නම වගේම සොඳුරු කෝමාරිකා

අගෝස්තු 14, 2019

කෝමාරිකා නාමයත් කාන්තාවකගේ නමක් වාගේම සුන්දරය. මේ ශාකයේ ගුණය මුලින්ම හඳුනා ගත්තේ පෙරදිග වාසීන්ය. දැන් ඒ සුන්දර රහස අපරදිග වැසියෝ ද දනිති.

සිසිලසේ සුවය හොඳින්ම ගෙන එන ජෙලි සහිත කොටස (මාංසල කොටස) කෝමාරිකා පත්‍රයේ සුවිශේෂීම කොටසයි. රුව ඔප් නංවන්නේ, නිරෝගී සුවය ඉහළ නංවන්නේ පත්‍රයේ මැද ඇති මාංසල කොටසය. විටමින් ඒ (බීටා කැරොටීන්) විටමින් සී, ඊ, ෆෝලික් අම්ලය සහ කැල්සියම්, ක්‍රෝමියම්, සිලේනියම්, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් යන ඛනිජ ලවණවලින් මේ මාංසල කොටස සුපෝෂිතයි. මෙතරම් සිසිල් ගුණයක් කෝමාරිකා පත්‍රයේ ඇත්තේ එහි සියයට 96ක්ම ජලය තිබෙන බැවිනි.

දිව තිත්ත රසයෙන් පිනවන කෝමාරිකා මදය ලබාදෙන ප්‍රතිඵල නම් මීපැණි මෙන් ඉමිහිරියි. කෝමාරිකා යුෂ දිනපතා පානය කළොත් ආහාර ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත ගැටලු බොහොමයකට විසඳුම් ලැබේ. අජීර්ණය, මලබද්ධය, අම්ල අධිකවීම, වාතය පිරීම, ආහාර අරුචිය යන ගැටලුවලට කෝමාරිකා යුෂ විසඳුමකි.

වාතයෙන්, කෑමෙන්, බීමෙන් එකතුවන විස අද කාලයේ දන්නා නොදන්නා රෝග රැසකට හේතුවී ඇත. කෝමාරිකා යුෂ සියලු විස බැහැර කිරීමට උපකාරී වෙයි.

රක්තහීනතාව කාන්තාවන්ගේ ජාතික ගැටලුවකි. එසේ පවසන්නේ ලංකාවේ කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් රක්තහීනතාවයෙන් පීඩා විඳින නිසයි. අපේ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට කෝමාරිකා යුෂ කදිමය. ප්‍රතිශක්තිය සවිමත් නම් රෝගාබාධ නොවැලඳෙයි. මේ ප්‍රතිඵල ලැබීමට ඔබ කළ යුත්තේ කෝමාරිකා මදය ජලය මිලි ලීටර් 20 ක දියකර හිස්බඩ පානය කිරීම පමණි.

කරවිල යුෂ මිලිලීටර් 40/60 ක් කෝමාරිකා යුෂ මිලිලීටර් 20 ක් ජලය වීදුරුවකට එක්කර පානය කිරීමෙන් දියවැඩියාවෙන්, අධික අහිතකර කොලෙස්ටරෝල්වලින් (එල්.ඩී.එල්) පීඩා විඳින්නන්ට සුවයක් ලද හැකිය.

කෝමාරිකා යුෂ සතුව විරේචන ගුණයක් ද පවතී.

 

* සමට දිව ඔසුවකි

දිදුලන සමකට තාරුණ්‍යයෙන් පිරි සමකට කෝමාරිකා නැතිවම බැරි කෝමාරිකා මාංසල කොටසේ විටමින් සී, ඊ, බීටා කැරොටීන් හොඳින්ම අඩංගු නිසයි.

වියළි සමක් ඇත්නම් කෝමාරිකා මදයට කහ ස්වල්පයක්, මී පැණි තේ හැන්දක්, කිරි තේ හැන්දක් සහ රෝස වතුර බින්දු කීපයක් එක්කර හොඳින් මිශ්‍රකර (බ්ලෙන්ඩ් කර) පල්පයක් සාදන්න. එය ගල්වා මිනිත්තු 20 ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

පැල්ලම්, කැළැල් මැකීමට නැවුම් කෝමාරිකා ජෙලි කොටස කෝප්ප භාගයකට සීනි කෝප්පයක්, දෙහි යුෂ මේස හැඳි 2ක් එක් කරන්න. මුහුණටත් සිරුරටත් මේ මිශ්‍රණය ගැල්විය හැකියි.

කුරුලෑවලට- කෝමාරිකා මාංසල කොටස සහ දෙහි යුෂ 8:1 අනුපාතයට මිශ්‍රකර මුහුණ පුරා එක සමානව ගල්වන්න. මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. ඇස් යට සංවේදී කොටසේ ගැල්වීමෙන් වළකින්න.

මී පැණි, කුරුඳු, කෝමාරිකා ජෙලි කොටස ද කුරුලෑ නසන අපූරු මිශ්‍රණයකි. මීපැණි මේස හැඳි 2, කෝමාරිකා මේස හැඳි 1, කුරුඳු කුඩු තේ හැඳි 1/4 ක් මිශ්‍රකර ගල්වා මිනිත්තු 10 ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

සම තෙත්ව තබාගැනීමට - ජලය කොටස් දෙකකට කෝමාරිකා මද කොටස් 1ක් එක්කර හොඳින් මිශ්‍රකර ගල්වන්න. ඇස්යට ගැල්වීමෙන් වළකින්න.

සංවේදී සමට - කෝමාරිකා මදය, පිපිඤ්ඤා යුෂ, යෝගට් සහ රෝස වතුර බ්ලෙන්ඩ් රක මිශ්‍රණයක් සාදා ගන්න. මිශ්‍රණය ගල්වා මිනිත්තු 20 ක් තබා සෝදා හරින්න.

කේශ කල්‍යාණය රැකීමට - හිස් කබලේ මිය ගිය සෛල අලුත්වැඩියා කළ හැකි විශේෂ එන්සයිමයක් කෝමාරිකාවල අඩංගුයි. ඒ වගේම එය ස්වාභාවික කන්ඩිෂනරයක් ලෙසින් ද ක්‍රියාකරයි. කේශ වර්ධනය කරයි. හිස් හොරි පාලනය කරයි.

සතියකට වරක් හෝ දෙසතියකට වරක් සමාන ප්‍රමාණවලින් කෝමාරිකා යුෂ සහ පොල් තෙල් ගෙන එය හිසේ ගල්වා හැකි තරම් වේලාවක් තබන්න. කෙස් වැටීම අඩුවෙන අතර කෙස් ශක්තිමත් වේ.

ඇපල් සයිඩර් විනාකිරි සහ කෝමාරිකා යුෂ මිශ්‍රණය අපූරු හිස්හොරි නාශකයකි. කෝමාරිකා මඳ කෝප්පයක් සහ ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2ක් ගෙන හොඳින් ගසා ගන්න. හිස් කබලේ මිනිත්තු 30 ක් තබා සෝදා හරින්න.

කෝමාරිකා මදයේ හිස් හොරි මැඩලීමට උපකාරීවන පෙක්ටින් අඩංගුය. හිස්හොරි ඇත්නම් නැවුම් කෝමාරිකා මද බ්ලෙන්ඩ් කර ගන්න. හොඳින් හිස් කබලේ ගල්වා රැයක් තබා සෝදා හරින්න.

බටහිර ලෝකය ද විවිධාකාරයෙන් මේ මහඟු ඖෂධීය ශාකයෙන් ප්‍රයෝජන ගනී. කෝමාරිකා මදයේ දන්ත කුහර ඇති කරන මුඛ බැක්ටීරියා නාශනය කරන සංයෝග අඩංගුය.

පිළිකා රෝගය වැලඳීමෙන් විකිරණ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සමට වන හානිය වැළැක්වීටමත් කෝමාරිකා මදයේ යුෂ උපකාරී වෙයි.

ලුණුවිල මෙන් තිත්ත රසයෙන් යුතු කෝමාරිකා ද මතක ශක්තිය ඉහළ නංවයි.

කෝමාරිකා මදය කල්තබා ගැනීම

විවිධාකාරයෙන් ප්‍රයෝජනයට ගත හැකි ඖෂධීය කෝමාරිකා මදය සුරැකිව තබා ගැනීම ඉතා වැදගත්ය.

කෝමාරිකා මදය විටමින් ඊ සමඟ බ්ලෙන්ඩ් කර වාතය නොයන බඳුනක අසුරන්න. හිස් කබලේ, මුහුණේ මෙන්ම නිය සවිමත් කිරීමට ද මේ මිශ්‍රණය යොදාගත හැකියි. කැඩෙන සුලු නිය ඇත්නම් කෝමාරිකා මදයේ නිය මිනිත්තු 5-10ක් ගිල්වා තැබීමෙන් සවිමත් කරගැනීමට පුළුවන. නියපොතු කෝමාරිකා ජෙලිවලින් සම්බාහනය කිරීමට ද පුළුවන.

කෝමාරිකා මද, මී පැණි සමඟ සමාන ප්‍රමාණවලින් මිශ්‍රකර හෝ ලෙමන් යුෂ, කෝමාරිකා මද සමඟ බ්ලෙන්ඩ්කර හෝ ශීතකරණයේ තබන්න. එය මුහුණේ සහ හිසේ ගැල්වීමට යොදාගත හැකිය.