සිහින ඉලක්කයක් කරගනිමු..

අප්‍රේල් 28, 2021

 

අප සෑම අයකුට ම සිහින ඇත. එම සිහින ලොකු ඒවා හෝ ඉතා කුඩා ඒවා විය හැකියි. එහෙත් තමාට සැබෑකර ගත හැකි නම්.. යැයි සිතනා විවිධාකාර වූ සිහින, එකිනෙකාට වෙනස් වූ සිහින අප කා තුළත් පවතී. සිහින දැකීම වරදක් නොවේ. එහෙත් සිහින දැකීමෙන් පමණක් ම අපට එම සිහින සැබෑකර ගැනීමට ද හැකි නොවේ.

මම දිනක් තරුණ පිරිසක් සමඟ වැඩසටහනක් පවත්වන වේලාවේ දී එම තරුණ පිරිසට පැවසුවේ තමාගේ සිහින හා අරමුණු පිළිබඳ කොළයක සටහන් කරන ලෙසයි. එතැන සිටි සමහර තරුණ අය තමාගේ අනාගත අරමුණු කොළයේ සටහන් කරන අතර තවත් පිරිසක් පෑන හපමින් සිවිලිම දෙස බලමින් අහස පොළොව ගැටලන ආකාරයෙන් කල්පනා කරන්නට වුණා.

ඒ අතරින් තව පිරිසක් ඉහළ තනතුරක්, නවීන ජංගම දුරකථනයක්, වාහනයක් ආදී ලෙස යම් ඉලක්ක ප්‍රමාණයක් සටහන් කොට තිබිණි. තවත් අය ජීවිතයේ දිගු කාලීන ස්ථාවර අරමුණු පැහැදිලිව කොළයේ සටහන් කොට තිබිණි. නමුත් ඒවා දින වකවානු සමඟ පැහැදිලිව ම සටහන් කොට තිබුණේ ඉතා සුළු පිරිසක් පමණි.

අපි හැම අයෙකුට ම සිහින තිබේ. සිහින යනු බලාපොරොත්තු ය. අපි ඕනෑම අයකුට ඇස් පියාගෙන හෝ ඇස් ඇරගෙන හීන බැලිය හැකිය. නමුත් සෑම අයකු ම දකින සෑම හීනයක් ම සැබෑ වන්නේ නැත. ලෝකයේ බොහෝ මිනිසුන් ජයග්‍රහණයකර තිබෙන්නේ හීන නොව, බලාපොරොත්තු ය. නමුත් ලෝක ජනගහනයෙන් නිශ්චිත, පැහැදිලි අරමුණක් ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණි.

දෙවනුව එම තරුණ පිරිසට පැවසුවේ තමන්ගේ අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා ඊයේ, පෙරේදා, පසුගිය සතිය, පසුගිය දින 30 නැතිනම් මාසය පුරා යමක් කළ අය එම කළ දේ ලියන ලෙසයි. ඒ අය අතරින් විශාල පිරිසක් තමාගේ අරමුණ වෙනුවෙන් කළ දේ ලිවීමට අපොහොසත් විය.

සරලව පැවසුවහොත් ඔවුන්ට හීනයක්, බලාපොරොත්තුවක් තිබුණත් එය සැබෑකර ගැනීම සඳහා අවශ්‍ය කිසිවක් ගෙවී ගිය දින 30 තුළ සිදුකර නොතිබුණි.

එය ඔබට ද තමා ගැන ම ස්වයං අධ්‍යයනයක් එලෙසින් ම සිදු කළ හැකි පරීක්ෂණයකි. කොළයක් ගෙන ඔබේ අරමුණු, ඉලක්ක එහි සටහන් කරන්න.

ඉලක්කයක් නම් එහි පැහැදිලිව ම මේ මොහොතේ ඔබ ළඟ නැති යම් කිසි ක්‍රියාවලියක් හරහා ළඟාකර ගත යුතු දෙයක් මෙහි සටහන් කළ යුතුයි.

සරලව මේ සඳහා උදාහරණ ගතහොත් දැනට ඔබ කුලී නිවෙසක සිටිනවා නම් ඔබේ අරමුණ නව නිවෙසක් සෑදීම විය හැකියි. ඔබ දැනට කණිෂ්ට සේවක තනතුරක සිටිනවා නම් අනාගයේ දී කළමනාකරණ තනතුරක් ලබා ගැනීම ඔබේ අරමුණ විය හැකියි. ඔබ දැනට රැකියාවක් කරන අයෙක් නම් තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අරමුණ විය හැකියි. ඔබ බසයේ ගමන් බිමන් යන අයෙක් නම් මෝටර් රථයක් ගැනීමට සිතනවා විය හැකියි. ඔබ දැනට අවිවාහක අයෙක් නම් දිනෙක විවාහ වී හොඳ පවුල් දිවියක් ගත කිරීම ඔබේ අරමුණ විය හැකියි.

ඔබේ අරමුණ ඔබ ලිවිය යුත්තේ මෙහි උදාහරණ ලෙස සඳහන් කළ ඒවා නොවේ. එය ඔබේ ම අරමුණක් විය යුතුය. ඔබ ඉහළ නිලයක් දැරීමට බලාපොරොත්තු වෙනවා නම් එය කුමන අංශයක ද? රාජ්‍ය අංශයක ද? නැතිනම් පෞද්ගලික අංශයක ද? කුමනාකාර වැටුපක් ලැබීමට සැලසුම් කරනවාද? යන්න තමාගේ අරමුණ ලෙස විවිධාකාරයෙන් සැලසුම් කළ හැකියි. මෙය අ‍ෙලවිකරණ අංශයේ හෝ මූල්‍ය ආයතනයක, භාණ්ඩ විකුණන ආයතනයක විය හැකියි. මෙය නිශ්චිත කරගෙන ලිවිය යුතුයි.

මෙය ලිවීමට ඔබට අපහසු නම් ඔබ මෙතෙක් ජීවිතයට අරමුණු ලබා ගැනීමට සමත් වී නැත. හරියට කුමන වරායකට සේන්දු වනවා දැයි නොදැන දියඹට ගිය නැවක් වැනි ය. යන තැනක් නොදන්නා නැවක් මෙන් අරමුණක් නැති ජීවිතය ද එහේ මෙහේ ඔහේ පාවෙමින් කාලය ගත කරයි. එමනිසා ප්‍රථමයෙන් ඔබ හොඳින් සිතා තමාගේ ම වූ ඉලක්කයක් සකසා ගත යුතුයි.

දෙවනුව තමාගේ අරමුණ, ඉලක්කය ජය ගැනීමට පසුගිය මාසයක කාලය තුළ ඔබ සිදු කළ දේ ගැන මතකයට නගන්න. උදාහරණයක් ලෙස ඔබගේම ඉඩමක් ගෙන නිවෙසක් සෑදීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා යම් මුදලක් ඉතිරි කිරීම, බැංකු ණයක් ගැනීමට සොයා බැලීම, ඉඩමක් ගැනීමට සොයා බැලීම වැනි එයට අදාළ කුමක් හෝ සිදුකර තිබිය යුතුය.

ඔබ තමා සිටින තත්ත්වයෙන් ඉහළ තනතුරක් ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් එම තනතුරට අවශ්‍ය ඔබ විසින් සංවර්ධනය කරගත යුතු දේ මොනවාදැයි සොයා බලා ඒවා සංවර්ධනය කරගැනීමට යම් දෙයක් පසුගිය මාසය තුළ සිදු කළාද? ඔබ පසුගිය මාසය තුළ තම අරමුණ ජයග්‍රහණය කිරීම පිණිස කිසිවක් ම සිදු කළේ නැතිනම් අරමුණ සිහිනයක් බවට පත් වී එම සිහිනය සමඟින් ම ඔබට කාලය ගතකොට මරණය කරා යාමට සිදු වන බවයි.

මෙහි අර්ථය එම සිහිනය ඔබට කිසිදින සැබෑකර ගැනීමට නොහැකි බව නොවේ. ඉන් කියැවෙන්නේ එම සිහිනය සැබෑකර ගැනීම සඳහා ඔබ කිසිවක් ම සිදු නොකළ බවයි.

ලෝකයේ මුලින් ම එවරස්ට් කන්ද තරණය කළ ශ්‍රීමත් එඩ්මන් හිලරිගෙන් වරක් විචාරකයෙක් එවරස්ට් තරණය පිළිබඳ විමසූ විට ඔහු පවසා තිබුණේ 'මා මුලින් ම එවරස්ට් නගින්න තීරණය කළා. ' (එය අරමුණයි) 'දෙවනුව සෑම රාත්‍රියකම පියවර දෙක බැගින් එවරස්ට් තරණය කළා. අවසානයේ දී මම එවරස්ට් මත සිටියා.. '

මෙහි වදන් දෙකක් ඉතාමත් වැදගත් ය. එවරස්ට් නගින්න තීරණය කිරීම. මෙය ඔහුගේ අරමුණ විය. අනෙක සෑම රාත්‍රියකම පියවර දෙක බැගින් එවරස්ට් නැගීම යි. එය ඔහු තම අරමුණ කරා ළඟා වීමට සිදු කළ ක්‍රියාකාරකමයි. යමක් තීරණය කළ පමණින් එය සිදු නොවන අතර ඒ සඳහා ක්‍රියාත්මක වීම වැදගත් බව මෙයින් ලබා ගත හැකි පාඩමයි.

අරමුණක් ලබා ගෙන එක් රැයකින් එය සැබෑකර ගැනීමට උත්සාහ නොකර පියවරෙන් පියවර ඒ සඳහා ළඟා වන්න. අවසානයේ දී ඔබට අරමුණ ජය ගැනීමට හැකි වනු ඇති.

ජුනියර් මාටින් ලුතර් කිං පවසා ඇත්තේ ඔබට පියඹන්නට නොහැකි නම් ඔබ දුවන්න. ඔබට දුවන්නට නොහැකි නම් ඇවිද යන්න. ඇවිද යාමට නොහැකි නම් දණ ගාගෙන බඩගාගෙන යන්න. වඩා වැදගත් වන්නේ ඔබ ඉදිරියට යමින් සිටීමයි.

අද සිට එම ගමන අරඹන්න..

 

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු