ස්මාට් ෆෝන් එක සෙල්ලම් බඩුවක් නෙවෙයි

අප්‍රේල් 21, 2021

 

අපට හොරා පරම සතුරකු බවට පත්වන ජංගම දුරකතනය ගැන දැනගත යුතුම කතාවක්...

 

සිග්නල් අඩු විදුලි සෝපාන, පොළොව යට ඇති අංගන වැනි තැන්වලදී ජංගම දුරකතන භාවිතය සීමා කළ යුතුය.

 

පිට සක්වලින් ජීවියෙක් මෙරටට පැමිණියොත් සිතෙන්නේ මෙරට ජීවීන්ට කනේ ආබාධයක් ඇතැයි කියාය. ඒ සැවොම ජංගම දුරකථනය සෑම මොහොතකම භාවිත කිරීම නිසාය. නිතරම නිදහස්ව ඇත්තේ එක් කනක් හා එක් අතක් පමණි.

නො කෑවත්, නිදා නො ගත්තත් ස්මාට් ෆෝනයේ / ජංගම දුරකථනයේ බැටරිය බැසීම තරම් දරුණුවට මොළයට හෝ හදවතට ඒ අඩුපාඩුකම් දැනෙන්නේ නැත. මේ මෙවලමට ඇබ්බැහිවීමෙන් බාල, තරුණ, මහලු ජීවිත මාරයාට බිලි දෙන අවස්ථා එමටය. අපේ දෛනික ජීවිතයට නැතිවම බැරි සෙවනැල්ලටත් වඩා අත්‍යාවශ්‍ය වන ස්මාට් ෆෝනය / ජංගම දුරකථනය බොහෝ තාක්ෂණික මෙවලම් මෙන් අපට ද සොරා පරම සතුරකු බවට ද පත්වෙයි. ඒ සියයට අනූවක්ම වාගේ අපගේ වරදින්ය.

මිනිසා විසින් සොයා ගත් මෙවලමකට මිනිසාම වහලකු වීම ප්‍රධාන වරදය. වසර ගණනාවක සිට ජංගම දුරකථන සහ මොළයේ පිළිකා අතර සබඳතාවක් ඇති බවට රාවයක් පැතිර යමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ජංගම දුරකථනවල යම් තරමකට පිළිකා කාරක විකිරණ ඇති බවට එකඟ වී තිබෙයි.

ජංගම දුරකථනය භාවිත කිරීමේදී හිසට මෙන්ම දුරකථනයට සමීප සිරුරේ අවයව පටකවලට මේ විකිරණ උරා ගනියි. කෙනෙක් ජංගම දුරකථනයේ ගත කරන කාලය වැඩි වන තරමට, හිසට සමීපව දුරකථනය තබා ගනිද්දී, ජංගම දුරකථන භාවිත කරන අධික පිරිසක් මැද දුරකථනය භාවිත කරද්දී විකිරණවලට නිරාවරණය වීම වැඩි වෙයි. භාවිත කරන දුරකථනයේ වර්ගය අනුව පිටවන විකිරණ ප්‍රමාණය වෙනස් වෙයි.

හැත්තෑව දශකයේ සිට මොළයේ ගෙඩි ඇති වීම වැඩි වෙමින් පවතියි. එකල ජංගම දුරකථන තිබුණේ නැත. දැන් ජංගම දුරකථන මේ ප්‍රවණතාව වැඩි කරමින් පවතියි. හිසට සමීපව ජංගම දුරකථන භාවිත කිරීම නිසා පිළිකාමය ගෙඩි (ග්ලයෝමාස්), පිළිකාමය නො වන මොළයේ ගෙඩි (මෙනින්ජියෝමාස් ) මොළය හා කන සම්බන්ධ කරන ස්නායු ආශ්‍රිතව ඇති වන පිළිකාමය නො වන ගෙඩි, ඛේඨ ග්‍රන්ථිවල ගෙඩි සෑදීමේ අවදානමක් ඇති බව පර්යේෂණවලින් හෙළිවී තිබෙයි. සිරුරට සමීපව තබා ගැනීම නිසා කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමටත්, පිරිමින් වඳ වීමටත් ඉඩ තිබෙයි.

දැනගෙන ගියොත් කතරගම, නො දැන ගියොත් අතර මඟ මෙන් අපේ මෙවලම් මිතුරා සතුරකු හෝ මිතුරකු වන්නේ එය අප භාවිත කරන ආකාරය අනුවය. ජංගම දුරකථනය නිර්මාණය වූයේ පණිවුඩ හුවමාරු කර ගැනීමටයි. එහෙත් දැන් එය මඟුල් කපුවෙකි. මාරයෙකි. ගුරුවරියකි. කැළෑ පත්තරයකි. රඟහලකි. කප් රුකක් මෙන් එයින් ලබාගත නො හැකි දෙයක් නැති තරම්ය. මේ කුමන ප්‍රයෝජනය ලබාගත්ත ද දුරකථනය අප තබා ගත යුත්තේ සිරුරට හැකි තරම් දුරිනි. දුරස්ථ භාවය කොරෝනා වෛරසයෙන් බේරීමට මෙන්ම විකිරණවලින් බේරීමේදීත් වැදගත් වෙයි. හැකි සැම විටම ස්පීකර් ෆෝන්, හෑන්ඩ් ෆ්‍රී භාවිත කරන්න. 20% බැටරිය බසින තුරු නොසිට චාර්ජ් කර ගැනීමත් වැදගත්ය. බැටරිය චාජ් නො කර භාවිත කිරීමෙන් ද අවදානම වැඩි වෙයි.

සිග්නල් අඩු විදුලි සෝපාන, පොළොව යට ඇති අංගන වැනි තැන්වලදී ජංගම දුරකථන භාවිතය සීමා කළ යුතුය. ජංගම දුරකථන කෙතරම් හිතට, හදවතට සමීප වුවත් කෑම කන විට, නිදා ගන්නා විට එය අසලකින්වත් තබා නො ගන්න. කතා කරනවාට වඩා පණිවුඩ නැත්නම් මැසේජ් යැවීම මඟින් විකිරණ අවදානම අඩුකරගත හැකිය. වාහනයක ගමන් කරන අතරේ කිසිවිටකත් ඇමතුම් නො දෙන්න. මොළයේ පිළිකා වාගේම ජංගම දුරකථන භාවිතයේ තවත් අනිටු විපාකයක් වන්නේ වාහනය පදවන අතර තුරේ ඇමතුම් ගැනීම හා පණිවුඩ යැවීමයි. සෑම වසරකම මිලියන 1.6 ක් ජංගම දුරකථන භාවිතය නිසා මහමඟ අනතුරට ලක්වෙයි. රිහ දය පදවන විට ජංගම දුරකථනය භාවිත කිරීම අනතුරක් වීමට ඇති ඉඩ සියයට හාරසියයකින් වැඩි වන බව සොයා ගෙන තිබෙයි.

පවුලක සියලුම සාමාජිකයන්ට ජංගම දුරකථන භාවිතය සම්බන්ධව පැවරී ඇත්තේ විශාල වගකීමකි. උදාවූ නව වසරේ දුරකථන භාවිතය සම්බන්ධව අලුත් ආකාරයකට සිතන්න යන පණිවුඩය මේ ප්‍රවෘත්තිය අප වෙත රැගෙන එයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.