නාරි දේහ රුව වඩවන නන්නාරි බලේ

ඔක්තෝබර් 14, 2024

වැඩි පෝෂණයක් සහිත පාන වර්ග භාවිතය ලංකාවේ අපට අලුත් දෙයක් නොවේ. පුරාණ ගොවි සමාජයේ ගොවීන් හිමිදිරියේ කුඹුරට හේනට ගියේ කොළකැඳ මැටි කෝප්පයකින් එකක්ම පානය කිරීමෙනි. ඉන්පසු දිවා ආහාරය ගන්නා තෙක් ගොවියාට අවශ්‍ය ශක්තිය කැකුළු සහල්, පොල්කිරි, ඖෂධීය කොළ වර්ග සහිත කොළ කැඳවලින් ලැබුණි. ස්වභාවික සම්පතින් අනූන අප රටේ ගස්කොළන්, පැළෑටිවලින් තනනා පාන වර්ග සොයාගැනීම එතරම් අමාරු වැඩක්ද නොවේ. උදේට පමණක් නොව දවසේ ඕනෑම මොහොතක සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දීමට මේ පාන වර්ග සමත්ය.

නෙල්ලි, රසකිඳ, බෙලිමල්, රණවරා මල්, පොල්පලා, ඉරමුසු වැනි ශාක ආශ්‍රිත මේ පාන වර්ගවල ඖෂධීය ගුණයත් ඉතා ඉහළයි. අද කියන්න යන්නේ ශරීරයට මහත් වූ ගුණ ගෙන දෙන ඖෂධීය ඉරමුසු පානයක් ගැනයි.

ශරීරයේ දහඩිය දුඟද හාස්කමකින් මෙන් වේලෙන් දෙකෙන් නසා තුන්දොස්‌ නසා ශරීරය සුවපත් කරන ඖෂධීය ගුණයකින් යුත් ඉරමුසු දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලද දැකගත හැකියි. ලංකාවේ මුහුදු මට්‌ටමින් අඩි 2500කට වඩා උස්‌ නොවූ ප්‍රදේශවල බහුලව දැකිය හැකි වේ. ඉරමුසු මුල ඉතාමත් ප්‍රසන්න වූ සුවඳකින් යුක්‌ත වන අතර ශාකය සම්පූර්ණයෙන් යොදා හදන කැඳ හා කොළ, දඬු, මුල් තම්බා හදන ඉරමුසු  පානය ශරීරයට ඉතාමත් ගුණදායක වේ. අතීතයේ සිටම පැවති විශ්වසනීය ඖෂධීය ගුණ ඇති මෙම ශාකය මෙන්ම රණවරා,  නෙල්ලි හා රසකිඳ යන ශාක කොටස්‌ ද තම්බා පානයට ගැනීම රෝගාබාධවලින් මිදීමට හේතු වේ.

 

ඖෂධීය ගුණය

 

ඉරමුසුවලට හොඳින් මල පිට කරයි. මධුර රස වාතය ද ශීත වීර්ය නිසා පිත ද, තිත්ත රසය නිසා සෙම ද සංසිඳුවයි. ලේ පිරිසුදු කිරීමේ ගුණය ඇති බැවින් කිරිදෙන මවුවරුන්ට සහ දියවැඩියා රෝගීන්ට හිතකරයි. ඉදිමුම හා දාහය නැති කරයි. බඩගිනි වඩයි. ආහාර දිරවයි.

 

දැවිල්ල සහිත තුවාල සේදීමට ඉරමුසු මුල් තම්බා ගත් වතුර ප්‍රයෝජනයට ගනී. මෙය ඉතා හොඳ බෙහෙතකි. ඉරමුසු මුල් ඇල්දියෙන් අඹරා සාදාගත් ලේපය, ශරීරයේ දැවිල්ල සහිත ඉදිමුමට ආලේප කිරීම සුදුසුය. ඉරමුසු මුල් කෂාය ගිතෙල් සමඟ පෙවීම මී විසට යෝග්‍ය වේ.

 

ඉරමුසු මුල් තම්බා බීමට දීම, ඉරමුසු මුල් කුඩුකර තේ මෙන් වත්කර පානයට දීම යෝග්‍ය වන්නේ ආහාර අසාත්මිකතාව නිසා ඇතිවන කැසීම, පලු දැමීම සහ ඇස් රතුවීමටයි.

ඉරමුසු මුල් තම්බා ගත් වතුර බීමට දීම කුෂ්ඨ අවස්ථාවට කරන අත් බෙහෙතකි. මුත්‍ර දැවිල්ල, වේදනා සහිතව මුත්‍ර පිටවීම, මුත්‍ර වරින් වර පිටවීමට වියළි ඉරමුසු මුල් තම්බා බීමට දීම හොඳයි. මේවා ඉරමුසු ආධාර කරගෙන කරන අත් බෙහෙත් ය.

 

හිසකෙස් වර්ධනය වේගවත් කිරීමේ ගුණයක් ඇත. සීතල ප්‍රදේශවල ඉතා හොඳින් වැඩෙන ඉරමුසු විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව සමනය කිරීමට හැකි පානයකි. කළු ඉරමුසු හා එළ ඉරමුසු ලෙස දෙවර්ගයකින් පවතින අතර මෙම දෙවර්ගයම ගුණෙන් මෙන්ම සුවඳින්ද උසස්‌ වේ.

 

ඉරමුසු නැටි හොඳින් තළා උළුහාල් හා සූදුරු එක්‌කර තම්බා මඳ රස්‌නයෙන් පානය කිරීම ශරීරයේ උෂ්ණාධික බව අඩු වීමට ඉතා යෝග්‍ය වේ. මුත්‍ර රෝග, ගල්, ලේ පිරිසුදු වීමට, රුධිරය අඩු බවට, මුත්‍ර දැවිල්ල, බඩවැල් හා ආමාශයේ තුවාල, ඇඟ කැසීම, සෙම, ආහාර අරුචිය වැනි බොහෝ රෝග සඳහා ද ඉරමුසු පානය ගුණදායක වේ.

 

ඉරමුසු යෙදූ කසාය හා අරිෂ්ට මඟින් බොහෝ රෝග සුව කර ගැනීමේ හැකියාව ඇත. එහිදී අපස්‌මාරය, ස්‌වසන ආබාධ, උපදංශ රෝග, ඇස්‌ රෝග, වාත රෝග, රත් පිත් රෝග සහ මී විෂ නිසා වැලඳුණු රෝගවලට ඉක්‌මන් සුවය ලබා දෙයි.

 

පානයක්‌ ලෙස පමණක්‌ නොව ඉරමුසු විවිධාකාරයෙන් ආහාරයට ගත හැකිය. එහිදී ඉරමුසු කොළ හොඳින් සෝදා හීනියට ලියා, පොල්, ලූනු, ලුණු, දෙහි දමා සම්බෝලයක්‌ ලෙස ද සකස්‌ කර ගත හැකිය. හොඳින් සෝදාගත් ඉරමුසු මල් මඳපවනේ වේළා කොත්තමල්ලි ඇට, පෙරුම්කායම් හා සූදුරු සමඟ අඹරා මී පැණි සමඟ අනා ගම්මිරිස්‌ ඇට දෙකක ප්‍රමාණයක්‌ තැඹිලි වතුරෙන් පානය කිරීම තුළින් ශරීරයේ ලේ පිරිසිදු වේ.

 

ලේ පිරිසුදු කිරීමේ ගුණයක්‌ ඇති බැවින් කිරි දෙන මවුවරුන්ට සහ දියවැඩියාව රෝගීන්ට හිතකර ය. ආහාර ජීර්ණය කර රුචිය වඩවයි. හොඳින් මලපහ කරවයි. ආහාර අසාත්මිකතා ඇති අවස්‌ථාවක දී ඉරමුසු තම්බා බීම හෝ ඉරසුමු මුල් කුඩුකර උණුවතුරට දමා තම්බා බීම වඩාත් සුදුසු ය.

 

මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමඟ බීමෙන් විෂ සහිත බව නැති වෙයි. මේ සියලු දෝෂ නැති කර ගැනීම සඳහා උදෑසන ආහාරයක්‌ වශයෙන් හෝ ඉරමුසු කැඳ පිස බීම වඩාත් සුදුසු වෙයි. හිස කෙස්‌ වර්ධනය කිරීමේ හැකියාවක්‌ ද ඉරමුසුවලට ඇත. එමෙන්ම කටහඬෙහි ඇතිවන අපහැදිලි බව මඟහරවා ගැනීමට ඉරමුසු නැටි කුඩුකර මී පැණි සමඟ අනා අනුභව කිරීමෙන් කටහඬෙහි මිහිරි ස්‌වභාවය රැකගත හැකිය.

 

ඉරමුසු උපදංශ රෝගයට එරෙහිව සුව කිරීමේ ශක්තියක් සහිත විශිෂ්ට ඖෂධයක් ලෙස අතීතයේ සිටම පිළිගැනේ.

සම්පූර්ණ පැළෑටිය කපා පොල් සමඟ මිශ්‍ර කර, කොටා මිරිකා ගත් යුෂ කැකුළු සහල් සමඟ කැඳ සාදා උදේ සවස බීමෙන් ශරීර ශක්තිය වැඩේ. ලේ පිරිසුදු කරයි.

 

මෙහෙම හදමු

 

ඉරමුසු යොදාගෙන සකසන මේ රස සරුවත් එක ඇතමෙක් ඉරමුසු සරුවත් කියා හඳුන්වද්දී තවත් අය නන්නාරි සරුවත් යන නාමයෙන් හඳුන්වයි. පහසුවෙන් සකසා ගත හැකි මේ පානය සඳහා අවශ්‍ය ඉරමුසු මුල් සිංහල බෙහෙත් කඩයෙන් මිලදී ගන්නත් පුළුවන්. දැන් මෙය මේ විදිහට සකසා ගනිමු. ඒ සඳහා ඉරමුසු මුල් කීපයක්, වතුර කෝප්ප 3ක් පමණ, දෙහි යුෂ, අයිස් කැට කීපයක්, ඇල් වතුරේ පොඟවා ගත් කස කසා ඇට ටිකක්, කුඩාවට කපාගත් ඇපල් කැබලි ටිකක්, සීනී පදමට අවශ්‍යයි.

මුලින්ම ඉරමුසු මුල් ටික හොඳින් සෝදා වතුර කෝප්ප 3ක් දමා වතුර කෝප්ප 2ක් වෙනකම් උතුරුවා ගන්න. උතුරන කොට ලස්සන පාටක් එනවා.

දැන් අවශ්‍ය ප්‍රමාණය උස වීදුරුවකට දාලා, පදමට සීනී එකතු කරලා හොඳින් නිවෙන්න තියන්න.

දැන් ඒකට ඉතිරි සියලුම දේවල් දාලා හැන්දකින් හොඳින් මිශ්‍ර කර රස විඳින්න. ශීතකරණයේ තියලා ශීත කරලා පානය කළොත් තවත් රසවත්.

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ