ජීවිත චිත්‍රය පාට කරන්න... ඔබටම ආවේණික පින්සලක් හදාගන්න...

ඔක්තෝබර් 3, 2022

 

සෛල ගොනුවක එකතුවකින් සැදුම්ලත් කළලයකි. දස එකඩ මාසයක් මුළුල්ලේ විකසන හා වර්ධන අවධි පසුකරමින් එය පරිපූර්ණ ජීවියකු බවට පරිවර්තනය වෙයි. ඒ සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් ලෙසින් ය.

මෙසේ සොබාදහමේ දායාදයන් කැටිකර ගනිමින් බිහිවන අපූර්වතම ජීවියා මිනිසාය. මේ මිනිස් ජීවියාගේ උප්පත්තියේ සිට මරණය දක්වා ගෙවීමට සිදුවන කාල සීමාවත්, ඒ කාල සීමාවේ සිදුවෙන සිදුවීම් සමුදායත් ජීවිතය යැයි කියන්නට හැකිය.

 

සුදු කොළ රැසක්

ජීවිතය සුදු පැහැති කොළ රාශියකින් සැදුම්ලත් චිත්‍ර පොතක් වැනිය. සුදු පැහැති කොළ ඉක්මනින් කිලිටි වන සුලුය. එයට කුඩාම පැල්ලමක් වුව වැටුණු විට, එය ඉවත් කර පෙර තිබූ තත්ත්වයට ගන්නට නොහැකියි. කුමන හෝ අයුරකින් පෙර තිබූ ආකාරයට සකස් කරන්නට හැකි වුවත් එහි අඳුරු පැහැ කඩතොළුවක් ඉතිරි වීම කෙසේවත් වැළැක්විය නොහැකිය. එහෙත් ජීවිතය නම් වූ ශ්වේත වර්ණ පුස්තකයේ පිටු අපිට අවැසි අයුරින් පෙරළන්නට, පරිච්ඡේද සකසන්න, පින්තාරු කරන්නට හැකිය.

'ඔබ' යන්න ව්‍යවහාරයේ දී තනි පුද්ගලයකු ලෙස හඳුන් වන්නේ නම්, ඔබේ උප්පත්තියේ සිට මරණය දක්වා ගෙවන කාලසීමාව ඔබේ ජීවිතයයි. ඔබ අලංකාර කරගත යුතු, ඔබ සකසා ගත යුතු, ඔබ දින විය යුතු ඔබේ ජීවිතයයි. එසේ නම් ඔබ සතුව ඇති වටිනාම වත්කම ඔබටම ලියන්නට, පාට කරන්නට හිමිකම් ලබා දී ඇති සුදු පැහැති පිටු රාශියකින් සැදුම්ලත් ඔබේ ජීවිතයයි.

 

ඔබේ ම නිර්මාණයක්

ඉතින් ඔබේ ජීවිතය ඔබට අවැසි අයුරින් පින්තාරු කරන්න. ලස්සන කරන්න. ඒ වගේම දැකුම්කලු නිර්මාණයන් බිහි කරන්න. ඒ සඳහා ඔබ බුද්ධිමත් විය යුතුයි. කලාත්මක විය යුතුයි. සැලසුම් සහගත විය යුතුයි. නිර්මාණශීලී විය යුතුයි. එමෙන්ම තමාටම ආවේණික වූ කලාවක්, මාර්ගයක් මඟින් තනාගත්තා වූ පින්සලක් තිබිය යුතුයි.

ඔබේ ජීවිතය, ඔබේම රටාවකට, ඔබේම සිතිවිලිවලට අනුව පාට කරන්න නම් අන් අයගේ මැදිහත් වීමකින් තොරවම තමාට ආවේණික වූ පින්සලක්, තමාගේම හැකියාවෙන්, තමා විසින්ම සකස් කරගත යුතුය. වෙනත් කෙනකු විසින් ඔබේ ජීවිතය පින්තාරු කිරීමට උත්සාහ දරයි නම් කෙසේ හෝ එය වළක්වා ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි. ඒ ඔබ සතු සුවිශේෂී හැකියාවයි. ඔබේම ආරකට, ඔබේම කලාවකට පාට කරන ඔබේ ජීවිත චිත්‍රයට වෙනත් කෙනකු වර්ණ සංකලන එක් කිරීමට උත්සාහ දරයි නම් හෝ ඔබේ සිතිවිලි වෙනස් කරමින් ඔවුන්ගේ ආරයට ඔබව හසුරවා ගන්නට උත්සාහ කරයි නම්, එවැනි අවස්ථාවන් අභිබවා ඔබේ වර්ණයන් ඉස්මතු කිරීමට දක්ෂයකු වෙන්න. ඔබේ මාර්ගය නිවැරැදි නම්, ඔබ ඔබවම අවතක්සේරු කර ගැනීම නවත්තන්න. හැමවිටම 'මගේ ජීවිතය මට අවැසි අයුරින් නිවැරැදිව යහපත්ව හසුරවා ගන්නවා' යන ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.

 

අවංක වන්න

ජීවිත චිත්‍රය පාට කරන සෑම අවස්ථාවකම නිර්මාණශීලී වෙන්න. අන් අයගෙන් ගත යුතු යහපත් දේ ගන්නවා මිසක ඔවුන් අනුකරණය කිරීමට යාම ඔබේ ස්වයං ගොඩනැගීම වෙනත් මඟකට හැරවීමට හේතුවිය හැකියි. ඒ බව නිතර සිහිතබා ගන්න. ඔබට ආවේණික වූ ලක්ෂණ, හැකියාවන් හා අනිත් අයට ආවේණික වූ ලක්ෂණ, හැකියාවන් එකිනෙකට හාත්පසින්ම වෙනස් ය. එබැවින් අන් අය අනුකරණය කිරීමට යාම ජීවිතය ආපස්සට ගමන් කරවිය හැකි ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් වීමට බොහෝ ඉඩකඩ ඇත. ඒ බව සිහි තබාගන්න. තමාගේම කලාවකට වුව ද තම ජීවිතය යහපත් අයුරින් හැඩගස්සවා ගන්නට තමා තමන්ටම අවංක වෙන්න.

ඔබේ ජීවිතයට වඩාත් ලස්සනම වර්ණ සංකලනය තෝරා ගන්නවාට වඩා ගැළපෙන, එලදායී වර්ණ සංකලනයක් තෝරා ගැනීමට තරම් දක්ෂ වෙන්න. ජීවිතය මත සැරිසරන්නා වූ විවිධ සිදුවීම් වර්ණ ගැන්විය යුතුයි යැයි සමාජය විසින් සම්මත කළ කාලය නොව ඔබේ ජීවිතයේ එයට වඩාත් සුදුසුම කාලය ඔබම තෝරාගන්න.

 

බාධක විශාලයි

අන් අය විසින් ඔබේ ශ්වේත වර්ණ ජීවිත පොතට ඇති කරන අඳුරු පැල්ලම් කුමන හෝ ආකාරයකින් වසා ගන්නවාට වඩා ඔවුන් විසින් ඔබව කිලිටි කරන්නට එළිපෙහෙළි කරන සමාජ පසුබිම කෙරෙහි අවබෝධයෙන් ජීවත් වෙන්න. ඔවුන් ඇති කිරීමට යන්නා වූ පෙරළිකාර ක්‍රියාවලිය පාලනය කිරීමට හැකි අයුරින් ඔවුන්ට වඩා අඩියක් හෝ ඉදිරියෙන් සිටීමට තරම් දක්ෂ වෙන්න. මන්ද ඔබේ ජීවිත චිත්‍රය කිලිටි වීමේ කඩතොළුව වර්ණයන් එක්කර වසා දමන්නට හැකි වුවත් එහි ඇති වර්ණයන් මැකීයාමට ලක් වූ දිනෙක වසා දැමූ කඩතොළුව යළිත් ඉස්මතු වෙන්නට බොහෝ ඉඩකඩ පවතී.

ජීවිතය තමාටම ආවේණික වූ පින්සලකින් පාට කරන්නට පටන් ගත් පළමු හෝරාවේ සිටම පැමිණෙන බාධක මහාමේරුව තරම් විශාල බව ඔබට වැටහේවි. කහට කෝප්පයක රස බලන්නට අත්ල මැදට ගන්නා සීනි කැට ප්‍රමාණය තරමටම අවලාද, අපවාද, ඇණුම් බැණුම් දින, සති, මාස ගෙවී යද්දී දිනපතා වුව ද අසන්නට සිදුවිය හැකිය. වර්තමාන උද්ධමන වේගය මෙන් තුන් හතර ගුණයක වේගයෙන් ඔබේ මානසික මට්ටම කඩා ඉහිරවා දමන්නට අවශ්‍ය පාරිසරික සාධක හරි අපූරුවට පෙළ ගැසෙන බව ඔබට දකින්නට ලැබේවි. ඔබ තුළ තිබෙන්නා වූ ධෛර්යයට වඩා අධෛර්යය ඔබ වටේ කැරකෙනා බව ඔබට සිතෙන්නට ගනිවී. ඔබ තුළ ඇතිකර ගත්තා වූ ධනාත්මක සිතිවිලි ගිල දමන්නට සැරසෙන්නා වූ සෘණාත්මක සිතිවිලි ඔබේ අරමුණ වෙනස් කරන්නට උත්සාහ දරාවි. මේ සියලු දෑ සිදුවන්නේ ඔබේ ජීවිතය ඔබම තනා ගන්නා මාර්ගයක් දිගේ ගමන් කරවීමට සැලසුම් කරන කාල සීමාවේ දී ය.

 

ගොදුරක් නොවන්න

ඔබ ඔබටම ආවේණික ඇඳුම් විලාසිතාවන් සකස් කරගත් විට සමාජය "මොකක්ද අනේ ඔයා අඳින හැටි.. ඕල්ඩ් ෆැෂන්.. ගවුමට කැතයි... ටයිට් ට්‍රවුසර්, කොට ටීෂර්ට් තමයි ඔයාට ගැළපෙන්නෙ.. කොණ්ඩෙ ඔහොම එපා.. මෙහෙම දාන්න.. දැන් කාලෙට ගැළපෙන විදියට ස්ට්‍රේට් කරන්න." වගේ නොයෙක් දේවල් කියාවි. එයට හේතුව ඔවුන් ඔබව දකින්නෙ ඔවුන්ගෙ රාමුවෙන්. ඔවුන්ගේ සිතිවිලිවල තිබෙන්නේ ඒ විදියටම ඔබත් හැඩගැසිය යුතුයි කියාය. සාමාජය තුළ පවතින එකිනෙකා අනුකරණය කිරීමේ රටාව හේතුවෙන් ඔබවත් එහි ගොදුරක් බවට නොදැනුවත්වම පත් වෙන්නට හැකිය. නමුත් ඔබ ඔබේ ජීවිතය ඔබටම ආවේණික රාමුවක පවත්වා ගෙන යන්නේ නම් ඒ සියල්ලටම මුහුණ දෙමින් තමා ගමන් කරන මාර්ගය නිවැරැදිව හසුරවා ගන්නට ඔබට ප්‍රබල ආත්ම ශක්තියක් තිබිය යුතුමය. ඔබ තුළ ඔබ ගැන නොබිඳෙන්නා වූ විශ්වාසයක් අවංක බාවයක් තිබිය යුතුය. ඔබ ඔබවම රවටා ගැනීමට ඉඩ නොදිය යුතුය. ඔබ පින්තාරු කරගන්නා ඔබේ ජීවිත චිත්‍රය තුළ ආත්ම තෘප්තිය අනිවාර්යයෙන් තිබිය යුතුය. තමන්ට කරන්නට අවැසි හැම දේම සෙවිල්ලකින් තොරව සිදු නොකර ඒ සියල්ල තෝරා බේරාගෙන තම ජීවිතයට එකතු කරගත යුතුය. අනුකරණයකින් තොරව ජීවිතය තමාටම ආවේණික ලෙස සැලසුම් කිරීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ. නමුත් සියලු බාධාවන් දරාගෙන, කටු පඳුරු මතින් වැටි කටුක මාවතක, ආත්ම විශ්වාසය හා ආත්ම තෘප්තිය කැටි වූ ගමන් මාර්ගයක ගමන් කරමින් සිහින පාට කරන්නට හැකි නම්, දිනෙක ඔබට සතුටු විය හැකියි. ඔබ දෙසම ආපසු හැරී බලන විට ඔබටම විශ්වාස කළ නොහැකි තරමේ සාර්ථකත්වයක් සමඟ අත්වැල් බැඳගත් ආත්ම තෘප්තියක් ඔබට දැනේවි.

 

නුවන්ති හංසිනී උත්පලා

සඳලංකාව