ගස්ලබුවලින් හෙයා මාස්ක් එකක්

මැයි 29, 2019

අවපැහැ වුණු සහ වියළි හිස කෙස්වලට අලුත්ම පෙනුමක් එක් කරන්න ගස්ලබුවලට පුළුවන් කියලා ඔබ හිතන්න නැතුව ඇති. අපේ සුන්දරත්වය වැඩිකර ගන්න අවශ්‍ය අභ්‍යන්තර පෝෂණයේ දී වගේම බාහිර සත්කාරවලදිත් අපි නිතරම ගස්ලබු එකතුකර ගන්නවා. ගස්ලබුවලින් කරන මේ හෙයාර් මාස්ක් එකෙන් හිස කෙස් සම්බන්ධ ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් කෙස් කලඹ නිරෝගී කරනවා.

අහිතකර රසායනික අඩංගු විවිධ නිෂ්පාදන හිසේ ගල්වනවාට වඩා මේ වගේ ස්වභාවික සත්කාර මඟින් ඔබට අහිතකර අවදානම් තත්ත්වයන්ගෙන් මිදෙන්න පුළුවන් වගේම ඔබේ මුදලුත් ඉතිරිකර ගන්න පුළුවන්. ඔබේ කෙස් කලඹට ලබා දෙන්න පුළුවන් ඉතා ඉහළ බාහිර සත්කාරයක් තමයි මේ. මේ හෙයාර් මාස්ක් එකට ඕනෙ වෙන්නේ ඔබට පහසුවෙන්ම සපයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තුනක් පමණයි. එනම්, හොඳින් ඉදුණු ගස්ලබු, පොල්කිරි සහ මී පැණි පමණයි.

ගස්ලබුවල විටමින් ඒ සහ ඛ් අඩංගු වෙනවා. බීටා කැරොටින්, මැග්නීසියම්, පොටැසියම් වැනි සෞඛ්‍ය සම්පන්න කෙස් වර්ධනය සඳහා ආධාර වන පෝෂණ කොටස් රැසක් අඩංගුයි. ඔබේ හිසකෙස්වලට සුමුදු බවක් හා දිලිසෙන බවක් එක්කරන්න මේ දේවල් උදවු වෙනවා. ඒ වගේම හිස් කබලේ අනවශ්‍ය තෙල් මතුවීම හා හිස් හොරි තත්ත්වයන් අවම කරමින් පිරිපුන් නිරෝගී කෙස් කලඹක් ලබා දෙනවා.

පොල් තෙල් අපි හිස කෙස්වල ආරක්ෂාවට හා පෝෂණයට දන්න කියන කාලේ ඉඳලා පාවිච්චි කරනවානේ. ඒ වගේම ඉතා ඉහළ පෝෂණයක් හිසකෙස්වලට ලබා දෙන්න පොල් කිරිවලට පුළුවන්. එහි ඇති විටමින් ඡ් හිස් කබලේ අභ්‍යන්තරයටම ගමන් කොට හිස කෙස් ශක්තිමත් කරමින් වර්ධනය කරනවා. වියළි කෙස් මෘදු කිරීමට සහ දුර්වල හිස කෙස්වලට ප්‍රතිකාර කිරීමට උපකාරි වෙනවා.

මී පැණි කියන්නේ හිස කෙස්වලට පෝෂණයක් ලබා දෙන්න පුළුවන් ඉතා ඉහළ වටිනාකමකින් යුතු ඖෂධයක් කිව්වොත් නිවැරැදියි. මෘදු සහ නිරෝගී හිසකෙස් සඳහා මී පැණි හිතකරයි. ඒ වගේම එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කරනවා.

ඉදුණු ගස්ලබු කෝප්ප 1/2 ක්, පොල්කිරි කොප්ප 1/4 ක් සහ මී පැණි තේ හැන්දක් ගෙන එකට මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු හොඳින් පිරිසුදු කරගත් හිස් කබලේ සහ හිස කෙස්වල මේ මාස්ක් එක ආලේප කර විනාඩි කිහිපයක් සම්බාහනය කරන්න. විනාඩි 30 ක් පමණ තියෙන්නට හැර පිරිසුදු වතුරෙන් හොඳින් සෝදා හරින්න. සතියකට දවස් දෙකක් බැගින් මාස දෙක තුනක් කරලා බලන්නකො ප්‍රතිඵල කොහොමද කියලා.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක් රූ සැලොන්

දළුගම