ගැහැනු පිරිමින්ට වඩා තුන් ගුණයක් කතා කරනවා ඒ නිසා පරිස්සමින්

අප්‍රේල් 14, 2021

 

“ගෙයි ගිනි පිටට දෙන්න එපා. පිට ගිනි ගෙට ගන්න එපා. “ විශාඛා උපාසිකාවට ලැබුණු ඒ අවවාද සදාතනිකව සියලුම බිරින්දෑවරුන්ට වලංගුයි. සිතන්න. දවසේ එළිවූ මොහොතේ සිට නිවෙසින් වැඩිවශයෙන්ම ඇසෙන්නේ ගෘහණියගේ හඬයි.

ඒ හඬ ගිනි කන්දකින් ගලන ලෝදිය මෙන් උණුසුම් වාග් ප්‍රහාරයක්, දිය ඇල්ලකින් ගලන සිසිල් දිය දහරක් මෙන් ආදරණීය හඬක් වීමට පුළුවන. ඇයගේ හඬ එතැනින් නතර වන්නේ නැහැ. ඇය යන්නේ කොතැන ද ඇයගේ හඬ පරිසරයේ නිහඬ බව බිඳ දමයි.

දෙහදක් ආදරයෙන් ළං වෙද්දී ගැහැනියගේ හඩ පිරිමියකුට ඇසෙන්නේ කනට වත් කරන මී පැණි වාගේ මිහිරටයි. එහෙත් විවාහ වී වසර දෙක ගත වෙද්දී “ වඳින්නම් ඔය කතාව නතර කරනවද? “ කියා පිරිමියෙක් නො පැවසුවොත් පුදුමයක්. කෙළවරක් නැති කතාව නිසාම පිරිමියාට ගැහැනියව වධක බාරියක් බවට පත් වෙනවා.

පුදුමයක් නො වෙයි අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ගැහැනිය දිනකට වචන 20,000 ක් කතා කරද්දී පිරිමියකු කතා කරන වචන ගණන හත් දහසකට සීමා වන බවයි. මෙය සමස්ථ ගැහැනුන්ට හා පිරිමින්ට පොදු වූවක් නො වුණත් බහුතරයකටම පොදුවූ ඇත්තක්.

“ ගැහැනුන්ගේ දිව බැටළුවාගේ වලිගෙ වගේ. වලිගෙ කෙළින් වෙලා තියෙන වෙලාවක් ඇත්තෙම නැහැ. “ කියා පැරැණි ඉංග්‍රීසි කියමනක් ද තිබෙනවා. අතීත ග්‍රීක ජාතිකයන් කාන්තාවන්ගේ නිමක් නැති කතාව දුර්වලකමක් ලෙස දක්වා තිබෙනවා. වැඩි කතාව ස්ත්‍රී පාර්ශ්වයට මොන තරම් කැළලක් ඇති කරනවා ද කිව්වොත් ඕපාදූප සමඟ බැඳී ඇත්තේ ද ඇයගේ නාමයයි.

ඕපදූප කතා කරන පිරිමින් කොපමණ සිටියත් ගැහැනියට පරපුරෙන් පරපුරට ඕපාදූප දොඩවන්නිය යන ලේබලය ඇලවී තිබෙනවා.

පිරිමින් අඟහරු ලොවෙන් පැමිණෙද්දී ගැහැනුන් සිකුරු ලොවින් පැමිණෙන බව කියන්නේ ගැහැනු කමේත් පිරිමි කමේත් කැපී පෙනෙන වෙනස්කම් ඇති නිසයි. මේ දෙපිරිසේ මාතෘකා ද බොහෝ විට එකිනෙකට වෙනස්. පිරිමින් ද්‍රව්‍ය ගැන කතා කරද්දී කාන්තාවන් සම්බන්ධතා හැඟීම් ගැන කතා කරයි. එකිනෙකාගේ මේ වෙනස පවුල් ජීවිතයට ද බලපායි.

විවාහ ජීවිතයට ගැහැනියගේ වචන 20,000 බාධාවක් කර නො ගන්නේ කොහොමද? ඒ වගේම පිරිමියකු සිය දෛනික වචන හත් දහසේ වචන එකතුවෙන් පවුල සාර්ථකව ගෙන යාමත් අතුරේ යනවා වගේ වැඩක්.

කතා බහ නැත්නම් වචනයෙන් කෙරෙන සන්නිවේදනයට යුවළක් අඩු වශයෙන් දිනපතා මිනිත්තු 20 - 30 ක් වත් වෙන් කරන්න ඕන. අනෙකාගේ සිත කියවනවාට වඩා මුවින් කෙරෙන දෙබස යුග දිවියට වැදගත්. එකිනෙකාට සවන් දීමට තරම් දෙදෙනා නම්‍යශීලී විය යුතුයි. බොහෝ පති පතිනියන් සුබවාදී හැඟීම්වලට වඩා අසුබවාදී වදන් පාලනයකින් තොරව ක්ෂණිකව පිට කරන්න රුසියන්. මෙය යුග දිවියට එකතු වෙන විසක්. අගය කිරීම, ආදරය කිරීම, ගරු කිරීම වැනි සුබවාදී හැඟීම් දෙදෙනාගේ කතා බහේදී හුවමාරු වීම දෙන්නා මියෙන තුරුම අලුත විවාහපත් යුවළක් සේ බැඳීමකින් තබා ගැනීමට හේතු වෙනවා. කතා බහේදී දෙන්නාගේ දෑස් එකිනෙකා වෙත පමණක්ම යොමු වී තිබිය යුතුයි. එක් අයකු හෝ ඉවත බලාගෙන සිටිනවා නම් එයින් සිතා ගත යුත්තේ සවන් නො දෙන බවයි.

බිරියක් සැමියා සමඟ කිසිවිටකත් වාද නො කළ යුතුයි. කතාවේදී සැමියා හා අන් පිරිමින් සංසන්දනය කිරීම ද නො කළ යුත්තක්. අඹු සැමියන් අතර ජයග්‍රාහකයකු හා පරාජිතයකු නො සිටිය යුතුයි. ඒ නිසා කතාවෙන් ජය ගැනීමට උත්සාහ ගැනීම විවාහ දිවිය දිව නිසාම නීරස කර ගැනීමක්. කෙතරම් වෙහෙසට, ආතතියට පත් වුණත් සිත රිදවන වදන් පවසන්න එපා. එයින් හදවතේ ඇතිවන කැළැල් නො මැකී පවතිනවා. දරුවන් ඉදිරියේ වාද කිරීම සුදුසු නැහැ.

අතීතයේ සිටම “ගෙයි උළු ටික පාත් වෙන්න කෑ ගහන්න එපා ළමයෝ “ කියන අවවාදය ගැහැනු දරුවන්ට මිත්තණියගෙන් මවගෙන් ලැබෙනවා. කතාවේදී කාන්තාවකට හඬ පාලනය ඉතා වැදගත්.

බිරියක ලෙසින් නව නිවෙසකට යද්දී කට පරිස්සම් කර ගත්තොත් යුග දිවියත් ඉබේම පරිස්සම් වෙනවා. අඹු සැමියන් අතර පමණක් නොව නැන්දා - ලේළි ගැටුම්, නෑනලා අතර ඇතිවන කෙහෙවලු පටලවා ගැනීම්වලට නැවතීමේ තිත තියන්න ඉබ්බා කට ඇරියා වාගේ නැතිව කටට ඉබ්බා දැම්මා වාගේ තබා ගත්තොත් පුළුවන්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.