වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කැළඹුණ සිත නිසල විලක් කර ගන්න
මේ කාලය අප හැම දෙනකුගේම පාහේ සිත් නිරන්තරයෙන් ම කැළඹෙන කාලයක්. රෝග බිය, ඉහිලිය නොහැකි ජීවන බර, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟකම වැනි බොහෝ හේතූන් එයට ප්‍රබලව ම බලපා තිබෙනවා.
මේ නිසා බොහෝ දෙනෙක් සිටින්නේ කලකිරීම, කෝපය, දුක පිරුණු හිත්වලින්. කුඩා දෙයක දී වුවත් කෝපවීම මේ පීඩනයන් දරා සිටීමේ එක් සාධකයක් වෙලා. මෙලෙසින් සිත පීඩාවට, කලබලයට පත්ව සිටිය දී අප ගන්නා ඇතැම් තීරණ නිසා බොහෝ විට අපි කබලෙන් ළිපට වැටෙන අවස්ථා වැඩියි. තවත් අපහසුතා, කරදර වැඩි වීම නිසා තව තවත් පීඩාවට පත් වෙන්නේ තමන් මයි.
මේ පිළිබඳ බුද්ධ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ ඇත. මා කියවූ එක් පොතක සටහන්ව තිබූ අප හැමටම වැදගත්වන කොටසක් මම සිහිපත් කරන්න කැමැතියි. මේ අවවාදය අදටත් අප හැමදෙනාට ම ඉතාමත් වටිනා උපදෙසක්.
බුදුරජාණන් වහන්සේ දිනක් තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ මාර්ගයේ වඩිමින් සිටිය දී ගසක් යට නතර වූ සේක.
තමාට දිය පානය කිරීමට අවැසි හෙයින් අසල ඇති ගඟට ගොස් ජලය ස්වල්පයක් රැගෙන එන ලෙස භික්ෂුවකට පැවසූ සේක. එවිට එම භික්ෂුව ගඟට වැඩියත් දකින්නට ලැබුණේ බොහෝ මිනිසුන් ගඟෙහි රෙදි සෝදන, ජල ක්‍රීඩා කරන, ස්නානය කරන දසුනකි. මේ නිසා ගං දිය බොහෝ සේ බොර වී තිබුණි. මඩ පැහැති ගං දිය අපිරිසුදු බවකින් දිස් විය.
මේ අපිරිසුදු ගංගා ජලය ගෙන ගොස් බුදු හිමියන්ට පානය පිණිස ලබා දෙන්නේ කෙසේදැයි සිතූ ඒ භික්ෂුව හිස් අතින් ම නැවත බුදු හිමි වෙත වැඩම කළේය. ගඟෙහි බොහෝ පිරිසක් නාමින් රෙදි සෝදමින් සිටි නිසා ගං දිය බොහෝ සේ බොර වී මඩ පැහැ වී තිබූ බවත් එම ජලය බුදුන් වහන්සේට පානය කිරීමට දීමට තරම් සුදුසු නොවන බැවින් ජලය නොගෙනා බවත් පැවසී ය.
මෙසේ පැවසූ විට බුදුන් වහන්සේ පැවසුවේ 'එසේ නම් ජලය පසුව පානය කළ හැකි හෙයින් දැනට ගසක් යට අසුන්ගෙන මඳ වේලාවක් ගිමන් නිවා ගනිමු' ලෙසයි.
මෙසේ මඳ වේලාවක් ගිමන් හැරිය පසුව බුදුන් වහන්සේ නැවතත් පෙර කී භික්ෂුව කැඳවා ගඟට ගොස් පානය කිරීම පිණිස ජලය ගෙන එන ලෙස පැවසී ය.
නැවතත් භික්ෂුව ගඟ අසලට වැඩිය අතර මිනිසුන් රහිත පාළු ගඟක් දකින්නට හැකි විය.
ඒ ගං දිය නිසල වී තිබුණ අතර මඩ ගං පතුලේ තැන්පත්ව පිරිසුදු ජලය නිල් පැහැයෙන් දිදුළමින් පැවතිණි. මේ දිය පානයට සුදුසු බැවින් භික්ෂුව පිරිසුදු ජලය පැන් බඳුනකට දමාගෙන බුදුන් වහන්සේ අභිමුවට ගොස් පූජා කළහ.
''දැන් ඒ ගංගා ජලය පැවතුණ ස්වභාවය කුමක්ද' යි බුදුරජාණන් වහන්සේ එම භික්ෂුවගෙන් ඇසූ සේක. දැන් එම ගංගාව පාළුවට ගොස් මිනිසුන් නික්ම ගොස් තිබූ අතර ඒ නිසා ගං දිය නිසලව, නිල් පැහැයෙන් යුතුව පිරිසුදුව පැවතුණා. '' යැයි එම භික්ෂුව පැවසූ හ.
එවිට එය උදාහරණයක් කොටගෙන බුදු රජාණන් වහන්සේ පැවසුවේ එම ගඟ අපේ සිත වැනි බවයි.
සිතක් යම් හේතුවක් නිසා කැලඹී ඇති විටෙක දිස් වෙනුයේ බොර වූ පතුල නොපෙනෙන ගංගාව ලෙසිනි. නමුත් එම කැළඹීම් ස්වභාවය පහව ගිය සිතක් නිසලව පවතින ගඟක් මෙනි. එහි රොන් මඩ පතුලට ගිලා බැස ඇති නිසා වතුර පැහැදිලිය. ඉන් ගඟේ පතුළ පවා පෙනෙයි. වතුර පිරිසුදු ය.
අපේ සිත ද මෙසේම ය. විටෙක කැලතෙයි. එසේ කැළඹීම් ඇති විටෙක සිතේ පවතින්නේ චණ්ඩ, අපැහැදිලි ස්වභාවයකි. එහිදී අපට කිසිවක් නිසිලෙස නිර්ණය කරගත නොහැකි බැවින් අප ගන්නා තීන්දු, තීරණ නිවැරැදි ඒවා නොවිය හැකිය. හැඟීම්බරව ගන්නා එම තීරණ ඇතැම් විට අපට අවාසි සහගත විය හැකිය.
එමනිසා අප හැම විටෙක ම තීන්දු, තීරණ ගත යුත්තේ නිසල මනසකින් යුතුවයි. පැහැදිලි මනස නිවැරැදි තීරණ ගැනීමට අපට මහත් වූ රුකුලක් සපයයි. මේ සඳහා අප කළ යුත්තේ කැළඹුණු සිතක් ඇති විටෙක මඳ වේලාවක් නිහඬව සිටීමයි. නිහඬව මඳ වේලාවක් ඉවසීමෙන් සිටීමෙන් සිතේ ඇති කැළඹීම් ස්වභාව පහව යයි. සිත නිරවුල් වේ.
අපට මේ කතාව වැදගත් වන්නේ කෙසේද? සමාජයේ, ව්‍යාපාරයේ සිදුවන යම් දේවල් නිසා, ගෙදරදොරේ සිදුවන යම් දේවල් නිසා ඔබේ හිතවතකු, හිතවතියක පවසන යම් දේවල් නිසා හෝ ඔබට සිදු වූ යම් අහිමිවීමක් නිසා සිත කැළඹීමකට ලක්විය හැකිය. එවිට එය බොර වී පතුළ නොපෙනී යයි.
නමුත් එවන් අවස්ථාවක ඔබට සන්සුන්ව මඳ වේලාවක් සිටිය හැකි නම් ඔබේ සිතේ ඇති කැළඹීම සන්සිඳුවා එය නිසල කරාවි. සිතට සහනය කැන්දාවි.
එවිට ඔබට නිදහසේ නිරවුල් නිවැරැදි තීරණ ගැනීමට හැකියාව ලැබේවි.
මෙය ක්‍රියාවේ යෙදවීමෙන් ඔබට ඇතිවිය හැකි අපහසුතා, අවාසි සහගත තත්ත්වයන් බොහොමයක් නැතිව යාවි. එවිට ජීවිතය සැනසුම සහිතව ගෙවන්නට ඔබට හැකි වේවි. නිතර සිහි තබා ගත යුත්තේ කැළඹුණු සිත පතුළ නොපෙනෙන බොර වූ ජල තටාකයක් බවයි. එය නිසල පිරිසුදු විලක් කරගැනීමට ඉවසීම වැදගත් වේ.
උපදෙස් - ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු