අභියෝග හමුවේ නොසැලී ජීවිතය දිනූ ළඳක්

කොරෝනා කාලේ ඇසෙන කතා
අප්‍රේල් 21, 2021

 

 

ඇය තිළිණි දුල්ලෑව. මට ඇය හමුවුණේ කාන්තාවන්ට තම ජීවිත අත්දැකීම් බෙදාගන්න අපූරු තෝතැන්නක් වූ IBM ෆේස්බුක් ගෘප් එකේදි. ජීවිතේ දුක් කරදර මැද දී වුවත් ශක්තිමත්ව, ධනාත්මකව සිතමින් ජීවිත අභියෝගවලට මුහුණ දෙන ඇය අපේ කාන්තාවන් හැමෝටම ආදර්ශයක්. ඇත්තටම ඇය ආදර්ශවත් කාන්තාවක්. මවක්. බිරියක්. විවිධ කාලවල දී විවිධාකාර අත්දැකීම්වලට මුහුණ දී ඇති ඇගේ සම්පූර්ණ කතාව මේ පත්ඉරුවේ සටහන් කරන්න ඉඩමදි. ඒ තරමටම ඇය තම ජීවිතයේ මුල් අවධියේ දී අභියෝගවලට මුහුණ දුන් දිරිය කතක්.

ලැජ්ජාව නිසා යහපත් මාර්ගවලින් කීයක් හරි හම්බ කරන්නට මැළිවන අපේ ළඳුන්ට ඇගෙන් ගත හැකි පාඩම් බොහෝයි. ඔබටත් ඇය මෙන් සිතන්නට හැකි නම් ජීවිතය දිනීම අපහසු නොවනු ඇත. මේ ඇගේ කතාවයි.

 

"ජීවිතේ කියන්නේ ලැබීම් නොලැබීම් අත්දැකීම් එක්ක ඉස්සරහට ගලාගන යන ලස්සන කතාවක්. මමත් ඒ වගේ කතාවක අයිතිකාරියක්. ලැබීම් අඩු වුණත් නොලැබීම් වැඩි වුණත් මම මගේ කතාව ලස්සනට ලියාගෙන යන්න උත්සාහ කරනවා. ඒ මගේ පස්සෙන් මගේ අතින් අල්ලන් යන්න පොඩ්ඩෝ තුන් දෙනෙක් ඉන්න නිසා.

මේ කාලය අපි හැමෝටම අපහසු කාලයක්. ඇතමුන්ට දවසේ කෑම හොයාගන්න එකත් අභියෝගයක් වෙලා තියෙද්දී සමහර අයට ඊළඟ වේලට කොයි වගේ අලුත් කෑම වර්ගයක් ද හදන්නේ කියන එක ප්‍රශ්නයක්. ඉස්සර ඔය දෙවැනි ගොඩේ හිටපු මම දැන් සමහර දවස්වලට ඉන්නේ පළවැනි ගොඩේ. කොරෝනා එක්ක මගේ ගෙදර තිබ්බ ප්‍රධාන ආදායම් මාර්ගය කඩා‍ෙගන වැටුණා ආ‍ෙය කවදා ගොඩ නැගෙයි ද කියලා දවසක් වත් හිතාගන්න බැරි විදිහට. ඉතුරුම් කියලා ළඟ තිබ්බේ රත්තරන් බඩු ටිකයි මාසෙට ලෝන්වලට කැපිලා අතට එන මගෙ මාසික පඩියයි විතරයි. පළවැනි මාසේ දෙක සල්ලි නැති වෙද්දී ගෙදර අඩුපාඩු වැඩි වෙද්දී පොඩ්ඩෝ එක එක් දේවල් ඉල්ලලා අඬද්දී මට ගොඩක් තරහා ගියා. හස්බන්ඩ් එක්කත් රණ්ඩු වුණා.හැබයි කාලයත් එක්ක අපි හැමෝම මේ ජීවිතේට හුරු වුණා.

මම රජයේ සේවිකාවක්. මහ ලොකු තනතුරක් දරණ කාන්තාවක් නෙවෙයි. නිතර සමාජය හා ගැටෙන රාජ්‍ය ආයතනයක සේවය කරන්නේ. ඉතින් දවසට කාර්යාලයේ කාර්ය මණඩලයට අමතරව බාහිර පුද්ගලයන් පිරිසකුත් සමඟ කතා කිරීමට, හඳුනා ගැනීමට ලැබෙනවා. ඉස්සර ඔෆිස් එකේ අතිකාල කරන්න එන අයට ළමයි ගෙවල්වල දාලා ඇවිත් සති අන්තෙත් වැඩ කරනවා කියලා හිතින් බැණපු මම අද එයාලත් එක්කම සති අන්තෙත් වැඩ කරනවා. මගේ හස්බන්ඩ් ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. ඉතින් මේ කොරෝනා නිසා මගේ හස්බන්ඩ් ගේ රැකියාව දින නියමයක් නැතුව අහිමි වුණා. ඔන්න ඔතැනින් තමයි කතාව පටන් ගන්නේ. හස්බන්ඩ් ට රැකියාව නෑ. එහෙමයි කියලා හස්බන්ඩ් කැමැති වුණේ නෑ ගෙදරට වෙලා ඉන්න. අපිට බබාලා තුන් දෙනෙක් ඉන්නවා. සංචාරක ක්ෂේත්‍රයේ කිසිම රැකියාවක් නැති නිසා හස්බන්ඩ් රියැදුරු රැකියාවක් සොයා ගන්න උත්සාහ කළා. නමුත් ඒක හරි ගියෙත් නෑ. ඔය කාලේ තමයි මඤ්ඤොක්කා, ඌරූ මස් රැල්ල ආවේ. ඉතින් හස්බන්ඩ් මගෙන් ඇහුවා මම ඒක කරන්න ද කියලා. හස්බන්ඩ් ට රසට කෑම හදන්නත් පුළුවන් නිසා මමත් හා කිව්වා. සුද්දෝ එක්ක රට පුරා ACකරපු වාහනේක යමින් වැඩ කරපු මගේ මහත්තයා ඔන්න පාර අයිනෙ තියාගෙන වැඩේ පටන් ගත්තා.

මගේ යාළුවෝ, නෑදෑයෝ කෝල් කර කර මගෙන් අහනවා අහවල් තැන අරවා විකුණන්නේ ඔයාගේ හස්බන්ඩ් නේද? ඔයාට ලැජ්ජා නැද්ද අනේ කියලා. මම හැමදාම වැඩ ඇරිලා රෑට බබාලත් අරන් හස්බන්ඩ් කෑම විකුණන තැනට යනවා ඉතින් කාර්යාලයේ වැඩ කරගන්න එන අයත් හම්බෙනවා මේ මිස්ගේ මහත්තය ද අහනවා. අනේ ඒ වුණාට මට නම් කිසිම ලැජ්ජාවක් හිතුන‍ෙණ් නෑ.

මටත් මගේ හස්බන්ඩ්ටත් තිබ්බේ එකම බලාපොරොත්තුවයි. ඒ වෙනසක් නැතුව මගේ පොඩ්ඩො තුන් දෙනාව ජීවත් කරන එක. එයාලත් මේ අත්දැකීම් එක්ක ගොඩක් වෙනස් වුණා. ඉස්සර ගෙදරට කෑමක් ගෙනාවම කන්න පොර කරන ලොකු බබාලා දෙන්නා දැන් මොනවා හරි ගෙනාවම කියනවා මල්ලිට පස්සෙ දෙන්න අම්මා අපේ ඒවත් අරන් තියන්න කියලා. පොඩ්ඩා ගොඩක් පොඩි නිසා එයාට අපේ අඩුපාඩුකම් තේරෙන්නේ නෑ. එයා නිතරම කන්න දේවල් හොයනවා. ලොක්කෝ දෙන්නාට ඒවා පෙනෙන දැනෙන නිසා එයාලා කැමැත්තෙන්ම දැන් පොඩ්ඩට තැන දෙනවා. දැන් එක වේලක් බඩගින්නේ ඉන්න වුණත් අපිට පුළුවන්. අපිට අපේ පොඩ්ඩෝ විශ්වාසයි. පොඩ්ඩො දන්නවා එයාලගේ අම්මයි අප්පච්චී යි එයාලට දෙන්න පුළුවන් උපරිම දේ තමයි දෙන්නේ කියලා.

ඊට පස්සේ කොරෝනා දෙවැනි රැල්ල ආවා. ඒ අතරේ කෑම විකුණන එක නතර වුණා. ඊට පස්සෙ හස්බන්ඩ් අපි මඤ්ඤොක්කා ගත්ත මුදලාලි ළඟ වැඩට ගියා. සමහර දවසට මඤ්ඤොක්කා ගලවලා අත්වල කර ගැට. උදේට මඤ්ඤොක්කා ගලවලා හවස පාර අයිනේ තියාගන විකුණනවා. ඕක ඉතින් සපත්තු මේස් දාලා කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි නේ ෂෝටක් ඇඳලා බාටා දෙකක් දාගන යන්නේ. මම වැඩ ඇරිලා එන ගමන් සාරිය පිටින් එතැන කතා කර කර ඉන්නවා දැකලා ඔෆිස් එකේ මිස් කෙනෙක් කිව්වා මෙයා ඊයේ හවස මඤ්ඤොක්කා කාරයෙක් එක්ක කතා කර කර හිටියා මීටරේ දුර වත් තිබ්බේ නෑ කියලා.

ඒ වෙනකොටත් මම සමහර අයට කියලා තිබ්බේ හස්බන්ඩ් පාරේ මඤ්ඤොක්කා විකුණනවා කියලා. ඉතින් අර මිස් මගෙන් ඇවිත් සමාව ඉල්ලුවා. ඒ ඔයාගේ හස්බන්ඩ් කියලා දන්නේ නෑ කියලා. ඊටපස්සේ මඤ්ඤොක්කා ඉවර වුණාම හස්බන්ඩ් ගස්ලබු කඩන්න ගියා. ගස්ලබුවල කිරිවලට අත් දෙකම වණ වුණා. තුවාල දැම්මා. පස්සේ මාසයක් විතර මොනවත්ම නොකර ගෙදර ඉන්න වුණා තුවාල හොඳ වෙනකන්. මේ දවස්වල එයා ලොරියක සතියට දවස් තුනක් වැඩ කරනවා. ඉතුරු දවස්වල හිස් බෝතල් හොයන්න යනවා.

ඔන්න ඕක තමයි කතාව. මගේ හස්බන්ඩ් මහා ලොකු තනතුරක් දරපු සල්ලිකාරයෙක් නෙවෙයි. නමුත් එයා සමාජයේ පිළිගත්ත රැකියාවක් කරපු කෙනෙක්. ඉතින් එහෙමයි කියලා අඳුරන අය දකී කියලා ගෙදරට වෙලා හිටියා නම් සමහර විට මායි මගේ ළමයි තුන් දෙනයි ලොකු ප්‍රශ්නවලට මූණ දෙන්න තිබ්බා. ලොකු බබාලා දෙන්නටම ඔන්ලයින් ක්ලාස්.

මගේ පැත්තට හැරෙන්නකෝ. මම අහවල් තැන වැඩ කරන්නේ. ඔෆිස් එකේ අය දකී. වැඩ කරගන්න එන මිනිස්සු දකී කියලා මට නම් ලැජ්ජා හිතුනේ නෑ. රස්සාවක් නොකර ගෙවල්වලට වෙලා ගෑනි හම්බකරන එකෙන් කන පිරිමි ඕනෙ තරම් මම දැකලා තියෙනවා. හම්බ කරන හැම සතේම බීමත්කමට වියදම් කරන පිරිමි දැකලා තියෙනවා. හම්බකරන සල්ලි වෙන් ගෑනුන්ට වියදම් කරන පිරිමි දැකලා තියෙනවා. ඉතින් එහෙම පිරිමි මැද්දේ මගේ හස්බන්ඩ් ගැන හදවතින්ම සතුටු වෙනවා. හොරකම්, වංචා නොකර තමන්ගේ මහන්සියෙන් ගෑනු දරුවෝ ජීවත් කරන සැමියෙක් ඉන්න එක ගැන මම අදත් හෙටත් හදවතින්ම ආඩම්බර වෙනවා. රස්සාවට අමතරව මම සුබපැතුම් පත් හැදුවා. පොඩි පොඩි මල් සැරසිලි කළා. ඒත් කොරෝනා එක්ක ඒවා නැවතුණා. දැන් මම ආයෙත් ඒවා පටන්ගත්තා. කොන්ඩා මල්, බෑන්ඩ් වගේ අත්කම් නිර්මාණ කරලා දැන් මම ෂොප් කිිපයකට දානවා. එකක් නැති වුණත් තව දෙයක් පටන් ගන්නවා ඇරෙන්න ජීවිතෙන් මම පැනලා යන්නේ නෑ. ආයෙමත් අලුතින් හැමදේම පටන් ගන්න මමත් මහත්තයත් මගේ බබාලා තුන් දෙනත් බලන් ඉන්නවා.

ජීවිතේ අමාරු කාලවල අපේ ජීවිතේට ලස්සන පාඩම් කියලා දෙනවා. ඒ ලස්සන පාඩම් අපේ ජීවිත සතුටු කරාවී. සුන්දර කරාවි. ජීවත් කරාවී."

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.