වැසුණු දොර දෙස බලා නොසිට ඇරුණු දොරෙන් ඇතුල් වන්න

ඔක්තෝබර් 24, 2022

 

"සොබාදහමට අනුගතව ජීවත් වන්න. මහ පොළොව අපේ අම්මාය. ගස් වැල් අපේ සොහොයුරන්ය. ගංගා ඇළ දොළ හරහා ගලා යන්නේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි." මෙසේ පැවසුවේ ගෝත්‍රික නායක සියැටල්ය.

 

සියලු උපද්‍රවවලින් ඔබ බේරා ගන්නා ලෙස නිරන්තර පවසන්න. විශ්වය ඔබව රැක බලා ගනී. ලොවට පේන්න නොව ඔබේ ඇතුළාන්තයෙන්ම පිරිසුදු වන්න. ඔබ උපන් මේ ලෝකයෙන් යමක් ඩැහැ ගැනීමට පෙරුම් පුරන්නේ නැතිව ඔබ යමක් ලොවට දෙන්න. එවිට ඔබට ඇවසි දේ විශ්වය විසින් ඔබ වෙත පිරිනමයි.

සොබාදහමට අනුකූලව ජීවත් වන සතුන් පවා ඔවුන්ට වැලඳෙන රෝග ඔවුන් විසින්ම සුව කර ගනියි. අප්‍රිකානු අලි කිරි මැටි ආහාරයට ලබා ගැනීම සඳහා සැතපුම් ගණනාවක් ගමන් කරන අතර හොඬවැල පුරා කිරිමැටි ආහාරයට ගනිති. මෙම කිරිමැටි අලින්ගේ ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් විය. අප්‍රිකානු චිම්පන්සි එක්තරා කොළ වර්ගක් නමා ගිලින ලදි. මෙසේ නමා ගිලින ලද පත්‍ර වර්ගය ආහාර මාර්ගය ඔස්සේ ගමන් කරන විට ඒවා මඟින් ආහාර මාර්ගයේ සිටින පණුවන් ඉවත් කරන බව පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

තෝමස් අල්වා එඩිසන් පැවසූ ලෙසින් වැසූ දොර දෙස බලා නොසිට ඔබ වෙනුවෙන් ඇරුණු දොරෙන් ඇතුල් වන්න.

මානසික වෙහෙස ඉවත් කර ගැනීමේ පළමු පියවර නම් නිදහසේ උපදින සිතුවිලි එලෙසම ගලා යාමට ඉඩ දීමයි. මනසේ පැන නැගෙන සෑම සිතිවිල්ලක්ම සුබවාදී දැයි පරික්ෂාකාරී වන්න.

විනය ගරුක වීමේ පුරුද්ද භාවිතයට ගෙන ඔබ සතුව ඇති අනුපමේය ශක්තිය ප්‍රයෝජනයට ගන්න.

සුබවාදී සිතිවිලි පමණක් පිහිටුවා ගත හැකි ප්‍රභාස්වර සිතක් නිර්මාණය කරගන්න. වෙහෙස මහන්සිය යන පුරුද්ද සිඳ බිඳලන්න.

එය අහකට විසි කරන්න. වෙහෙසකර හැඟීම් මතු වන විට ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවත් ශ්‍රේෂ්ඨ අරමුණක් හඹා යන බවත් සිතන්න. දිගු දුර ගමනක දෙවැනි වටයට ද පියවර තබන්න.

අමුත්තන් දෙව් ලොවිනි. ඔවුන් ගරු සරුව පිළිගනිමු. ඇතිවන ප්‍රථිඵලය ගැන ඔබ විස්මයට පත් වේවි.

සෑම විටකම සොබාදහමට හා සංගීතයට සමීප වන්න.

ඇල්බට් අයින්ස්ටයින් කුඩා කල සිටම සංගීතය කෙරෙහි ඇල්මක් දක්වා තිබුණි. ඔහුගේ අවසාන සඟරාවල ඔහු මෙසේ ලියා තිබුණි. " මම භෞතික විද්‍යාඥයකු නොවූවා නම් බොහෝ විට සංගීතඥයෙක් වන්නට ඉඩ තිබුණි. මම බොහෝ දේ සංගීතය තුළින් ඉගෙන ගතිමි. ඒ තුළින් ජීවිතය දුටුවෙමි."

සොබාදහමෙන් අනූන සුවිශේෂ භූමි කලාප සමහර විට මිනිසා තම පදිංචිය සඳහා තෝරා ගනිති. යුරෝපා ජාතීන් ඔස්ට්‍රේලියාව ගැන අවධානය යොමු කළේ එක් දහස් හයසියයෙන් පසුවයි. මුලින්ම ඔස්ට්‍රේලියාව සොයාගන්නා ලද්දේ 1606 දී විලියම් ජැන්සූන් නම් ඕලන්ද නාවිකයා විසිනි. නමුත් ඔවුන් එහි ජනපද පිහිට වූයේ නැති අතර ඉන්පසු ස්පාඤ්ඤ ජාතික ලුවිස් දී ටෙරස් නම් නාවිකයා මෙහි පැමිණි බව සඳහන් වේ. එහි ස්ථිර ජනපද ඇතිකළේ 1770 දීය. 1770 අගෝස්තු 22 දින එහි ගිය ඉංග්‍රීසි ජාතික කැප්ටන් කුක් විසින් එහි ස්ථිර ජනපද පිහිටුවන ලදී. එය ඔස්ට්‍රේලියාව ලෙස නම් කරන ලද්දේ 1788 දී ඉංග්‍රීසි ජාතික මැතිව් ෆ්ලින්ඩර්ස් විසිනි.

පොළොන්නරුවේ ආලාහන පිරිවෙන කැණිම්වලින් පැරන්නන් යොදාගත් ශල්‍ය වෛද්‍ය උපකරණ සොයා ගැනීමට හැකි වී ඇත.

ඔබ ඔබගේ විනය නමැති මාංස පේශීන් හොඳින් ශක්තිමත්ව පවත්වාගෙන යන්න.

මේ භව ගමනේ දී අසිරිමත් ලෙස හමුවන යශෝදරාවන්, චන්න ලෙස ඔබට හමුවන අසිරිමත් මිනිස් ආත්මයන්ට ගරු කරන්න.

යශෝදරාවතෙහි එන මේ රමණීය කාව්‍ය ජීවිතයට මුතු කුඩයක් වේවා!

කැලේ තියෙන කොයි දේවත් රස වේවා!

මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා!

අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා!

ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා!

 

ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙහි මහගම සේකරයන් මෙසේ ලිවීය.

 

පහසු මඟ දෙවි කෙනකු වීමට දෙවි කෙනෙක්මි'යි සිතා ගැනුමය.

පහසු මඟ බුදු කෙනකු වීමට

බුදු කෙනෙක් මි' යි සිතා ගැන්මය

සිතා එලෙස ම දිවි ගෙවීමය

සිත තුළ වෙසෙනා දෙවිවරු

එවිට ඔහුට පිහිටට එති

ලොව තුළ වෙසෙනා දෙවිවරු

එවිට ඔහුට පිහිටට එති

යන එන මඟ තොට රැක සිට

අතුරු ආන්තරා දුරලති

වැරැදි මඟක යන දුටුවොත්

නියම මඟට ගෙන ඇරලති.

 

භගවත් ගීතාවේ සඳහන් වන පරිද්දෙන් දැනීම්, හැඟීම් සහිත ලෝකයේ මේ ආත්මය සරසන දිව්‍යමය සතුට ද භුක්ති විඳින්න. ශාන්ත භාවයෙහි සිහිලස විඳින්න.

ශාන්ත මනසක්, ශක්තිමත් මනසක්, සෑම රෝගයක්ම සුව කරන සුව කාරකයකි. ඖෂධයකි.

ඉරණමට එහෙමත් නැත්නම් ඔරලෝසුවකට මිනිසා යටත් විය යුතු නැත. ඔහුගේ ජීවිතයේ සෑම මොහොතක්ම ප්‍රාතිහාර්යයෙන් පිරි අසිරිමත් මොහොතකි.

පින්තූරය හරියට දකින්න නම් ඔබ ඒ තුළින් එළියට පැමිණිය යුතුය. වැලක් වෙන්න එපා. යටට මුල් ඇදුණු ගසක් වන්න. අනුන්ගේ යහපත දැක සතුටු වන්න පුරුදු වන්න. බොහෝ වරප්‍රසාද ලැබූ අය දෙස ඊර්ෂ්‍යා මුසු හැඟීම් ඇතිකර ගැනීම අපහට ඒවා නොලැබීමට හේතු වේ.

උපක්‍රමශීලී වූ බූරුවා තමන්ව මරන්නට දමන පස් ටික උඩ කෙමෙන් නැග පොළොව මට්ටමට පැමිණි විට පැන දුවා දිවි ගලවා ගති. ඔබට උගුල් අටවන බාලයන් ගැන තැවීමට මොහොතක් හෝ ගත නොකරන්න. රාජාලියාට සියලු කුරුල්ලන් බිය වුවද කපුටා බය නැත. කපුටා රාජාලියාගේ බෙල්ලේ ලැග ඊට කොටමින් සිටී. එහෙත් එය ගනන් නොගන්නා රාජාලියා කෙමෙන් ඉහළ අහසට පියඹයි. කෙමෙන් ඔක්සිජන් අඩුවී කපුටාට පසු බැසීමට හෝ මරණයට පත්වන්නට සිදුවේ. මිනිසුන්ට හර්ද්‍යාංගමව හා ගෞරවනීය ලෙස කතා කරන්න. ඔවුන් වැදගත් බව හඟවන්න. අපූරු කීර්තියක් ඔවුන් හිස මත පටවන්න. එවිට ඔවුන් එය බිම තැබීමට පසුබට වනු ඇත. ඉහළ මට්ටමේ දේවල්වලින් ඔබ ඔබම සැලකුම් ලබන්න. එවිට ඔබ වැදගතෙක් බව ඔබේම යටි සිතට කා වැදීමක් සිදුවේ.

ඔබ සමීපයට එන කෙනාට වඩා යහපත් කෙනෙක් ඔබෙන් පිටව යන ලෙස නිමවිය හැකි නම් ඔබ උතුම් මිනිසෙකි. පූජනීය මිනිසෙකි. ඔබේ ජීවිතයේ මුණ ගැසෙන අමුත්තන් දේවත්වයෙන් සලකන්න. කියවන්න. මැඩෝනා සමාජ ශාලාවකට යනවිටත් කියවීමට පොතක් රැගෙන ගිය බව පැවසේ. කරුණාකර, ස්තුතියි යන වචන නිතරම මුවගේ රඳවාගෙන ඔබ තුළ ඇතිවන සුන්දර වෙනස අත්විඳින්න. සුන්දර වචන තෙපළන්න. වචනවල ද බලයක් ඇත. බොල් වචන වෙනුවට දැවන්ත, අප්‍රමාණ, සුධීමත්, සුළවත්, සුපිරිසුදු, අප්‍රමාණ වැනි වචන ඔබේ ශබ්දකෝෂයට එකතු කර ගන්න. කුරුමිණියන්ට ජීවිතය කා දැමීමට ඉඩ නොදෙන්න. වැළක්විය නොහැකි දේ සමඟ එකඟ වන්න. කාර්යය නියුක්තිය ද චිකිත්සාවකි. සංගීතය, නින්ද, ආගම, සිනාව, ප්‍රිය ඇසුර ඔබව ආනන්දනීය පුද්ගලයකු බවට පත් කරයි. ලිහිල් කරවයි. ඔබේ හෙට දවස හැම දිනකම රාත්‍රියේ සැලසුම් කරන්න. තිරිංග පාගාගෙන සාර්ථකත්වය නම් වාහනය එළවන්න එපා. අරමුණු සහිත පින්තූර රහස්‍ය ලෙස ඔබේ කාමරයේ එල්ලා ගැනීම ඉතා හොඳ ශිල්පීය ක්‍රමයකි.

 

 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්