කෝවිඩ් 19 අවදානම හමුවේ ඔබ අසලින් සිටින ආරක්ෂකයා සුවපෙත APP එක

*ෆේස් බුක් ගිණුම හෝ Gmail ලිපිනය ඔස්සේ සම්බන්ධ විය හැකිය.
මැයි 12, 2021

 

 

කෝවිඩ් සම්බන්ධයෙන් ඔබ නිරත්තර අවධානයෙන් සිටීම අතිශය වැදගත් කරුණකි. තමා ආරක්ෂා වෙමින් බාහිර වටපිටාවෙන් කෝවිඩ් සම්බන්ධයෙන් එල්ල වනුයේ කවරාකාර බලපෑමක් ද යන්න පිළිබඳ නිරතුරුව ම යාවත්කාලීන විය යුතුවේ.

ඒ සඳහා ඔබ ළඟින්ම හිඳිමින් ඔබට ආරක්ෂාව සැපයීමට සුවපෙත ජංගම දුරකතන ඇප් එකට පුළුවනි. ස්මාර්ට් ජංගම දුරකතනයක් හිමි ඔබට පහසුවෙන් ම මෙම ඇප් එක වෙත ළඟා විය හැකි වේවි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ළඟාවිය හැකි මෙම ඇප් එක මඟින්

* අප අවට කොපමණ කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් සිටී ද?

* අප සිටින ස්ථානයේ සිට ආසන්නම රෝගියා සිටින්නේ කොපමණ දුරකින්ද?

* අප සිටින්නේ අවදානම් කලාපයකද? නැතිනම් ආරක්ෂිත කලාපයක ද යන වග. (අවදානම් කලාපයක නම් රතු පැහැයෙනුත්, ආරක්ෂිත කලාපයක නම් කොළ පැහැයෙනුත් පහළින් දිස්වේ.)

* අපේ රටේ ඕනෑම ස්ථානයක් හා ඒ අවට අවදානම් කලාපයක් ද?

* ළඟම ඇති ෆාමසියට යන මාර්ගය.

* ළඟම ඇති රෝහලට යන මාර්ගය

* අප සිටින දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ග්‍රාම නිලධාරි වසම වැනි කලාප තොරතුරු

* හදිසි කොවිඩ් දුරකතන අංක හා එම අංකවලට ඇප් එක මඟින් ම ඇමතීමේ හැකියාව.

* නවතම කොවිඩ් තොරතුරු (Live updates)

* දිනපතා කොවිඩ් වාර්තා වූ ආකාරය විවිධ ප්‍රස්ථාර මඟින්.

දැනගත හැකිවේ. මෙම ඇප් එක නිරතුරුවම යාවත්කාලීන වෙමින් පවතී.

සුවපෙත ඇප් එක බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක (හිටපු ගුවන් හමුදාපති) මහතාගේ සංකල්පයකට බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා අංශය විසින් G - sentry කණ්ඩායම හා එක්ව මෙය ඉදිරිපත්කරයි.

 

නිවැරැදි දත්ත

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත දත්ත සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත මේ සඳහා යොදා ගනියි.

මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගත් පිරිස් විටෙක නගන ගැටලුවක් වන්නේ රෝගියා වාර්තා වුණු ප්‍රදේශයෙන් ඒ බව නොපෙන්වන බවයි. ඒ දත්ත ඇතුළු කිරීමේදී ඔවුන් ඇතැම් විට රාජකාරි ස්ථානය හෝ තමන්ගේ නිවෙස පිහිටි ස්ථානය ලබාදී තිබීමයි.

 

අවදානම් කලාපයක් ද?

ඔබ සිටින හෝ ඔබ සොයන ස්ථානයේ සිට මීටර් 500 ක දුරකින් එක් රෝගියකු හෝ වාර්තා වී ඇත්නම් ඔබ සිටින්නේ අවදානම් කලාපයකයි.

 

නොමිලයේ

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියම පරිදි මෙය මහජනතාවට ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේය. මෙගාබයිට් 17 ක් වැනි කුඩා අගයක් ගන්නා නිසා ජංගම දුරකතනයේ ඒ සඳහා වැඩි ඉඩකඩක් අවශ්‍ය වන්නේ ද නැත. ඒ සඳහා වැය වන්නේ ද කුඩා ඩේටා ප්‍රමාණයකි.

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කෝවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගැනීමට ද මෙම ඇප් එක ඔස්සේ පුළුවන. යම් හෙයකින් වෛද්‍යවරයකු වෙත රෝගියකු පැමිණියේ නම් එම රෝගියා පැමිණි ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් ද නැද්ද ආදි විවිධ තොරතුරු වෛද්‍යවරයාට දැන ගැනීමට හැකිවේ.

කෝවිඩ් ආසාදිතයින්, ආශ්‍රිතයින්, නිරෝධානයන්, PCR පරීක්ෂණයන්, ආසාදිතයන්ට ආසන්නම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ආදි අවශ්‍ය දත්ත රැසක් මෙම ඇප් එකෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබාගත හැකිවේ.

සුවපෙත ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නා ඔබට ඔබේ ෆේස් බුක් ගිණුම ඔස්සේ හෝ Gmail ලිපිනය හරහා සම්බන්ධ විය හැකි වේ. බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා අංශය ඉදිරිපත්කරන මෙම ඇප් එකෙහි location details ක්ලික් කළ විට ඔබ සිටින පළාත, දිස්ත්‍රික්කය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක සිටින ස්ථානය ආදිය පෙන්වයි.

කෝවිඩ් සම්බන්ධ වැදගත් පණිවිඩ නොමිලයේ කෙටි පණිවිඩ ලෙස ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට ද පුළුවන. ඔබ වෛද්‍යවරයෙක් නම් Are you a doctor යන්න ක්ලික් කර ඉදිරියට යෑමට පුළුවන.

පළමු, දෙවැනි රැලි සඳහා සාර්ථකව මුහුණ දෙමින් සිටියදී තෙවැනි කොරෝනා රැල්ල සිතුවාටත් වඩා භයානක ලෙස සමාජය අභිමුවට පැමිණ තිබේ. එවන් වකවානුවක 'සුවපෙත' වැනි යෙදවුමක් (ඇප්) හරහා මහජනතාවට කරනා සේවය ඉහළින් ම අගය කළ යුතු වූවකි.

එය පසුපස සිටින බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා, බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මිය, බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එච්. පී. ඒ. ධර්මසේන, බස්නාහිර පළාත් වාහක රෝග පාලක වෛද්‍ය යුධිෂ්ටීර වෙඩිසිංහ, තාක්ෂණික සහය ලබාදෙමින් විශ්‍රාමික කර්නල් රසික කහඳගමගේ, ටයෝන ජයතිලක ප්‍රමුඛ G-sentry තාක්ෂණික කණ්ඩායම, නිල්මිණි රාජපක්ෂ, වයි. එම්. අමාලි කුමාරි යන කාර්ය මණ්ඩලයේ ඉමහත් කැපවීම අගය කළයුතුය.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පද්මාල් ද සිල්වා, ප්‍රසිලා සමරවීර යන අයද මේ සඳහා දායක වෙයි.

බස්නාහිර පළාතෙන් ඇරැඹි මෙම ඇප් එක මුළු දිවයින පුරාවට ම දැන් ව්‍යාප්ත ව තිබේ. කෝවිඩ් සම්බන්ධයෙන් ඔබ සිටිනා වටපිටාව ඔබ යෑමට අදහස් කරන ප්‍රදේශයේ වටපිටාව පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙමින් සුවපෙත ඇප් එක නොමිලයේ ලබාදෙන කාලීන ඇප් එකකි. එය ඔබට සිටිනා කෝවිඩ් ආරක්ෂකයෙකි.

 

 

 

 

 

විශේෂ ස්තුතිය

බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය

ධම්මිකා ජයලත්

බස්නාහිර පළාත් වාහක රෝග පාලක වෛද්‍ය

යුධිෂ්ටීර වෙඩිසිංහ