන්නට ඇතැයි මට හැඟෙයි.
එවන් වූ පියකුගේ වැඩිමහල් දියණිය ලෙසින් ඇය තම පියාගේ අඩි පාරේම යමින් සාහිත්‍යකරණයේ නිර්මාණ රැසක්ම බිහිකර තිබීම ද ඇයගේ සුවිශේෂී කුසලතාවයකි. මේ වනවිට ගීත 15කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළ ඇය තම පිය සෙනෙහසේ වරුණ ගැන ගැඹුරින් අත්විඳි දියණියක ලෙසින් තම මතක ආවර්ජනයන් සටහන් කළේ මහත් ගෞරවයෙනි.
‘අපේ තාත්තා මුලින්ම කලා ලෝකයට ප්‍රවේශ වෙලා තියෙන්නේ හිටිවන කවි නිර්මාණකරණයෙන්. ඔහු මුලින්ම පත්තරවලට කවි ගීත ලියන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ. තාත්තාගේ හොඳම මිත්‍ර සමාගමක් වුණු අනුරාධපුරයේ අටමස්ථානාධිපති හේමාලෝක ලොකු හාමුදුරුවෝ ඔහුට හමුවෙලා තියෙන්නේ පෑනේ මිතුරකු ලෙසින්. තාත්තා මුලින්ම විශ්වවිද්‍යාලයේදී නාට්‍ය කලාවට යොමු වෙනවා. ඔහු වරක් හොඳම නළුවාට සම්මානය ලබනවා. මේ අාකාරයෙන් කලාවට ප්‍රවේශ වුණු තාත්තා අසූව දශකයේ මුල් භාගයේදී තමයි ගීත කලාවට යොමු වුණේ. ඒ කාලයේ තාත්තාගේ වඩාත්ම ජනප්‍රිය වුණු ගීත රාශියක් තිබුණා. තිරය ඇරෙනවා තිරය වැහෙනවා, ඔල්වරසන් හඬ පැතිරෙනවා, ගීතය තමයි ඔහුගේ පළමු ජනප්‍රියම ගීතය. ඊට පසුව ආජු තපර ලාහිලා, අන්න බලන් කොක්කු රෑන, වන්නි වන පෙතේ ගීත ඒ කාලයේ වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූ ගීත බවට පත් වුණා. අසූව දශකයේදී තාත්තාගේ ගීත වඩාත්ම ජනප්‍රිය වෙන්න හේතුව ගුවන්විදුලි සංස්ථාව. ඒ කාලයේ ගුවන්විදුලි ගීත සඳහා හොඳ ඉල්ලුමක් තිබුණු කාලයක් නිසා තාත්තාගේ නිර්මාණ රාශියක්ම බිහි වුණා.
අපේ තාත්තාගේ ගීත විශාල ප්‍රමාණයක් ගායනා කරලා තියෙන්නේ සුනිල් එදිරිසිංහ සූරීන්. ඔහුගේ ගීත සඳහා සංගීතය සැපයුවේ රෝහණ වීරසිංහයන්. මේ තිදෙනාගේ සුසංයෝගයෙන් තමයි හොඳ නිර්මාණ රැසක්ම සංගීත ලෝකයට දායද කරන්න අවස්ථාව ලැබුණේ. තාත්තාගේ ඒ කාලයේ සමකාලීන මිත්‍රයෝ රාශියක්ම හිටියා. කුලරත්න ආරියවංශ, මහාචාර්ය සුනිල් ආරියරත්න, වසන්ත කොබවක මහතා ඇතුළු ගුවන් විදුලි ගී නිර්මාණකරුවන් රාශියක් තාත්තා සමඟ සමීපව නිර්මාණකරණයේ යෙදුණා.
තාත්තාගේ ගීතවල වැඩියෙන්ම ගැබ් වී තිබෙන්නේ සමාජ යථාර්ථය, මිනිස්සු මුහුණ දෙන දුක් ගැහැට හා දුක්ඛ දෝමනස්සයන්... මේ සියලු දුක් අෙඳා්නා, සමාජ ගැටුම්, ආදරය, විරහව, අව්‍යාජත්වය කියන සෑම සමාජ සුපංචයකම ඔහුගේ නිර්මාණ සඳහා වස්තු බීජ වෙලා තිබුණා. ඒ නිසා ඒ සෑම ගීතයක්ම මිනිසුන්ගේ හදවතට තදින්ම දැනෙන ගීත බවට පත් වුණා. මම තාත්තා තුළින් දුටු වැදගත්ම දේ තමයි ඔහුගේ සෑම නිර්මාණයක් තුළම තාත්තාගේ සැබෑ ජීවිතය ලියවී තිබීම. ඒ කියන්නේ ඔහු සැමවිටම මහ පොළව සමඟ ගැටෙන සංවේදි පුද්ගලයකු ලෙසින් තමයි ඔහුගේ නිර්මාණ බිහි වෙන්නේ.
එ් සංවේදි පුද්ගලයා තුළ තිබුණු ගුණාංග සියල්ලම කලාව සමඟ බද්ධ වෙමින් තමයි ඔහු සමාජයේ ජීවත් වුණේ. අපේ තාත්තා හරිම සරල පුද්ගලයෙක්. ඒ සරලකම නිසාම තාත්තාට ඕනෑම දෙයක් දරා ගැනීමේ ශක්තියක් තිබුණා. මට මතකයි තාත්තා පසුගිය කාලයේ හොඳටම රෝගාතුර වුණා. ඒ අවස්ථාවේ ඔහුගේ වකුගඩුවක් අක්‍රීය වුණා. හෘද රෝග සැත්කමක් පවා කළා. නමුත් තාත්තා ඒ සියලු දේ ඉතාම සැහැල්ලුවෙන් විඳ දරාගෙන සිනහ වෙලා ඒ සියල්ලටම මුහුණ දුන්නා.‘
මෙලෙසින් තම පියා ගැන ගැඹුරු අර්ථකතනයක යෙදුණු අමාලී ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන ද සිහිපත් කළේ මහත් සතුටිනි. බැංකු නිලධාරියකු ලෙසින් සේවයට එක් වූ බණ්ඩාර ඇහැළියගොඩ සූරින් තම ජීවිතයේ රැස් කළ ධනයට වඩා නිහඬ සමාජ මෙහෙවරක යෙදුණු බව ද ඇය හෙළි කළේ මෙලෙසිනි.
අපේ තාත්තාට අම්මාව මුණ ගැහෙන්නේ අහම්බෙන්. තාත්තාගේ මිත්‍රයෙක් අසනීප වුණු වෙලාවේ තාත්තා ඔහු ළඟ ඉන්නවා. එතකොට අපේ අම්මා තිලකා මහානාම හමුවෙන්නේ රෝහලේ හෙද නිලධාරිනියක් ලෙසයි. අම්මා තංගල්ලේ, තාත්තා ඇහැළියගොඩ. මේ දෙන්නා විවාහ වුණාට පස්සේ තමයි මත්තේගොඩට එන්නේ. ඊට පස්සේ තමයි මුලින්ම මම ඉපදුණේ. මට පස්සේ නංගි භාග්‍යා නිර්මාණීයි මල්ලි අකලංක මාධවයි ඉපදුෙණ්. තාත්තා බැංකුවක සේවය කළත් එයා ලොකු මුදලක් හම්බ කළේ නැහැ. ඒ නිසා එයාට ඇහැළිගොඩ මහ ගෙදර හදන්න ලොකු වුවමනාවක් තිබුණා. එයාගේ මව මැරෙන්න පෙර ඒ ගේ හදන්න පටන් ගත්තා. නමුත් අපේ ආච්චි අම්මා අසනීප වෙලා හදිසියේම මිය ගියා. තවමත් ඒ ගේ තාත්තාට හදලා ඉවර කරගන්න බැරි වෙලා තියනවා. ඒක එයාගේ හිතට ලොකුවට දැනුණ සිදුවීමක්. නමුත් තාත්තා අසරණ මිනිස්සුන්ට උදව් කරනවා. ගෙවල් හදලා දෙනවා. ඒ වගේ චරිතයක් තමයි අපේ තාත්තා. එයා හරිම උණුවෙන හදවතක් තියෙන පුද්ගලයෙක්. අපේ මාළඹේ මහ ගෙදර ජනකලා කේන්ද්‍රයට එන ළමයි නවතිනවා. ඒ වගේ හරිම සංවේදි හිතක් තියෙන නිසාම තමයි තාත්තා අතින් හොඳ නිර්මාණයක් බිහි වුණේ කියලා මම හිතන්නේ. ‘වන්නි වන පෙතේ ගීතය ලියවෙන්නත් ඒ වගේ සිදුවීමකින්. අපේ සීයා මියගිහින් අවසන් කටයුතු කරලා එන අතර තමයි තාත්තා ඒ ගීතය ලියන්නේ. ඔහුගේ ජනප්‍රිය නොවුණු ඉතාම ගැඹුරු අර්ථ තියෙන ගීත ගොඩක් තියනවා. ස්වයංජාත නාට්‍යයේ ‘පාරමී දම් පුරා‘ ගීතය ඒ වගේ එක ගීතයක්.
තාත්තා ගීත නිර්මාණ විතරක් නොවෙයි. චරිතාපදාන රාශියක් ලියලා තියෙනවා. ඔහුගේ ඒ සෑම නිර්මාණයක්ම බිහි වුණේ ඔහු ජීවිතයේ ලබපු අත්දැකීම් නිසයි. ඒ අත්දැකීම් මගේ ජීවිතයටත් හරිම සමීප වුණා. සමහර වෙලාවට ඒ සමීපභාවය නිසා තාත්තාගේ ගුණාංග මටත් ලැබුණා කියලා මට හිතෙනවා. රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක් වුණු අමිල ජයසේකර සමඟ මම විවාහ වුෙණත් ඒ නිසයි. දැන් අපට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මම සේවය කරන්නේ සංවර්ධන පරිපාලන ආයතනයේ. මම රැකියාව කරන අතරේ මගේ උසස් අධ්‍යාපන කටයුතු සියල්ලම අවසන් කළා. කවි පොත් දෙකක් එළි දැක්වීමට අවස්ථාව ලැබුණා. ‘මං කැමැති නිල් අහසට, ඒ කන්ද පාමුල, යන මගේ කවි පොත් දෙක එළි දැක්වීමටත් තාත්තාගෙන් උපදෙස් රාශියක් ලැබුණා. ඒ නිසාම ඒ පොත් ඉතාම ජනප්‍රිය වුණා. මම හිතන්නේ අපේ තාත්තා ජීවිතය වින්දනය කළ හරි අපූරු මිනිසෙක් කියලා.‘