දෙවරක් නොසිතා දූස්රා බලන්න

තිලක්ෂිණි රත්නායක
අගෝස්තු 26, 2024

 

ඔව්, ඇය රතී, සුරූපී රතී මේ සමාජය, සංස්කෘතිය ඇතුළත ජීවත් වෙන්න වෙර දරන තවත් එක් යුවතියක්. හීන වලින් ජීවිතය ජය ගන්න හිතන රුවැත්තියක් දියණියක් සොයුරියක් පෙම්වතියක් බිරියක්.

රතී අපට මේ දිනවල රිදී තිරය ඔස්සේ ඒකාත්මික වේ. ඒ චන්න දේශප්‍රියගේ නවතම සිනමා කියැවීම වන 'දූස්රා' ඔස්සේය. ඇය දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියකි. තිලක්ෂිණි රත්නායක නම් වූ ඇය සැබැවින්ම භාග්‍යවන්තියකි. ඒ ඇගේ රංගනයේ අත්පොත් තැබීම මෙන්ම සිනමාවේ ආගමනය ද සිදුවන්නේ දැවැන්න අධ්‍යක්ෂවරුන්ගේ කතාබහට ලක්වන නිර්මාණ ඔස්සේ වන නිසාය. අශෝක හඳගමයන්ගේ 'ඇගේ ඇස අග', ප්‍රසන්න විතානගේගේ 'උසාවිය නිහඬයි', ලලිත් රත්නායකයන්ගේ 'විෂම භාග' ඒ අතර වේ.

රතී, ඔබේ ජීවිතයට ආගමනය වන්නේ කොහොමද?

රංගනය පිළිබඳ යම්කිසි පුහුණුවක ඉන්න කෙනෙක් විදිහට චන්න දේශප්‍රිය අයියා මාව හඳුනාගෙන සිටියා. ඒ අනුව තමයි මට 'දූස්රා' චිත්‍රපටය ලැබෙන්නේ. තිරපිටපත බලන්න කලින්ම මම 'හා' කිව්වා. පිටපත කියෙව්වම මට ආස හිතුණා. දෙපාරක් තුන් පාරක්ම කියෙව්වා. රංගනය කියන්නේ මං වසර කිහිපයක සිටම පුහුණු වන විෂයක්. ඒ පුහුණුවත් එක්ක මෙවැනි තිරපිටපතක් ලැබීම තරම් දෙයක් රංගන ශිල්පිනියකුට තවත් ඇතැයි කියලා මට හිතෙන්නේ නෑ.

බොහොමයක් යුවතින් කාන්තාවන් තුළ රතී ජීවමාන යැයි කිව්වොත්?

ඔව්, ඇයට කරන්නට නොමැති දෙයක් නැති තරම්. සෙල්ලම් කරන්න, දුවන්න, නටන්න, හිනාවෙන්න, ආදරය කරන්න, රඟන්න, අඬන්න, ගහන්න, බණින්න, මරන්න, සෙක්ස් කරන්න, අපයෝජනයට ලක් වෙන්න.... මෙකී නොකී සෑම දෙයක්ම. ඇයි ඒ විතරක්ද ලස්සනට ෆැෂන් කරන්න, රස්තියාදු විදියට අඳින්න, ඔහේ කඩමාල්ලක් ඇඳගෙන ඉන්නත් ඈට පුළුවන්.

රතීගේ රංගන කෞශල්‍යය පිළිබඳ මේ වන විටත් පැසසුම් ලැබී ඇති.

හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය හරහාත් එහෙමයි. මංගල දර්ශනය නරඹන්න පැමිණි බොහොමයක් ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් මෙන්ම සහෘදයින්ගෙන් එකකට එකක් වෙනස් විවරණයන් ලැබුණා.

මේ වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක්...

එවැනි ලේබල් මට අදාළම නැහැ. නිර්මාණයක් තුළ ජීවත් වන්නේම මම නොවන තවත් කෙනෙක්. ඒ කෙනාට තමන්ට පුළුවන් උපරිම සාධාරණය කරන්නයි ඕනෑම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් උත්සාහ කරන්නේ. මම වෘත්තාන්ත චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑව පළමු අවස්ථාව මේ.

'දූස්රා' දර්ශන තලයත් ඔබට හොඳ වේදිකාවක් වන්නට ඇති...

2020 වසරෙදි තමයි ෂූටින් ඉවර කළේ. සජිත ඇන්තනි, ලක්ෂාන්, ශ්‍යාම්, වසන්ති රන්වල, විශාකා සිරිවර්ධන අපි හරි විනෝදයෙන් කාලය ගත කළා. ඇය දැන් අපි අතර නැහැ.

දූස්රා චිත්‍රපටයට, රතීට සිංහල සිනමාවේ නව පරිච්ඡේදයක් පෙරළිය හැකියි කියා ඔබට සිතෙනවාද?

දූස්රා ප්‍රේක්ෂකයන්ගේ සිත්වලට දැනෙන නිර්මාණයක්. අපේ මිනිස්සු සිංහල චිත්‍රපටයක් බලන්න යන්න කලින් දහදොළොස් වතාවක් හිතනවා. මේක හොඳයිද? මේකට වියදම් කරලා තේරුමක් තියෙයිද? අපිව විශ්වාස කරලා මේ චිත්‍රපටය බලන්න එන්න. කර්මාන්තයක් ලෙස මෙය රඳා පවතින්නේ ප්‍රේක්ෂකයන්ගේ රුචි අරුචිකම් මත. ඔවුන් කෙරෙහි ආකර්ෂණය නොවේ නම් අපි කරන දේවලින් පලක් නැහැ.

මම ඇතුළු සහෘද නළු නිළි කැලම උදේට නැඟිටලා Breathing Exercise කරන තැනේ ඉඳන්ම සියලුම කැප කිරීම් කරන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැඳෙන්න. සිනමා කර්මාන්තය පෝෂණය වන්නේ එහි පැවැත්ම රඳා පවතින්නේ ආදරණීය සිනමා ලෝලීන් මතයි. ඒ නිර්මාණ කෙරෙන පිළිවෙළට ප්‍රේක්ෂකයන්ට මුදාහැරෙන්න ඕනේ.

මේ දිනවල මම වැඩි කාලයක් යොදවන්නේ මේ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්.

රංගනය සම්බන්ධයෙන් ඔබේ හැදෑරීම කෙබඳුද?

මම පාසල් ගියේ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. නෙරන්ජන් චන්ද්‍රාදිත්‍යගේ 'කිරි නාට්‍යයක්' වේදිකා නාට්‍යයේ රඟපානවා. එවකට සියලුම ජාතික තලයේ නාට්‍ය උළෙලවල් නියෝජනය කරන්න එයට හැකි වනවා. ඒ වෙද්දි මට විධිමත් පුහුණුවක් තිබුණෙ නෑ. ඒ නාට්‍යයෙන්මයි මම රඟපෑම පිළිබඳ පුහුණුව ලැබුවේ. ජාතික තලයේ උලෙළවලින් රංගනයට ඇගයීම් ලැබෙන්නට පටන් ගන්නවා.

ඊට පස්සේ සෝමලතා සුභසිංහයන්ගේ කලායතනයට සම්බන්ධ වනවා. කෞශල්‍යා ප්‍රනාන්දු, ආචාර්ය චන්දන අලුත්ගේට මම ස්තුතිවන්ත වනවා. එතැන් පටන් මම රඟපෑ වේදිකා නාට්‍ය, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට, මියුසික් වීඩියෝ, ටෙලිනාට්‍ය, වෘත්තාන්ත චිත්‍රපට මේ හැම දේකදීම මට හමුවුණු සියලුම අධ්‍යක්ෂවරුන්, තාක්ෂණික ශිල්පීන්, අංග රචනා ශිල්පීන්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්, සංස්කාරකවරුන්, කැමරා අධ්‍යක්ෂකවරුන් ඔය සෑම දෙනාම මට යම්කිසි දැනුමක් එකතු කරපු අය. මගේ රංගන දිවියට දෙයක් එකතු කරපු අය.

ඔබ නර්තන ශිල්පිනියක්...

කතක් නර්තනය පිළිබඳ මට මූලික පුහුණුවක් තියෙනවා. එය වර්ධනය කර ගනිමින් ඉන්නේ. ඒ වගේම බැලේ නර්තනයේත් යෙදෙනවා.

ඉදිරියේදී ඔබේ රංගන කෞශල්‍යයන් දැක ගත හැකි වන්නේ...

පාලිත පෙරේරාගේ 'එලිෆන්ට් පාස්', ඩිලංක රංගනාත්ගේ 'ඩිංගා' මේ චිත්‍රපට දෙක තමයි එන්න තියෙන්නේ. ටෙලි නාට්‍ය නම් මේ දවස්වල මුකුත්ම භාර අරගෙන නෑ. වේදිකාවේ ස්වයං අධ්‍යයනයක නිරත වෙන ගමන් ඉන්නේ.

ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෙරෙන නිර්මාණවලට දායක වී නැද්ද?

ඉංග්‍රීසි භාෂාව මට හොඳින් හසුරුවන්න පුළුවන්. නමුත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට හදවතටම අමතන්න පුළුවන් හොඳම භාෂාව අපේ මව් භාෂාව කියලයි මට හිතෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණ කටයුතුවල යෙදෙන පුහුණුව අපේ ජීවිතයට වැදගත්.

ඔබේ සැමියා නලින් ලුසේනාත් හොඳ නිර්මාණ කාර්යයක නියැලෙන තැනැත්තෙක්...

පසුගිය වසරේ ජනවාරි මාසයේදී අපි විවාහ වුණා. ක්ෂේත්‍රයේ ඔහුට ඇති අත්දැකීම්, පරිණතභාවයන්, අවබෝධයන් බොහෝයි. නිර්මාණකරුවන් ලෙස හොඳ තේරුම් ගැනීමක් සමඟ පවුල් ජීවිතය සාමාන්‍ය ගැහැනියෙක් සහ පිරිමියෙක් ලෙස පවත්වාගෙන යනවා.

ඉදිරියේදී මේ මේ ඉලක්කයන් සපුරාගත යුතු යැයි සිතනවාද?

ඇත්තටම නැහැ, වසර පහකින් වසර දහයකින් මේ මේ දේවල් කරනවා කියලා මම හිතලා නැහැ. මට දැනෙන දෙයක් කරන්නයි හැමවිටම ඕන වෙන්නේ. ඒ සඳහා ස්වයං අධ්‍යයන කටයුතුවල යෙදෙන්න මම හැම විටම උත්සාහ ගන්නවා.

මොස්කව් ජාත්‍යන්තර සිනමා උලෙළ 2021,

22 වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ 2023, කල්කටා ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කළ ලක්ෂාන් අබේනායක මාක් ටෙයිසර් නිෂ්පාදනය කළ, චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ 'දූස්රා' වෙතින් 'රතී' නොහොත් තිලක්ෂිණි සම්මානනීය නිළියක් වන පෙරනිමිති පළ කරයි.

සුරූපී රතීගේ සරාගී ආදර කතාව තුළ ඔබේත් මගේත් ආදර කතාව ලියැවී ඇති.

 

ඉගිළෙන්න පෙරුම් පිරුවාට නුඹ

ආකාසේ උඹේ හීනෙට තාම

තටු ඇවිත් නෑනේ

ජැක්ලින්, ප්‍රියංකා, දීපිකා මවාගෙන

ඇඳේ උඩ බලාගෙන හීන දැකපන්

රෑට පාරේ යන අපි වගේ

අහිංසක කෙල්ලන්ට

බොරු නම් එපා පාඩුවේ ඉඳින්

 

 

ඡායාරූප - ශාන් රූපස්සර