විදෙස් රටකට ගෙන්වා ගත හැකි ද?

ඔක්තෝබර් 3, 2022

වර්තමානය වෙනකොට ලංකාවේ බොහෝ අය විදෙස් රාජ්‍ය වෙත තාවකාලිකව, ස්ථිර පදිංචිය සඳහා හෝ අධ්‍යාපනය සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රවණතාව කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙලා දැන් ඒකේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. ඒ තත්ත්වයත් එක්ක පශු වෛද්‍යවරු වෙත සුරතල් සතුන් ඇති කරන අයගෙන් ලොකු ඉල්ලීමක් ඇවිත්.

 

නැවත ගන්න නම්

රට හැර යාම නිසා තමන්ගෙ සුරතලා ගේ ඉදිරි රැකවරණය සිදු විය යුත්තේ කෙසේද කියලා විමසන පිරිස වැඩියි. ඒ නිසා මොකක්ද කරන්නේ කියන එක අපි කතා කරමු. සුරතල් සතෙක්ව කෙනෙක්ට හදාගන්න දෙන්න පුළුවන් ද? ඒක කොහොමද කරන්නේ? සුරතල් සතෙක් හදාගන්න දෙන කොට අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ නැවත පසුකාලීනව ලබාගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවා ද කියලා. එහෙම දෙනවා නම් ඔබගේ හිතවතකුට ම දෙන්න ඕනි. නැතිනම් විශ්වාසය ඇති කෙනෙක්ට දෙන්න ඕනේ. ඔබේ සුරතලාව ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක් බවට පත් වෙනවා. එබැවින් ඔවුන් එක්ක සුරතල් වෙන්න පටන් ගත්තට පස්සේ ඔබේ සුරතලාව ඔවුන් නැවත දෙන්න අකැමැති විය හැකියි. එහිදී ඒවා නීතිමය කටයුතුවලට යන්න පවා වර්ධනය වී තිබෙනවා.

මීළඟ අවස්ථාව පොලිස් සහ නිල හමුදා සුනඛ සේවාවන්වලට ඔවුන්ව ලබාදීම. එහිදී ඔබට ඒ සඳහා යොමුවීමේ හැකියාව මත සුනඛයන් අදාළ සේවාවන් සඳහා ලබාදිය හැකියි.

තුන්වැනි අවස්ථාව ලෙස ලංකාව පුරාම සුනඛ සුරතලුන් බලා ගැනීමේ මධ්‍යස්ථාන තිබෙනවා. එවැනි සුදුසු තැනක් සොයා බලා ඔබට දරාගත හැකි මුදලක් ලබා දී සුරතලා ගේ රැකවරණය උදෙසා එම ස්ථානයට භාර දිය හැකියි. එහිදී වසර දෙකකින් ද තුනකින් හෝ නැවත රටට පැමිණි පසු සුරතලාව ඔබට භාර ගත හැකියි.

 

අරගෙන යන්න ද?

එමෙන්ම ඔබට සුරතලාව ඔබ ජීවත්වන රටට ගෙන යාමට අවශ්‍ය නම් ඒ රටට ගෙන්වා ගැනීමේ හැකියාව වර්තමානයේ පවතිනවා. ඒ pet translocation මඟින්. ආසියාතික රටවල් වන විශේෂයෙන් ජපානය, කොරියාව, චීනය, තායිලන්තය, සිංගප්පූරුව ආදී රාජ්‍යයන් ද එසේත් නැතිනම් මැදපෙරදිග රාජ්‍යයන් වන ඩුබායි, අබුඩාබි, දෝහා කටාර් වැනි ඒවා ද යුරෝපා රාජ්‍යයන් වන එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ජර්මනිය වැනි ඒවා ද අමෙරිකාව සහ කැනඩාව වැනි රාජ්‍යයන් ද ඔස්ට්‍රේලියාව ද යන්න හොඳින් අධ්‍යනය කර සුරතලුන් ඒ රටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සොයා ගත හැකියි.

 

නීති වැඩියි

ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය වැනි රටකට සුනඛ සුරතලාව ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් විශාල මුදලක් දැරීමට සිදු වේවි. ඒ සඳහා ආර්ථිකමය වශයෙන් හොඳ වත්කමක් තිබිය යුතුයි. සත්ත්ව නිරෝධායන නීති රීති එම රටවල ඉතාමත් දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. එනම් ඔස්ට්‍රේලියාව වැනි රටකට විදෙස් රටකින් සත්ත්වයකු ගෙන ආවේ නම් සත්ත්වයා මාස 6ක් වැනි කාලයක් සත්ත්ව රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක තැබිය යුතුයි. එය රජයේ අනුබද්ධ ආයතනයක් ද විය යුතුයි. එහිදී ඔබට විශාල වශයෙන් ගෙවීම් සිදු කරන්න වෙනවා. සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන්, ආහාර සහ නවාතැන් වෙනුවෙන් ද මුදල් අය කෙරේ. එහෙත් වර්තමානයේ එවැනි දෙයක් මුදල් යහමින් තිබෙන අයකු වුවත් තෝරාගන්නේ නැත. ඒ තරමට එය අධික පිරිවැයක් දැරිය යුතු ක්‍රියාදාමයකි. එහෙත් අනෙකුත් සියලුම රටවල්වලට ඔබේ සුරතලාව එපමණ මුදලක් වැය නො කොට ගෙන්වාගත හැකියි.

 

වියදම වැඩියි ද?

ඔබේ සුරතලාව කැනඩාව වැනි රටකට ගෙන්වා ගැනීම නම් ඉතාම පහසුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ පශු වෛද්‍යවරයකුගේ නිර්දේශය වගේ සුළු කාරණා පමණි. එසේ නොවුණහොත් අනිකුත් රටවල් සඳහා සුරතලාව ගෙන්වා ගැනීමේ දී ලංකාවේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථානයක සහතිකය සහ පශු වෛද්‍යවරයකුගේ අනුමැතිය Fit to travel document අවශ්‍ය වේ. ඒ වගේම අපනයන බලපත්‍රයක් ද ගත යුතුයි. මෙය අපහසු කාර්යයක් නොවේ. ඒ සඳහා පසු වෛද්‍යවරයකුගේ සහය ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී. ඊට අමතරව ජලභීතිකා වැනි එන්නත් ලබා දී දින විසි එකක් හෝ දින විසි අටක කාලයකට පසුව ලබාගන්නා රුධිර සාම්පල පරීක්ෂාවකින් ජල භීතිකාවට එරෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනුමත මට්ටම වෛද්‍ය පර්යේෂණ ආයතනයකින් සිදුකරගත යුතුයි. එය කළ හැක්කේ යුරෝපය හෝ බ්‍රිතාන්‍යයේ ඇති අනුමත වෛද්‍ය පර්යේෂණ ආයතනයකින් පමණි. Rnatt test එක කරගන්නත් ඕනෙ. එය දින 28කින් කර වාර්තාවක් ලබාගත යුතුයි. ඉන් අනතුරුව සත්ත්වයන් පිට රටවලට යවන සමාගමක් හා කතා කොට අවශ්‍ය ගුවන් යානයක් ද සූදානම් කර ගෙන ඔබට අවශ්‍ය කරන ගමනාන්තයට ඔබේ සුරතලාව ගත හැකියි.

මීට අමතරව ඔබ යන රටෙහි සත්ත්ව මධ්‍යස්ථානයේ හා ඔබේ සුරතලා ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබීමත් අවශ්‍ය වෙනවා. එනම් මෙයට අමතරවත් යම්කිසි සහතික ප්‍රමාණයක් අවශ්‍ය දැයි ඔවුන්ගෙන් විමසා බලා දැනගත යුතුයි. මෙවැනි සූදානමක් ඇත්නම් ඔබේ සුරතලාව කිසිදු ගැටලුවකින් තොරව අදාළ රටට ගෙන්වා ගත හැකියි. මේ සඳහා ඇතැම් විට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 15 ක පමණ මුදලක් වැය විය හැකියි.

 

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital